Sunday, December 30, 2012

සීනි තියෙන්නෙ කන්න විතරද?


        මීට කලිනුත් මම හිඟුරාන සීනි කම්හලට ගියපු වෙලාවෙ කූඹි කන්න කැමති දුඹුරු සීනිද සුදු සීනිද?... කියලා පෝස්ටුවක් දැම්මා මතක ඇති. සෙවනගල සීනි කම්හල රජය යටතේ යළි පණ ගැන්වෙද්දි එහේ යන්න අවස්ථාවක් ලඟදි ලැබුනා. කම්හලේ දැන්වීම් පුවරුවෙ දාලා තිබුන මේ විස්තර ටිකට හිත ගියපු නිසා මම ඒවා බෙදාගන්න හිතුවා.

      සීනි වල ඉතිහාසය සරල නොවේ. ආදී චීන වැසියන්ගේ සිට බ්‍රිතාන්‍ය යටත් විජිතයන්හි සුදු රත්තරන් බවට පත් වීම දක්වා වන සංකීර්ණ කතන්දරයක් ඒ පිටුපස ඇත.බටහර රටවල්වල ප්‍රධාන ආහාර වේලේ අංගයක් බවට පත් වී ඇති සීනි, රාත්තල් පහේ බෑගයක සිට කෝපි කෝප්පයකට හෝ බිස්කට්ටුවක මුදුනතට එකතුවන්නට බලා සිටී.

Tuesday, December 25, 2012

කඳු කතා 5: ත්‍රී ලේයර් බත


ගවේෂණ මතක පොතේ තවත් පිටුවක් කාලෙකට පස්සෙ........

        සරසවියේ ඉන්නැද්දි කල ගවේෂන අතුරින් දින එකකට වැඩි ගවේෂන වලදි ලැබෙන මතක සටහන් නම් අපමණයි. මේ මතක වලින් ගොඩක්ම අයිති වෙන්නෙ කෑම පිසින වෙලාවෙදි. ගෙදර අයට විතරක් කෑම උයලා පුරුදු ඈයෝ හා කෑම උයන්නේ කුස්සියේදැයි වත් නොදන්නා ඈයෝ එකට එක්ව තිහක් හතලිහක් පිරිසකට කෑම ඉවීමේදී උපදිනා රසකතා බොහොමයි.
        එවන් රස මතක රැසක් ඉතිරි කල ත්‍රී ලේයර් බතෙහි රෙසිපිය මෙහෙමයි.

Tuesday, October 23, 2012

මෙගා කවිය


චින්තන 
චුයින්ගම් 
බුලත්විට
බ්‍රේස්ලට්
ආශ්චර්යය
දුටු ගැමුණ 
පරාක්‍රමබාහු
අචාර්ය
අබා
පබා
මෙගා
කිරිපිටි
හාල්
පොල්
එළවළු
ගෑස්
මයිටා
දෙමුහුන් හරක්
අර බද්ද
මේ බද් 
අහේනියටම
මල බද්ද
දාහ දාහ
අටදාහ
සීයට පහ
ආයුබෝවේවා
සාදුකින් පෙළෙන වුන්
දැන් ඉතින් අඬපියව්

-අංගොඩ ළමයා.


රූ ගේ සටහන:
    කෑම ඔතාගෙන ආපු ලංකාදීප පත්තෙරේ දිනේ තියන කෑල්ල ඉරිලා ගිහින්. ඒත් මේ කවිය උපුටා දක්වලා තිවුන ලිපියෙ කියවුනේ මෙම කවියෙන් ධ්වනිතාර්ථ වෙන කවියාගේ ප්‍රශස් හැකියාව සම්මානයට ලක් නොවුන එක ගැන.
   සම්මානයකට වඩා කවියෙකුට වටින්නෙ තමන්ගෙ කවිය වැඩි දෙනෙක් කියවන එක නිසා කවියෙ කතෘ කවුද කියලා නොදන්නවා වුනත් මම මේක බ්ලොග් එකේ අකුරු කරන්න සිතුවා.
   කාට හරි පුළුවන්නම් මේ කවිය ලිව්වෙ කවුද කින්ද මන්ද කියලා ලියලා යන්න.

Thursday, October 18, 2012

රොබී : අවසාන කොටස

පළමු කොටසට 
     පසුගිය කොටසින් ග්ලෝරියා හා ඇගේ දෙමව්පියන්ගේ ඇමරිකානු රොබෝ කර්මාන්තශාලා චාරිකාවේ විස්තර කියෙව්වා මතක ඇති. අවසානයේදි ග්ලෝරියා අනපේකෂිත අනතුරක් අභියස සිටියාය. අද එතැන් සිට.. 
    ග්ලෝරියා පත්ව සිටින තත්වය පිළිබඳව වෙස්ටන් මහතා තත්පරයෙන් දාහකින් පංගුවකදී අවබෝධ කරගත්තෙන් ඔහු ගරාදි වැටෙන් පැන ග්ලෝරියා දෙසට දුවන්නට වූයේය. එහෙත් ඔහුගේ වෑයම නිශ්ඵල එකක් වූ අතර ස්ටෘදර්ස් මහතාද පිස්සුවෙන් මෙන් ට්‍රැක්ටරය නවත්වන ලෙස වැඩ සුපරීක්ෂක වරුන්ට අණ දෙන්නට විය. එහෙත් ඔවුන්ද ක්‍රියා කරීමට මදක් වෙලාව ගන්නා සාමාන්‍ය මිනිසුන්ම පමණක් විය. 
    ඒ මොහොතේ නිවැරදිව නූලට ක්‍රියා කලේ අන් කිසිවකු නොව රොබී පමණි.

Tuesday, October 16, 2012

රොබී 9

පළමු කොටසට 

       මෙතෙක් කතාව: අට හැවිදිරි ග්ලෝරියා රොබී නමින් නම් කරන ලද රොබෝට අසීමිතව ආදරය කලද ඇගේ යහපත සිතූ ඇගේ මව රොබීව උපක්‍රමයකින් අයින් කර සුරතල් බල්ලෙක් ඇයට තිළිණ කරයි. එහෙත් රොබී නැති පාළුවෙන් අසනීප වන ග්ලෝරියාව සුව කිරීමට දෙමාපියන් ඇගේ අවධානය වෙනස් කිරීමට නිව්යෝක් නගරයට යයි. එහිදී ඔවුන් විද්‍යා කෞතුකාගාරයක වැඩ මුළුවක් වෙත ග්ලෝරියා කැඳවාගෙන ගියද ඔවුන්ගේ අවධානය ගිලිහෙන වෙලාවක් සොයා එතැනින් පැන යන ඇය “කතා කරන රොබෝවෙක්“ වෙත ගොස් රොබී ගැන විමසන්නීය. එහෙත් කතා කරන රොබෝට එම පැණය සංකීර්ණ වූ බැවින් එය අකර්මන්‍ය වන අතර මෙම කලබල අස්සේ ඇගේ දෙමාපියන් ග්ලෝරියාව සොයාගන්නට සමත් වෙති. 

Thursday, October 4, 2012

හැම මොහොතෙම ජීවත් වෙන්න. Live, Every Moment

ජීවිතය හරි කෙටියි. කොච්චර කෙටිද කියනවා නම් ට්‍රැෆික් ජෑම් වල හිරවෙලා ඉන්න;එපා කරපු ඔෆිස් වල වැඩ කරන්න; හරියට ප්ලෑන් නොකරපු ෆ්ලැට්වල ජීවිත් වෙන්න; හුළං පොදක්වත් වැදෙන්නැති ක්ලෙස්ට්‍රොෆෝබික් කඩවල්වල ශොපින් කරන්න. පාකින් ස්පේසස් වලට පොර කන්න;නිරුවත් දෙපා වලින් තණ බිම් වල ඇවිද නොයන්න;වතුර හිරවෙලා ඩෙංගු හැදෙයි කියන බයට වැස්සට ශාප කරන්න;
කොටින්ම කියනවා නම් ජීවයක් නැති තැන් වල ජීවත් වෙලා ජීවිතේ නාස්ති කරන්න බැරි තරම් ජීවිතේ හරිම කෙටියි.
එනිසා හැම මොහොතෙම ජීවතය විඳින්න
 
ප/ලි:
අද උදේම පත්තරේ කියවද්දි දකින්න ලැබුනු දැන්වීමක්. T-20 වල නිල අනුග්‍රහට දක්වන HomesteaD සමාගමෙන් නිර්මාණය කරලා තිබුනු මේ දැන්වීම බෙදාගන්න වටිනවා කියලා හිතුනා.. 

රොබී 8

පළමු කොටසට 
    පසුගිය කොටසේදී ග්ලෝරියා ඇගේ දෙමව්පියන්ට හොරෙන් ලිස්සා කතාකරන රොබෝ බැලීමට ගියා යැයි කියෙව්වා ඔබට මතක ඇති.. 
අද එතැන් සිට.. 
      කතා කරන රොබෝ යනු හුදෙක්“හුළං පිම්බූ බැලුනයක්“ පමණක් බව කිව යුතුය. ලොව විහිළු රොබෝ කියා දෙයක් තිබේ නම් මෙම රොබෝද ඒ ගණයට අයත් යැයි සැලකිය හැකි වූ අතර එය කෞතුකාගාරයේ මාකටින් ගිමික් එකක් ලෙස සැලකූවද වරදක් නැත. පැයකට වරක් “තෝරාගත්“ නරඹන්නන් රොබෝගෙන් ඇසිය යුතු ප්‍රශ්න එම රොබෝ බාරව සිටිනා ඉංජිනේරුවා රහසේ වෙත යොමු කර විය යුතු අතර ඔහු විසින් රොබෝගේ පරිපථයට “ගැලපෙන“ ප්‍රශ්න පමණක් තෝරා බේරා රොබෝ වෙත යොමු කරයි. 

Monday, October 1, 2012

රොබී 7

පළමු කොටස 
    පසුගිය කොටසින් අපි නැවැත්තුවේ ග්ලෝරියාගේ නිව්යෝක් ගමන පටන් ගත් තැනින්. වෙස්ටන් පවුලේ නිව්යෝක් ගමන ගැන මේ කොටසින් බලමු. 

“අපිට ඉක්මනට නිව්යෝක් යන්න පුළුවන්ද මමී?“ ග්ලෝරියා ඇසුවාය. 
“තව පැය බාගෙකින් විතර අපිට බහින්න පුළුවන් වේවි වස්තුවේ.“ මිසිස් වෙස්ටන් සිය දියණියට පැවසුවාය. 

මගදී හමු වූ මල්ලීට....

දෙතොලට ගෙනා ඒ මද සිනා
මදකට මසිත කුල්මත් කලා
එහෙත් සොහොයුර කෙලෙසකින්දෝ
මුවට නැගෙන්නේ ඔය සිනා..

Saturday, September 29, 2012

රොබී 6

පළමු කොටසට 
පසුගිය කොටසේ අපි නතර කලේ රොබීව සොයා දෙන්නැයි ග්ලෝරියා අඬන්න පටන් ගත් තැනදීය. 
    ග්ලෝරියා රොබීව ඉල්ලා හඬන අයුරු බලා සිටීමට නොහැකි වූ තැන මිසිස් වෙස්ටන් තම ස්වාමියා දෙස බැලුවේ ආයාචනාත්මක බැල්මකිනි. එහෙත් වෙස්ටන් මහතා අහසට උසින් වූ දෙව්ලොව වෙත බලා සිටි උද්යෝගිමත් බැල්ම අහකට නොගත් බැවින් මිසිස් වෙස්ටන් ග්ලෝරියා සැනසීම පිණිස ඈ අසල වාඩි වූවාය. 

Monday, September 24, 2012

රොබී 5


පළමු කොටසට
    පසුගිය කොටසින් ග්ලෝරියාගේ අම්මා රොබීව පන්නන්න කුමන්ත්‍රණ කලා අපි දැක්කා. ඒත් ග්ලෝරියාගේ තාත්තා වූ වෙස්ටන් මහතා නම් ඒ ගැන වැඩි එකඟතාවයක් පල කලේ නැහැ. අද එතැන් සිට.. 

    තමන්ගේ උත්සාහය ව්‍යර්ත වූ තැන මිසිස් වෙස්ටන් ආපසු වෙස්ටන් මහතා සමඟ මේ ගැන කතා කිරීමට මඟක් පාදා ගැනීමට නැවත උත්සාහ කලාය. ඇගේ උත්සාහය සාර්ථක වූයේ දෙදවසක් ගතවූ තැන නානකාමරයේ දොර අසලදීය. වෙස්ටන් මහතා දොර ගාවින් මතුවද්දී මිසිස් වෙස්ටන් නැවත තම හඬ අවදි කලාය. 

“ඔයාට මම කියන දේ අහන්නම වෙනවා ජෝජ්. මේ දවස්වල වටේ පිටේ අය නරක ආරංචියක් ගෙනියනවා“ 

“නරක ආරංචියක්? මොකක් ගැනද?“ 

  වෙස්ටන් මහතා ඇසුවේය. එහෙත් උත්තරය ලැබීමට පෙර ඔහු වතුර පහරකින් මුහුණ තෙමාගත්තෙන් උත්තරය නෑසී ගියේය. එහෙත් මිසිස් වෙස්ට් පසු නොබැස්සාය. වෙස්ටන් මහතාගේ අවධානය නැවත ලැබුනු විගස ඈ උත්තර බැන්දාය. 

“රොබී ගැන“ 

තුවායෙන් මුහුණ පිසදාගත් වෙස්ටන් මහතා නාන කාමරයෙන් පිටතට ආවේ කෝපයෙන් රතුවූ මුහුණින් යුතුවය. 

“මොන පිස්සුවක්ද ඔයා මේ දොඩවන්නෙ?“  

“මේක එන්න එන්නම වැඩිවෙනවා ජෝජ්. මම ඒත් ගණන් නොගෙන ඉන්නයි බැලුවෙ එත් දැන් මට ඉවසලා ඇති වෙලා. අහල පහල ගොඩක් අය රොබී අනතුරුදායකයි කියලයි හිතන් ඉන්නෙ. ඒක නිසා එයාලගෙ ළමයි රොබී ළඟටවත් එන්න දෙන්නෙ නෑ.“

“ඒත් අපි අපේ ළමයා එයාට බාර දීලා තියෙන්නෙ.“ 

“එත් ඔයා දන්නවනේ මිනිස්සු මේවගේ දේවල් දිහා බලන හැටි ඒ නිසා“ 

“එහෙනම් එයාලට ඕන කුදයක් ගහගන්න කියන්න!“ 

“එහෙම කියලා ප්‍රශ්න විසඳන්න බෑනෙ ජෝජ්. අපිත් එයාලත් එක්ක ජීවත් වෙන්න ඕනි. මට සුපර් මාකට් එකට ගිහින් නිදහසේ ෂොපින් කරන්න ඕන. අනිත් එක නගරේ මේ දවස්වල රොබෝලා ගැන තියෙන්නෙ හොඳ ආකල්පයක් නෙවි. ඔයා දන්නවද නිව්යෝක් වල පනතක් පාස් කරලා තියනවා දවල් කාලේ රොබෝලා පාරවල් වලින් ඈත් කරලා තියන්න“ 

“හරි. ඒත් එයාලට බෑනෙ අපේ රොබෝව අපේ ගෙදරින් එළවන්න.- ග්‍රේස් මේක ඔයාගේ කුමන්ත්‍රණයක් කියලා මම නොදන්නවයි කියලා හිතනවද? ඒත් වැඩක් නෑ මම තාම කැමති නෑ. අපි රොබීව අයින් කරන්නෑ. මම කිව්වොත් කිව්වා ඔන්න“ 

**********************
    එහෙත් ජෝජ් වෙස්ටන් තමන්ගේ බිරිඳට බොහෝ සේ ආදරය කල බව මම පෙරත් කීවා ඔබට මතක ඇතැයි සිතමි. වඩා නරකම දෙය වූයේ ග්‍රේස් වෙස්ටන් මේ බව දැන සිටීමයි. අවසාන වශයෙන් ගත් කල ඔහු ද අනෙක් බොහෝ ස්වාමි පුරුශයන් මෙන් අසරණ විය.මායම් හැට හතර තවත් හැට හතරකින්ම වැඩි කර එවා මනා සේ යෙදවීමෙන් තමන්ගේ අදහස මුදුන් පත් කරවා ගැනීමට ඔහුගේ බිරිඳ වගබලා ගත්තාය. 

 “අපි රොබීව තියාගන්නවා ඒත තමයි අන්තිම උත්තරේ!“ 

   ඊළඟ සතියේ ජෝජ් වෙස්ටන්ට මෙම කතාව දහසැරයක් කීමට සිදුවු අතර යටි ගිරියෙන් කෑ ගැසීම අන්තිම වටය දක්වා ඒමේදී කෙඳිරිල්ලක් බවට පත්ව තිබූ බව කණගාටුවෙන් යුතුව කිව යුතුමය. 
    අවසන වෙස්ටන් මහතා ඉතා අකමැත්තෙන් ග්ලෝරියා වෙත පැමිණ “ලස්සන“ විසිවොක්ස් එකක් (සිනමා විත්‍රපටයක් ) බැලීමට යෑමට යෝජනා කැර සිටියේය. ග්ලෝරියා සතුටින් අත්පුඩි ගැසුවාය. 

“රොබීටත් යන්න පුළුවන්ද?“ 

“බෑ වස්තුවේ“ වේදනාවෙන් යුතුව පැවසූ වෙස්ටන් මහතා. 

“ එයාලා රෙබෝලව ඇතුලට ගන්නෙ නෑනෙ ඒත් ඔයා ගෙදර ආවාම ඔක්කොම එයාට කියන්න“ 
   පැකිලීමෙන් යුතුව අවසන් වචන එකතු කලේය. ඔහුට තමන්ගේ දියණිය ගේ ප්‍රීතිමත් දෑස දෙස කෙලින් බැලිය හැකි වූයේ නැත. විසිවොක්ස් එක බැලීමෙන් අනතුරුව ග්ලෝරියා පැමිණියේ සතුටින් ඉපිලෙමිනි. ඇත්ත වශයෙන්ම විසිවොක්ස් එක සතුටුදායක අත්දැකීමක වී තිබිණි. 
     පියා ජෙට් කාරය ගරාජය තුල නවත්වන තුරු ග්ලෝරියා නොයිවසිල්ලෙන් බලා සිටියාය. 

“බලන්නකෝ ඩැඩී, රොබී මේකට හැම එකටම වඩා කැමතිවෙයි. මට ඉවසිල්ලක් නෑ එයාට ඔක්කොම කියනකම්. අර ෆ්‍රැන්සිස් ෆ්‍රෑන් හිමින් සීරුවේ කිට්ටු කරලා ලෙපඩ් මෑන් ඉස්සරහටම පනිනකොට එයාට දුවන් ඉඩ නැතිවෙච්ච එක.“ ඇය නැවතත් සිනාසුනාය. 

“ඩැඩී, ඇත්තටම හඳේ ලෙපඩ් මෑන්ලා ඉන්නවද?“ 

“මම හිතන්නෑ වස්තුවේ“ වෙස්ටන් මහතා උත්තර දුන්නද සිටියේ වෙන කල්පනාවකය. 

“ඒක අපිව රවට්ටන්න විහිළුවට හදපු එකක්“  
   කොපමණ ගරාජය තුල පරක්කු වූවද අවසානයේදී සත්‍යයට මුහුණ දිය යුතු බව වෙස්ටන් මහතා අකමැත්තෙන් සිහිකලේය. තණ තීරුව දිගේ දිවගිය ග්ලෝරියා රොබීට අඬ ගැසුවාය. 

“රොබී..රොබී..“ 

   ඈ එක් වරම නැවතුනේ ලස්සන කෝලී බල්ලෙකුගේ ජායාව දැකීමෙනි. ග්ලෝරියා දුටු ඌ සතුටින් නගුට වනමින් ඈ පිළිගත්තේය. 

 “ෂා..ලස්සන බල්ලෙක්නෙ“ පඩිපෙල නැග ඌ වෙත ආ ග්ලෝරියා උගේ හිස අතගා සුරතල් කලාය.  

“මෙයා මගේද ඩැඩී?“ 

 “ඔව් වස්තුවේ ඌ ඔයාගේ තමයි. බලන්නෙකා උගේ සිනිඳු ලෝම දිහා. ඌ හරිම හොඳයි. ගෑනු ළමයන්ට හරි කැමතියි“ 
ග්ලෝරියාගේ මව පිළින දුන්නේ නිවසේ සිට එළියට එමිනි. 

 “එයාට සෙල්ලම් කරන්නත් පුළුවන්ද?“ 

“ඔව්. මොකද බැරි? එයාට ගොඩක් දේවල් පුළුවන් ඔයා බලන්න කැමතිද?“ 

“ෂා මාරයිනේ අපි දැන්මම බලමු. පොඩ්ඩක් ඉන්න රොබීත් කැමතිවෙයි. 
රොබී...රොබී..“    
   ග්ලෝරියා අවිශ්වාසයෙන් යුතුව කෑ ගෑවාය. තරහින් මුහුන කළු කරගත් ඈ මෙසේ කීවේ පියා දෙසට සිඟිති ඇඟිල්ල දික්කරමිනි.

“ මම දන්නවා ශුවර් එකට රොබී මාත් එක්ක තරහා ගිහින් කාමරේ ඇති. එයාව විසිවොක්ස් එකට එක්කං ගියේ නෑනෙ. තාත්තෙ ඔන්න මම නම් දන්නෑ. ඔයාට තමයි එයාට තේරුම් කරලා දෙන්න වෙන්නෙ. එයා මම කියන අහන්නෑ. ඔයා කිව්වොත් නම් හරි තමයි. “  

   වෙස්ටන් මහතා ගේ දෙතොල් තද විය. ඔහු බිරිඳ දෙස බැලූවද ඈ ඉවත බලා ගත්තාය. ග්ලෝරියා ආපහු හැරී ඉක්මනින් යට තට්ටුව වෙත පිය නැගුවේ කෑ ගසමිනි. 

“රොබී..අනේ එන්නකෝ ඇවිත් බලන්න මමීයි ඩැඩීයි මොනවද මට ගෙනත් තියෙන්නෙ කියලා. එයාලා මට බල්ලෙක් ගෙන්නලා රොබී“ 

ඊළඟ මිනිත්තුවේදී ඈ ආපසු ආවේ බියමුසු දෑසකිනි. 

“මමා රොබී කාමරේ නෑනේ. එයා කොහෙද ගියේ? “ 

   ඈට උත්තර කාගෙන්වත් ලැබුනේ නැත. ජෝජ් වෙස්ටන් හදිසියේ ආ කැස්සක් නිසා ඈත තියන වලාකුලක් දෙස අරමුණකින් තොරව බලා සිටින්නට විය. ග්ලෝරයාගේ ස්වරය හැඬුමට ආසන්න වී තිබුනි. 

“මමා රොබී කොහේද?“ 

මිසිස් වෙස්ටන් ග්ලෝරියාගේ මුහුණ තම මුහුණ හා එක මට්ටමට සිටින තෙක් වාඩි වී ඇගේ ඔළුව පිරිමැද්දාය. 
“තරහා වෙන්න එපා ග්ලෝරියා. රොබී යන්න ගිහින් මම හිතන්නෙ“  

“යන්න ගිහින් ? කොහෙද? එයා කොහෙද ගියේ මමී?“ 

“කවුරුත් දන්නෙ නෑ වස්තුවේ. එයා නිකංම යන්න ගිහින්. අපි එයාව හෙව්වා හෙව්වා එත් හම්බ වුනේ නෑ“ 

“ඔයා කියන්නෙ ආයෙත් එයා එන එකක් නෑ කියලද? “ ඇගේ ඇස් බියෙන් පිරී තිබිණි. 

“අපිට සමහර විට එයාව ඉක්මනට හොයාගන්න පුළුවන් වේවි. අපි එයාව දිගටම හොයමු. ඒත් එතකං ඔයාට මේ ලස්සන බව්වා එක්ක සෙල්ලම් කරන්න පුළුවන්නේ. බලන්නකෝ එයා දිහා. එයාගේ නම විජ්ජු. එයාට-“ 
   එහෙත් ග්ලෝරියාගේ දෑස් කඳුලින් පිරී තිබිණි. 

“මට මේ කැත බල්ලා ඕනි නෑ. මට රොබීවයි ඕන. අනේ මට රොබීව හොයලා දෙන්න“ 

ඇගේ සිතුවිලි වචන වලට හරවන්න බැරිතරම් ගැඹුරු වූ බැවින් ඈ ඉකිගසමින් වැලපෙන්නට වූවාය. 

ඊළඟට මොකද වුනේ? මිසිස් වෙස්ටන් මොකද කරන්නෙ? අපි ඊළඟ කොටසින් බලමු. 

පින්තූරය : http://robotics.youngester.com/2011_12_08_archive.html

Saturday, September 22, 2012

රොබී 4

පළමු කොටස     
පසුගිය කොටසින් අපිට ග්ලෝරියාගේ අම්මා හමුවුනත් ඇය ගැන අපි කාටවත් පැහැදීමක් නම් ඇති වුනේ නැහැ. අද එතැන් සිට... 
   මිසිස් වෙස්ටන්ට කීකරුව රොබී පිටව යද්දී ග්ලෝරියාගේ පියා ගැන අපි සොයා බලමු.
   ජෝජ් වෙස්ටන් සිටියේ සතුටිනි. මෙලෙස සුවපහසු ලෙස ඉරිදාව ගෙවීම ඔහුගේ සිරිත වී තිබිණි. රසවත් රාත්‍රී ආහාර වේලක්,සිසිල් සුළං රැඳි බැල්කනිය, සුව පහසු සෝපාව,ඉරිදා ටයිම්ස් පුවත්පත තරම් වෙන කිසිවක් නිවාඩු දින හවස් වරුව ගෙවෙන්නට ඉස්තරම් නොවන බව වෙස්ටන් මහතා දැන සිටියේය. එනිසාවෙන්ම ඔහුගේ බිරිඳ ඈත එන දැකීම ඔහුට කිසිසේත් ප්‍රිය මනාප නොවීය. 
     විවාහයෙන් වසර දහයකට පසු වුවද ඔහු ඈට බොහෝ සේ ආදරය කලේය. ඈ දැකීමට ප්‍රිය කලේය. එහෙත් ඉරිදා හැන්දෑවේ සුවපහසුව ඒ ආදරය හා එක්ව ගත නොහැකි තරමට වෙනස් විශයන් දෙකකි. ඈගේ ඉරියව් දුටු වෙස්ටන් මහතා තව පැය දෙකතුනකට තමාගේ නිදහස නැතිවීමට නියමිත බව ඉඳුරා ප්‍රත්‍යක්ෂ කලේය. 
    එනිසා ටයිම්ස් පුවත් පතේ තිබූ අඟහරු ගවේෂණය පිළිබඳ ලෙෆ්රේ-යොෂිඩා අවසන් වාර්තාව ( චන්ද්‍ර පර්යන්තයෙන් දියත් කිරීමට නිමිතව තිබූ මෙම ව්‍යාපෘතියට අදාල යානාව සාර්ථක වන ළකුණු පෙන්නුම් කලේය) වෙත තමාගේ මුළු අවධානයම යොමු කලේ ඈ ළඟ ඇති බව නොසලකමිනි. 
     මිසිස් වෙස්ටන් මිනිත්තු දෙක තුනක් ඉවසීමෙන් බලා සිටියේ ඉන්පසුව තවත් මිනිත්තු දෙකතුනක්ම නොඉවසිල්ලෙන් බලා සිටියේ තම සැමියාගේ අවධානය තමා වෙතට යොමු වන තුරුය. ඉවසා නොහැකි වූ තැන ඈ නිශ්ශබ්දතාවය බින්දාය. 
“ජෝජ්!“
“හ්ම්..“ 
“ජෝජ්, මම කියන්නෙ. නෑ---. මම අහන්නෙ ඔයාට බැරිද ටිකකට ඔය මල ඉලව් පත්තරේ පැත්තකට දාලා පොඩ්ඩක් මං කියන දේ අහන්න“ 
    පත්තරය පැත්තකට දැමූ වෙස්ටන් තමාගේ වෙහෙසකාරී මුහුණ තම බිරිඳ දෙසට හැරවූයේය. 
“ඇයි මොකද නෝනෙ? මොකද වෙලා තියෙන්නෙ?“ 
“ජෝජ් ඔයා දන්නවා මොකද වෙලා තියෙන්නෙ කියලා. මම කියන්නෙ ග්ලෝරියයි අර දරුණු මැෂින් එකයි ගැන.“

 “දරුණු මැෂින් එක? “ 

“ආ..ඔයා බබා වෙන්න හදන්න එපා දන්නැති පාට් එක පෙන්නලා. මම කියන්නෙ අර ග්ලෝරියා රොබීද බොබීද කියලා කතාකරන රොබෝ ගැන. ඌ ග්ලෝරියා ගාවින් හෙල්ලන්නෑ තත්පරේකටවත්“ 

“හොඳයි ඔයාම කියන්න බලන්න ඇයි එයා ග්ලෝරියා ගාවින් අයින් වෙන්න ඕනෙ කියලා? එයාගේ රාජකාරියනේ ඒ. අනිත් එක එයාට දරුණු මැෂිමක් කියලා කියන එක වැරදියි. එයා තමා මගේ අවුරුදු බාගෙක පඩිය වෙන්කරලා ගත්ත හොඳම රොබෝ. එයා ඒ ගානට හොඳටම වටිනවා. අඩුම ගානෙ එයාට මගේ ඔෆිස් ස්ටාෆ් එකෙන් බාගෙකට වඩා මොලේ තියනවා මම හිතන්නෙ.“

       ඔහු නැවත පත්තරය ගැනීමට සැරසුනද මිසිස් වෙස්ටන් එය උදුරා ගත්තාය. 
“මම කියනදේ හොඳට අහගන්න ජෝජ්, මම කැමති නෑ මගේ දරුවා මැෂින් එකකට බාර දෙන්න. ඌ කොච්චර දක්ෂද නැද්ද කියන එක මට වැඩක් නෑ. ඒත ඌට හිතන්න හදවතක් නෑ. අනිත් එක උගෙ ඔළුවෙ මොනවා තියනවද කියලා කවුද දන්නෙ. දරුවො හදන්නෙ යකඩ ගොඩවල්වලට බලාගන්න දෙන්න කියලා මට නම් හිතෙන්නෑ.“  

වෙස්ටන් මහතා රැව්වේය. 
“ඔයා කවදා ඉඳන්ද මෙහෙම හිතන්න පටන් ගත්තෙ. රොබී ග්ලෝරියා එක්ක ඉන්න පටන් අරන් දැන් අවුරුදු දෙකකටත් වැඩියි. ඒත් ඒ දවස්වල ඔයා එයා ගැන මෙච්චර කරදර වුනේ නෑනෙ.“ 

“ඒ දවස්වල එහෙම වුනාට දැන් මෙහෙමයි. ඒ දවස්වල ඌ අළුත්. අමුතුයි. අනික මට තිබුන වැඩ වලින් බාගයක් ඌ ආව නිසා අඩු වුනා. අනිත් එක ඒක ඒ දවස්වල ෆැෂන් එක. ඒත් දැන් නම්. අනේ මන්දා එහා ගෙදර අයත්.-“

“හොඳයි. මේ කතාවට එහාගෙදර මිනිස්සු ගාව ගන්නෙ මොකද? මේ බලන්න. රොබෝ කෙනෙක් මනුස්ස නැනී කෙනෙකුට වැඩයි සීයට සීයක් විශ්වාසයි. අනික රොබී හදලා තියෙන්නෙ එක එක වැඩකට. ඒ ළමයි බලාගන්න. ළමයෙකුට හොඳ යාළුවෙක් වෙන්න. එයාගේ ‘බුද්ධිය‘ සම්පූර්ණයෙන්ම වෙන්වෙලා තියෙන්නෙ ඒකට. ඒක නිසයි එයා කරුණාවන්ත ආදරබර වෙන්නෙ. ඒත් එයා මැෂින් එකක්.“

“ඒත්..ඒත් මොනවා හරි වරදින්න ඉඩ තියනවනේ ජෝජ්. මොනවා හරි.“මිසිස් වෙස්ටන් තැතනුවාය. 
“මොනවා හරි කෑල්ලක් බුරුල් වෙලා ඌට තරහා ගිහිල්ලා ළමයට මොනවා හරි කරදරයක් කලොත්. අනික...-“
    ඈට මීට වඩා දෙයක් කිව නොහැකි වුයේ ඉකියකින් සියල්ල ගිලගත් බැවිනි. “පිස්සුනෙ.“ 
   වෙස්ටන් මහතාට කියැවිනි. ඒ සමඟම නොවැලැක්විය හැකි විදුලියක් ඔහුගේ ගත පුරා දිව ගියේය. 

“මේක මොන විහිළුවකද? අපි මේ ගැන රොබී ගන්න වෙලාවෙත් කොච්චර කතා කලාද? රොබෝලා හදලා තියෙන්නෙ මූලික සිද්ධාන්ත තුනකට අනුව. පළවෙනි එක ගැන අපි කොච්චර වාද කලාද? ඔයා හොඳටම දන්නවා රොබෝ කෙනෙකුට මනුස්සයෙකුට හානියක් කරන්න බෑ කියලා. මොනවා හරි වරදින්න කලින්ම රොබෝ වැඩ කරන්නැතුව යනවා. ඒක කොහොමවත් වෙන්න පුළුවන් දෙයක් නෙවි. අනිත් එක අවුරුද්දකට දෙවතාවක් යූඑස් රොබොට්ස් වලින් විශේෂඥයෙක් ඇවිල්ලා රොබීව සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරලා බලනවා. ඒක නිසා රොබී පිස්සු නටන්න තියන සම්භාවිතාවය අපි දෙන්නා ඒ වගේ පිස්සුවක් නටන්න තියන හැකියාවටත් වඩා ගොඩක් අඩුයි. ඔයාට තේරුනාද? අනිත් එක අපි දැන් කොහොමද එයාව ග්ලෝරියාගෙන් වෙන් කරන්නෙ?“

    ඔහු පත්තරය උදුරා ගැනීමට නැවතත් නිරර්ථක උත්සාහක යෙදුනෙන් ඔහුගේ බිරිඳ එහා කාමරය දෙසට පත්තරය විසිකොට තරහින් පිපිරෙමින් මෙසේ පැවසුවාය. 

“එහෙනම් එහෙමයි ඔයා කියන්නෙ. ජෝජ් මතක තියාගන්න ග්ලෝරියාට මීට පස්සෙ රොබීද බොබීද එක්ක සෙල්ලම් කරන්න බෑ. අනික එයාට යාළුවෙන්න පුළුවන් ළමයි දුසිමක් විතර ළඟපාත ඉන්නවා.ඒත් එයා යන්නෑ. මම තරවටු කරලා යැව්වොත් මිසක්. ඒක පොඩි ගෑනු ළමයෙක් හැදෙන්න ඕන විදිහ නෙවි. ඔයාට එයාව සාමාන්‍ය ළමයෙක් වගේ හදන්න ඕන නේද? ඔයා හිතනවද අහල පහල ළමයි එක්ක සෙල්ලම් කරන්න අකමැති ළමයෙක් සාමාන්‍යයි කියලා? එයා ලොකු වුනාම කොහොමද සමාජෙට මූණ දෙන්නෙ?“

 “ඔයා වතුර වීදුරුවෙත් කිඹුල්ලු දකිනවා ග්‍රේස්. රොබී නිකම් සුරතල් බල්ලෙක් කියලා හිතන්නෙකො. මම තමන්ගෙ තාත්තාටත් වැඩිය බල්ලොන්ට ආදරේ ළමයි ඕනතරම් දැකලා තියනවා “ 

“බල්ලෙක් කියන්නෙ වෙනස කතාවක් ජෝජ් ඇයි ඔයාට මම කියන දේ තේරෙන්නැත්තෙ? අපි ඒ එපාකරපු මැෂිම ඉක්මනටම අයින් කරන්න ඕන. ඔයාට පුළුවන් ආපහු ඌව කොම්පැනිවයට විකුණන්න. මම අහලා බැලුවා. එහෙම කරන්න පුළුවන්.“

 “මොකක් ? ඔයා අහලා බැළුවා? මේ බලන්න ග්‍රේස්. අපි මේක බරපතල විදිහට හිතන්න ඕන නෑ. අපි ග්ලෝරියා ලොකු වෙනකම් රොබීව තියාගන්නවා. අනික මීට පස්සෙ මම මේ මාතෘකාව ගැන කතා නොකරනවා නම් කැමතියි.“ මෙසේ කේන්තියෙන් පැවසූ ඔහු කාමරයෙන් පිටව ගියේය. 

ඊට පස්සෙ මොකද වුනේ? අපි ඉක්මනින්ම දැනගමු.

Thursday, September 20, 2012

රොබී 3

පළමු කොටස
    ග්ලොරියා රොබීට කතන්දරයක් කියන්න පටන්ගත්තා කියලනෙ අපි පහුගිය කොටසෙදි ඉවර කලේ.....අද එතැන් සිට...

“ඔයා ලෑස්තියි නේද? ඔන්න එකෝමත් එක රටක එලා කියලා පුංචි ගෑණු ලමයෙක් හිටියා. එයාට ගොඩක් නපුරු පුංචි අම්මෙකුයි ඊටත් වඩා නපුරු කැතම කැත අක්කලා දෙන්නෙකුයි...“
       ග්ලොරියා කතාවේ හොඳම කොටසට පිවිසෙන විට රෑ දොළහේ කණිසම නාද විය. සුදු අශ්වයක් බැඳි කරත්තය මීයන් සිටිනා වට්ටක්කයක් බවට පත් විය. රොබී ගේ අවධානය මුළු මනින්ම කතාව කෙරේ ඇදී තිබුණි. ඔහුගේ විදුලි ඇස් කතාවේ ආලෝකයෙන් දිලිසෙද්දී එක් වරම බාධාවක් පැමිණිනි. 
“ ග්ලෝරියා“ 
          උච්ච ස්වරයෙන් නැගුනු ඒ හඬ එක් වරක් නොව කිහිප වරක්ම හඬ ගෑ ගැහැණු කටහඬක් විය. ඉවසීමේ පරතෙරටම ගොස් රතුකට්ට ඔන්න මෙන්න යැයි ආකාරයේ කෑ ගැසීමක් විය. 
“ අන්න මමී මට කතා කරනවා.“ ග්ලෝරියා කීවේ එච්චර සතුටකින් නොවේ. 
“ ඔයා මාව ආපහු ගෙදර අරන් ගියා නම් හොඳයි රොබී.“ 
       ග්ලෝරියාගේ ඉල්ලීම යුහුසුළුව ඉටු කිරීමට රොබී දෙවරක් නොසිතුවේ මිසිස් වෙස්ටන්ට කීකරු වීම තම ශරීර සෞඛ්‍යයටද ගුණ බව රොබීගේ රොබෝ කෘතිම මොළය පවා අවබෝධ කරගෙන සිටි බැවිනි. ග්ලෝරියාගේ පියා අද වැනි ඉරිදා දිනවල හැර සාමාන්‍යයෙන් දවල් වරුවේ නිවසේ රැඳෙන්නේ කලාතුරකිනි. ඔහු ගෙදර සිටිනා විට සාමාන්‍යෙන් ප්‍රසන්න තැන්පත් යමක් කමක් තේරුම් ගත හැකි චරිතයක් බව පෙනීගොස් තිබිණි. 
       එහෙත් ග්ලෝරියාගේ මව ඊට හාත්පසින්ම වෙනස් කලබල උල්පතකි. රොබී පවා හැකි තරම් ඇගේ ඇස් මානයෙන් ඈත්වී සිටීමට උත්සාහ කලේය. මවට හමු නොවී තණ පඳුරේ සිට ගේ ඇතුළට යෑමට ඔවුන් ගත් උත්සාහය වැරදී ගියේ මිසිස් වෙස්ටන් ඔවුන් ඉදිරියේ පෙනී සිටි බැවිනි. 

“ මම පණ දාගෙන කතා කරනවා ඔයාට ඇහුනෙ නැද්ද ග්ලොරියා. කොහෙද ඔයා හිටිය? කන් බීරි වෙලාද?“ 

“මම රොබී එක්ක හිටියෙ මමි මම එයාට සින්ඩරැල්ලා කතාව කියලා දෙන ගමන් හිටියෙ. ඒක නිසා මට රෑට කෑම වෙලාව අමතක වෙලාම ගියා. සොරි මමී.“ 

“පුදුමයි රොබීටත් අමතක වුනු එක.“ 
       මිසිස් වෙස්ටන් උපහාසයෙන් පැවසූයේ රොබී එතැන නැතැයි සිතාගෙන මෙනි. එහෙත් එක් වරම රොබී එතැන සිටිතැයි සිතා ඈ රොබීට මෙසේ අණ කලාය. 
“දැන් ඔයාට යන්න පුළුවන් රොබී. ග්ලෝරියාට දැන් ඔයාව ඕනි නෑ.“  
    තමන්ගේ ස්වරය තවත් දැඩි කරගත් මිසිස් වෙස්ටන් මෙසේද එකතු කලාය. 
“මම ආයෙ කතාකරන කම් මේ පැත්තට නාවට කමක් නෑ.“ 
     ඇගේ අණට කීකරු වී රොබී යෑමට සැරසුනද නැවත හැරුනේ ග්ලොරියා රොබී වෙනුවෙන් කතා කිරීමට ඉදිරිපත් වූ බැවිනි. 
“අනේ මමී එයාට ඉන්න දෙන්නකෝ. මම එයාට සින්ඩරැල්ලා කතාව කියලා ඉවරත් නැහැ. මම එයාට පොරොන්දු වුනා ඒක කියලා ඉවර කරනවා කියලා. මම මේ කතාව කියලා ඉවර වෙලාම එන්නම්“

“ග්ලෝරියා.....!“ 

“මම ඇත්තමයි කියන්නෙ මමී. එයා කතාකරන්නැතුව සද්ද කරන්නැතුව ඉඳීවි. ඔයා දැනගන්නෙවත් නැති වේවි එයා ඉන්නවා කියලා. එයා වචනයක්වත් කතා කරන්නැතුව අර කොනේ පුටුවෙ වාඩිවෙලා ඉඳීවි. පුළුවන්. එයා මොනවත් කරන්නෑ. එහෙම නේද රොබී?“
    රොබී ඔහුගේ හිස එක්වරම ඉහල පහල යැව්වේ ග්ලෝරියා සමඟ එකඟවන බව පෙන්වන්නටය. 
“ග්ලෝරියා ඔයා මේ සෙල්ලම නතර කලේ නැත්තම් මම ඔයාට රොබී එක්ක තියන ගනුදෙණු නවත්තනවා සතියක් යනකම්. තේරුනාද?“
    ග්ලෝරියාගේ දෑස කඳුළින් පිරී ගියේය. 
“හරි මමී කමක් නෑ. ඒත් සින්ඩරැල්ලා කියන්නෙ රොබී ආසම කතාව. මම ඒක එයාට කියලා ඉවර කරනකම්වත්......“
    රොබී කකුළ අද්දවමින් ඈතට යද්දී ග්ලෝරියාගේ ඉකිබිඳුම කඳුළු ගංගාවක් බවට පත්විය. 


මිසිස් වෙස්ටන් රොබීට කැමති නැත්තේ ඇයි? අපි ඊළග කොටසින් බලමු. 

පින්තූරය: http://gadget-ideaz.blogspot.com
 

Tuesday, September 18, 2012

රොබී 2

      තමන්ගේ රොබෝ නැනී වුනු රොබී එක්ක හැංගි මුත්තං සෙල්ලම් කර කර ඉන්න  ග්ලෝරියාගේ හැංගෙන්න වාරේ ආව බව පසුගිය කොටසෙදි මතක ඇති. අද එතැන් සිට..

“රොබී හොරෙන් බලන්න බෑ. ඉලක්කම් මගෑර ගණන් කරන්න ඔට්ටු නෑ හොඳේ.“       යනුවෙන් අවවාද කල ග්ලොරියා හැංගෙන්නට සුදුසු තැනක් බලා ඒ මේ අත දිව්වාය.          
     සමාන කාල පරතර අතරේ ගණන් කෙරුනු ඉලක්කම් සියය අවසන ලෝහමය පටලය ඉහලට එසවී රොබීගේ දිලිසෙන විසල් දෑස දිලිසෙන්නට විය. එම දෑස අසල තිබූ කළුගල් කුළ පසෙකින් එළීයට ඇදී ලෙලන දිලිසෙන කපු ගවුමේ කොණ අසල නතර විය. එම ගවුමේ අයිතිකාරිය ග්ලෝරියාම විය යුතු යැයි නීර්ණය කල රොබී එදෙසට පියවර එසවූයේය. 
    සෙමෙන් සෙමෙන් ඔට්ටු ගස හා ග්ලෝරියා අතර පරතරයේ රැඳෙමින් ඉදිරියට ඇදුනු රොබී ග්ලෝරියාට සිතාගැනීමටවත් ඉඩක් නොතබා එක් අතක් ඇය මත තැබුයේ අනෙක් අතින් තමාගේ සීනුව නාද කරමිනි. ග්ලෝරියා සැඟව සිටි තැනින් එළියට ආවේ රොබී වෙත බුම්මාගෙනය. 
“එහෙම ඔට්ටු නෑ. ඔයා හොරෙන් බැළුවා“ ඈ අසාධාරණ අමනාපයෙන් කෑ ගැසුවාය..  

“දැන් අපි හැංගිමුත්තං කලා ඇති. මට ඒක ඇතිවෙලා තියෙන්නෙ මාව කොක්ක බිල්ලෙ ගෙනියන්න රොබී“ ග්ලෝරියා ඇවිටිලි කලාය. 

    එහෙත් අසාධාරණ චෝදනාවෙන් අමනාපයට පත්ව සිටි රොබී බිම වාඩි වී සිය ලෝහමය හිස එයා මෙහා හැරවූයේ බැහැයි කියන්නටය. ඒ දුටු ග්ලෝරියාගේ ස්වරය වෙනස්වී ගියේ සිතාගන්නවත් බැරි වේගයකිනි. වහාම චාටු ස්වරයකින් රොබී ඇමතූ ග්ලෝරියා 

“අයියෝ රොබී ඔයා හොරෙන් බැලුවා කියලා මම හිතලා නෙවෙයිනෙ කිව්වෙ. ඕකට ඔච්චර තරහ ගන්න ඕනැයැ. අනේ මාව කොක්ක බිල්ලෙ ගෙනියන්නකෝ.“ 
     
    එහෙත් මෙවන් චාටු බසට රැවටෙන්නේ රොබී නොවේ. දෑස් අහසට යොමු කල රොබී තවත් වේගෙයෙන් ඔළුය එහො මෙහා වැනුවේය. 

 “අනේ රොබී අනේ අනේ අනේ මාව කොක්ක බිල්ලෙ ගෙනියන්නකෝ.“  
    ඈ ඔහුගේ බෙල්ල වටා තමන්ගේ රෝස පැහැ දෙත් යවා තදින් සිප ගත්තාය. ඉන්පසු තමන්ගේ මුහුණ වෙනස් කරගත් ඈ   
“ඔන්න ඔයා මාව කොක්ක බිල්ලෙ අරන් ගියේ නැත්තං මං අඬනවා.“ 
   යැයි කීවේ හැඬුම් ස්වරයෙනි. ගල් වූ සිත් ඇති රොබී තෙවන වරටද වේගෙයෙන් ඔළුව වැනුවේ ග්ලෝරියා හැඬීමෙන් සිදුවිය හැකි අන්තිම බියකරු තත්තවය ගැන නොසලකමිනි. 
     රොබීගේ ප්‍රතිචාරයේ වෙනසක් නොවුනු තැන ග්ලෝරියා තමන්ගේ අන්තිම තුරුම්පුව පාවිච්චි කිරීමට කාලය එළඹ ඇති බව වටහා ගත්තාය. 

“ඔයා එහෙම කලේ නැත්තම් මම ආයේ.“.ඇය කීවේ අවධානම් ස්වරෙයෙනි.  
“මම ආයේ කවදාවත් ඔයාට කතන්දර කියන්නෑ. කියන්නෙ නෑ කියන්නෙ නෑ නෑ නෑමයි. අඩුම ගානෙ එකක්වත්.“ 
    එම වචන ඇසෙනවාත් සමඟම රොබී සිය මුරණ්ඩු මුහුණ වහා වෙනස් කරගත්තේය. මෙතෙක් වම දකුණ දිශාවන්ට වැනවුනු ඔහුගේ ලෝහමය බෙල්ල වහා ඉහල පහල යන්නට වූයේ කිසිදු තර්කයකින් තොරවය. රොබී සම්පූර්ණයෙන්ම ග්ලෝරියාගේ අන්තිම තුරුම්පුවට පැරදුනේය. සෙමෙන් ග්ලෝරියාව ඔසවාගත් ඔහු ඔහුගේ පිටේ ඇයව හෙවාගත්තේය. ග්ලෝරියාගේ කිඹුල් කඳුළු සැනෙන් වියැළී ගොස් තිබිණි. ඇය සතුටින් ඇගේ මිතුරාගේ ලෝහමය සමට පිරිමැද්දාය. 
    විශේෂයෙන් සවිකරන ලද තාප දඟර සහිත රොබීගේ සම ෆැරන්හයිට් 70වට රත්වී ඈට සුවපහසු සනීපදායක හැඟීමක් ගෙන දුන්නේය. දෙපැත්තට වැනී වැනී ඇගේ දෙපා රොබීගේ ඇඟේ වැදී රිද්මයානුකූලව හඬ නැගුවෝය. 
“ඔයා නම් එයා කොස්ටර් එකක් රොබී. ඔයා ලොකු රිදීපාට එයා කෝස්ටර් එකක්. ඔයා අත්දෙක කෙලින් ඉස්සරහට කරගන්න එහෙම කරන්න රොබී එතකොට තමයි ඔයා එයා කොස්ටර් එකක් වෙන්නෙ.“ 
    එම ඉල්ලීම ඉවත හෙළිය නොහැකි සුළු විය. රොබීගේ අත් එසවී ඉදිරියට එන සුළඟට මුහුණ දිය හැකිව සැකසිනි. දැන් ඔහු රිදී පැහැ එයා කෝස්ටර් එකකි. ග්ලෝරියා රොබෝගේ ඔළුව හරවා දකුණට බරවූයේය. ඔහු දක්ෂ ලෙස පසෙකට ඇල වූයේය. එයා කෝස්ටර් එයා කෝස්ටරයට මෝටරයේ හඬ බ්..ර්..බ්..ර්..ර්.. යනුවෙන් ග්ලෝරියාගේ මුවින් නිකුත් වෙන අතරේදී කැරළිකරුවන්ට විරද්ධව ක්‍රියා කරන බල ආයුධ ශ්...ශශ්..ශ්..ශ් හඬින් නිකුත් වන්නට විය. 
     මනඃකල්පිත කැරළිකරුවන් රැගත් නෞකාව එක පිට එක පහර එල්ල කලද රොබී එයා කොස්ටරයේ ප්‍රධාන නියමු ග්ලොරියා දිගටම නොනැවතී උණ්ඩ වරුසා එක පිට එක එල්ල කලාය. ඒ අතරම ඇය එයා කෝස්ටරයට විධි විධාන දෙන්නටද අමතක කලේ නැත. 
"එක නැවක් විනාශ වුනා. තවත් දෙකක් ඉතිරියි.." ග්ලෝරියා කෑ ගැසුවාය. ඉන්පසුව “යානාව වේගවත් කරන්න“ ඈ උඩඟු ලෙස අණ කලාය. 
“අපේ ආයුධ ඉවර වේගනයි යන්නෙ.ශ්..ශ්..බ්ර්..ර්..බ්ර්...ර්“ 
    රොබීගේ උරහිසෙන් සැඟව මනඃකල්පිත නෞකාවලට එල්ලය ගනිමින් ඈ කෑගැසුවාය. ඈ හට එල්ලය ගැනීමට පහසු වනු පිනිස රොබී එයා කෝස්ටරය වේගයෙන් සතුරා වෙත ළඟා වෙමින් පැවතියේය. තණ බිම පසුකොට පෝටිකෝවට පැමිණි රොබී එහි ගමන් කරන්නා තිගැස්මට පත් කරමින් එක්වරම නැවතුනේය. ඉන්පසු සුමට ලෙස ග්ලෝරියා ඔසවා කොළ පැහැ සුමුදු කළාලය මත තැබුවේය. 
    ග්ලෝරියා වේගයෙන් හති දමන අතරේ මෙසේ විස්මය එකතු කලාය. 
“ෂා..ඒක නම් නියමයි.“ 
    ග්ලොරියාගේ හති දැමීම නතර වන තුරු සිටි රොබී ඇගේ හිසකෙස් මෘදු ලෙස පිරිමැද්දේය. 
“රොබී ඔයාට මොනවා හරි ඕනැද?“ 
    ඈ ඇසුවාය. රොබීගේ චාටු වැඩ ගැන හොඳින් දැන සිටි ඇගේ විසල් දෑස රොබෝ නැනී රැවටීමට සමත් වූයේ නැත. රොබී වඩා වැරෙන් ඇගේ හිසකෙස් අදින්නට විය. 
“හරි හරි මම දන්නවා ඔයාට කතන්දරයක් නේද ඕනෑ..“ රොබී වේගයෙන් ඔළුව වැනුවේය. 
“මොන කතන්දරරේටද ඔයා කැමති?“  
   රොබී ඔහුගේ ලෝහමය ඇඟිල්ලෙන් අහසේ අඩකවයක් ඇන්දේය. 
“අයියෝ.....ආයෙත්.... මට බෑ අනේ.. මම ඔයාට සින්ඩරැල්ලා කතාව කියලා දීලා ඇති සිය සැරයකට වඩා. ඔයාට ඒක එපා වෙලා නැද්ද? අනික ඒ කතාව හොඳයි පොඩි ළමයින්ට.“  
සිඟිති දැරිය ඇගේ නොකැමැත්ත ප්‍රකාශ කලාය. අහසේ තවත් අඩ කවයක්. 
“හරි හරි“
ග්ලෝරියා අකමැත්තෙන් හරි බරි ගැසුනාය. සිතෙන් කතාවේ කරුණු ගොනු කරගත් ඈ (ඇයගේ අටුවා ටීකා ටිප්පනි සමඟ- ඇයට එවැනි ඒවා තොගයක්ම තිබූ බව කිව යුතුය) කතාව පටන් ගත්තාය. 
“ඔන්න එකමත් එක රටක හිටියා සින්ඩරැල්ලා කියලා පුංචි ගෑනු ළමයෙක් එයාගෙ අම්මා පොඩි කාලෙම....“
 සිඟිත් මුව උල් කරමින් ග්ලෝරියා කතාව කියවාගෙන යද්දී රොබීගේ විදුලි දෑස් දිලිසෙන්නට විය. 

ඊට පස්සෙ මොකද වුනේ..අපි ඊළඟ කොටසින් බලමු.. 

පින්තූරය : http://gadget-ideaz.blogspot.com/

Sunday, September 16, 2012

රොබී සමඟ තෑග්ගක්..


       මීට ටික කලකට කලින් ශ්‍රේෂ්ඨ විදු පබැඳුම් ලේඛක අයිසැක් ඇසිමෝව්ගේ සුරංගනා කතාවක් ඔබ කියෙව්වා මතක ඇති. එතැන් පටන් බොහෝ කලක් තිස්සේ ඔහුගේ පළමු විද්‍යා ප්‍රබන්ධය සෙ‍වීමට මම උත්සාහ කලෙමි. එහෙත් ඔහුම කියනා ආකාරයට සඟරා බොහෝ ගණනකින් ප්‍රතික්ෂේප වී එම කතාවේ අලගිය මුල ගියතැන් සොයාගැනීමටවත් නොහැකි විය. ඔහුගේ රොබෝවන් පිළිබඳ ලියැවුනු කතා පමණක් ඇතුළත් The complete Robot : Foundation වෙළුමේ අයිසැක් ඇසිමෝව් මුල් කාලයේ ලියූ (1938 දී තරම් ඈතකදී) කතා කිහිපයක් කියවූ පසු එයින් එක් කතාවක් ඔබ හා බෙදාගන්නට සිතුවා. ඔව් තෑග්ගක් ලෙස.
ඇසිමෝව්ගේ පළමු රොබෝ කෙටි කතාව රොබී(Robbie) කොටස් කීපයක් ලෙස ඔබ හමුවට එනු ඇති. ඔහු ශ්‍රේෂ්ඨ ලේඛකයකු වූයේ එක රැයකින් නොවේ. එහෙත් ඔහුගේ කතා සියල්ලේම දිවයන සහජ ලේඛක හැකියාව ඔහුව දිනෙක ජනප්‍රිය කලේය.
රොබී ගැන ඔහු මෙසේ කියයි.
“ඉයැන්ඩෝ බයිනඩර්ගේ හා ලෙස්ටර් ඩෙල් රේගේ රොබෝ කෙටිකතා දෙකක් කියැවු මම මගේ පළමු කතාව ලියන්නට ඉටා ගතිමි. මිනිසුන්ගේ කුරිරු හස්තයට හසුවන අහිංසක ආදරණිය රොබෝ තේමාව මගේ පෙළැඹවීම විය. 1938 ජූනි 10වන දින මම කතාව ලියද්දී (ඔව් මම මගේ දින සටහන් ගැන බොහෝ සේ සලකනවා)  මගේ උත්සාහය වූයේ රොබෝවන් කෙරෙහි පාඨකයාගේ කරුණාව යොමු කරවීමටයි. එහෙත් එය ලියූ පසු අමුතු දෙයක් සිදුවිය. රොබෝවන් යනු කරුණාවට ලක්විය යුතු හෝ බිය විය යුතු සංකල්ප වීමට වඩා රොබෝවන් යනු නීරස ඉංජිනේරුවන් විසින් තනන ලද කාර්මික නිශ්පාදන සේ කල්පනා ලාංජනක් ඇතිවිය. මම රොබෝ කතන්දර ලියාගෙන යද්දී මෙම කල්පනා ලාංජනය නිතරම මගේ සිතෙහි හොල්මන් කලේය...“

කතා දහසකට මග පෑදු රොබී මෙතැන් සිට..


“අනූ අටයි..අනූ නමයයි..සීයයි..ඔන්න මම එනවෝ.“
      අත්ල දෙකින් මුහුණ වසා සිටි ග්ලෝරියා ඇස් ඇරීමට පෙර කෑ ගැසුවාය. සිඟිති මුහුණේ ප්‍රශ්නාර්ථයක් සඟවාගත් ඈ මොහොතක් වට පිට බැලා නහය මදක් හකුළුවා වේගෙන් ඇසිපිය ගැසුවාය. ඇය මුහුණ වසා සිටි ඔට්ටු ගස ළඟ වට කීපයක් කැරකුණු ග්ලෝරියා මුළු ප්‍රදේශයම සිසාරය යන බැල්මක් හෙලා ප්‍රවේසම්කාරී ලෙස වට පිට පරීක්ෂා කැර බැළුවාය.       කොක් කරක් සේ බෙල්ල දික්කොට ඈ ඇගේ විමසුම්කාරී බැල්ම අසල තිබූ පඳුරු හා ගස් වෙත පා කලද කිසිදු ප්‍රථිඵලයක් නොවීය.පඳුරු අතර ඇති අඳුර වෙත මනා විමසුමක් වෙනුවෙන් ඈ ඔට්ටු ගසෙන් තවත් ඈත් වූවාය. මී මැසි කැලගේ ගුමු ගුමුව හෝ දහවල් ඉරට නිර්භීත කුරුල්ලකුගේ නාදය ඇරෙන්න මුළු පරිසරයම නිශ්ශබ්දව පැවතුනු බව කිව මනාය.  


“මම සිය සැරයක් විතර කියලා තියනවා ඒහෙම ඔට්ටු නෑ කියලා.“ ග්ලෝරියා කට උල් කරගනිමින් ඇයටම කියා ගත්තාය. නළල රැළ කරගෙන තොල් දෙක තදින් පියවූ මුහුණින් ඈ මුරණ්ඩු ලෙස පාර පසුකොට ඇති දෙමහල්  ගොඩනැගිල්ල දෙසට පිය මනින්නට පටන් ගත්තාය. 

    ඇගේ පිටුපසින් සර සර ශබ්දයක් ඇසෙන විට ඈ පරක්කු වැඩිය. සර සර ශබ්දයත් සමඟ තම ලෝහමය පාද ආවේණික රිද්මයකින් එකිනෙක ගටමින් රොබී පෙනී සිටියාය. ආපසු හැරුනු ග්ලෝරියා සැඟවූ තැනින් මෑත්ව ඔට්ටු ගස වෙත උපරිම වේගෙයන් එන තමන්ගේ ජයග්‍රාහී මිතුරා දුටුවාය. අමනාපයෙන් මුහුණ හැකිළු ඈ

 “ රොබී නවතින්න. ඔයා පොරොන්දු වුනා නේද මම ඔයාව හොයා ගන්නකම් එළියට එන්නෙ නෑ කියලා. ඔයත් එක්ක බෑ. ඒක හරි අසාධාරණයි.“ 
 ඇගේ සිඟති පාද වල ඉදිරි ගමන රොබීගේ විසල් පියවර සමඟ සම කිරීමටවත් නොහැකි වූ බව කිව යුතුයි. ඔට්ටු ගසට නිවැරදිව අඩි දහයක් දුරකදී වේගය අඩු කල රොබී සෙමෙන් සෙමෙන් පියවර තබන්නට විය. ග්ලෝරියා තමන්ගේ හැකි උපරිමයෙන් රොබී පසු කරගෙන කෑගසමින් ඔට්ටු ගස බදාගත්තාය.
“හූ හූ රොබී ඔයාට දුවාගන්නවත් බෑ.මොකද ඇත්තට.?“ ඈ රොබීගේ පරිත්‍යාගය ගැන මඳකුදු නොසලකා ප්‍රීතියෙන් කෑ ගැසුවාය.අට හැවිදිරි ඇගේ උපරිම හඬ ඇනුම් පද ස්වරයෙන්  පිරී පැවතිනි. 
“ඔයා හැමදාම මට පැරදෙනවා. හැමදාම මට ඔයාව පරද්දන්න පුළුවන්. යේ යේ යේ යේ. “
     ග්ලෝරියා තාලයට කියවාගෙන ගියාය. රොබී එයට පිළිතුරු දුන්නේ නැත- වචන වලින්. ඔහු ඒ වෙනුවට ග්ලෝරියාගේන් බේරීමට පිණිස දුවන්න සූදානම් වීම රඟපාමින් ඈ වෙහෙසට පත්කලේය. ඇගේ සිඟිති අත් රොබීව අල්ලාගන්නට අසාර්ථක උත්සාහ යෙදිනී.රොබී. 
“ගල් ගැසෙනු.“ ඈ අණ කලාය. 
     ඇගේ සිනහව පුපුරන්නට ආසන්නව පැවතුනේ රොබී වේගයෙන් හැරී ඇයව වඩාගෙන වටයක් කැරකෙන තෙක් පමණි. එක්වරම ඇගේ ලෝකය නිල් අහසෙන් පිරී යන්නට විය.හරිත පැහැ ගස් මැද විවරයක් සාදා ඈ ගිල ගන්නට මෙන් ඇතුල් අතට නැවිණි. රොබී ඇය බිම තබනවාත් සමඟම ඈ ඔහුගේ කකුලට හේත්තු වී ඔහුගේ ලෝහ ඇඟිල්ල අත්නොහැර සිටියාය. 
    මදකට පසු ඈ සිඟිති අතින් අඇගේ අම්මා මෙන් කොණ්ඩය පීරන්නට උත්සාහ කලත් එය සාර්ථක වූවා යැයි කිව නොහැක. අවසන ඈ වටයක් කැරකුනේ තමන්ගේ ගවුම ඉරී ඇත්දැයි බලන්නටය. සිඟිති අතින් රොබීට පහරක් ගැසූ ඈ 
“ඔයා නම් නරක ළමයෙක්. ඔයාට ගහන්නයි වටින්නෙ.“ යැයි කෑගෑවේ තරහක සේයාවකදු නොපෙන්වමිනි. 
   එය ඇසූ රොබී බියෙන් වකුටු වී ගියාක් මෙන් තම මුහුණ වසා ගත්තෙන් ග්ලෝරියාට ඇගේ වචන වෙනස් කරන්න සිදුවිය. “නෑ නෑ මම ඔයාට ගහන්නෑ රොබී. ඔයා ඉස්සෙල්ලා මම කිව්ව දේ ඇහුවෙ නෑනෙ. ඔයාට දිග කකුල් තියන නිසා ඔයා පොරොන්දු වුනා මම හොයාගන්නකම් දුවන්නැතුව ඉන්න. ඒත් ඔයා ඇහුවෙ නෑනෙ. දැන් මගේ වාරේ හැංගෙන්න“
  රොබී ඔහුගේ ලෝහමය මුහුණ එහා මෙහා හැරවූයේ එකඟ වන්නටය.- එකිනෙකට සමාන්තර ලෝහ පේළි සුමටව පාස්සා ඔහුගේ කය සදා තිබූ අතර කුඩා ප්‍රමාණයේ කැබලි බෙල්ලටද සාපේක්ෂව විශාල ලෝහ කැබලි කයටද පාවිච්චි කොට තිබුණි. ග්ලෝරියාට කීකරු වූ ඔහු ගනන් කිරීමට ඔට්ටු ගසට මුහුණ ලා සිටියේය. තුනී ලෝහමය පටලයකින් ඔහුගේ විදුලියෙන් දිලිසෙන ඇස් වැසී යද්දී ඔහු නිසල විය. 

රොබීගේ ඇස් වැසුනු විට සිදු වුයේ කුමක්ද ඊළඟ කොටසින්.. 

රූගේ සටහන: 
රොබී ගේ කතාව තෑග්ගක් වන්නේ මෙතුවක් කල් මා දිරිමත් කල ඔබටය. 
ජීවිතේ හමු වුනු ලස්සන දේවල් ගැන ලියන්නට පටන් ගෙන පසුගිය 13වෙනිදාට වසරකි. පුරා වසරක් තිස්සේ මා ලියූ අනේක විධ සටහන් කියවා දිරිමත් කල ඔබ සැමට බොහෝ තුති. පසුගිය සටහන් වලින් සිත රිදෙන්නට යමක් සිදුවූවා නම් ඒ ගැන සමාව අයදින අතරේදී මාගේ ඉදිරි සටහන් කියැවීමට මා සමඟ එක් වේ යැයි බලාපොරොත්තු වෙමි.

පින්තූරය : http://spectrum.ieee.org/image/1749400

Sunday, September 9, 2012

උතුරු කොනේ තල්වැට මායිමේදී...

නුහුරු සිනා මල් ගොන්න
එක රොත්තට පරවෙන්න නොදී
කම්බි වැට මායිමේ රඳවන 
සිඟිති නගේ නුඹ..

සිඟිති වදන් පොඩි 
මුවින් ගිලිහෙන්න නොදී
තල්වැට මායිමේ රඳවන 
සිඟිති මලේ නුඹ..

යුද සාපයෙන් වියරු වූ
අඳ මිනිසුන් හට 
කිසිදා පෙනේවිද

කාගේ හදවතේ කඳුළු බිඳු
නැගුනිද නුඹලා වෙනුවෙන්

කාගේ දෑත් එසවිනිද 
නුඹලා වෙනුවෙන්

හාල් පරිප්පු පෝලිමට 
ජීවිතේ දියකර 
කඳවුරු මායිමට සතුට මිරිකා හැර
පැමිණි දුක් පැණි රසයැ
දිවිගෙවන නුඹලාට
සිනා මල් නුපුරුදුද සත්තකට...

Sunday, August 5, 2012

සිනෙ රූ: ගේෂාවක්ගේ මතක පොත..Memoirs of a Geisha


මගේ ලෝකය අසම්මතයි. දුර්වලයි. එහි පැවැත්ම රඳා පවතින්නේ එහි ඇති අභිරහස් බව නිසා. මගේ ඉපදුනේ ගේෂාවක වීමට නොවුන මුත් ජීවිතේ එක් තැනකදී  මගේ ඉරණම මාව ගේෂාවක බවට පත් කරනවා. 
මගේ ජීවිතේ අනිත් හැමදේම වගේ මෙයත් තීරණය වූයේ ගසා ගෙන යන රැල්ලෙන්. මගේ අක්කා අරටුවක්  වැනි යැයි මගේ අම්මා නිතරම කියනවා මට ඇසී තිබුනා. සකුරා ගසක් පොළවට සවි වී තියෙන්නාක් මෙන්න ඇය පොළවටම ආදරය කරාවි යැයි ඇය පැහැදිලි කලා මට මතකයි.

අම්මා මාව දුටුවේ දිය දහරක් ලෙස. ගල්පර බාධක හැල හැප්පිලි මැදින් තමන්ගේ පාර සොයාගෙන යන දිය පහරක් ලෙස. බාධයක සිරවූ විට දිය දහර වෙනස් මාවතක් හොයා ගන්නවා. මම ඒ වගේ. 

**********

       ලස්සනට ඉර පායා ඇති දවසක දුඹුරු පාට අවුරුදු නමයක් විතර තරමේ ගෑනු ළමයෙක් දිය පහරක් දිහා බලාන හිටියා. ඉර අව්ව වැටිලා දිලිසෙන දිය පාර දිගටම ගලාගෙන යනවා ඇය බලාන හිටියෙ දියපාර හරහා යන්න හදපු පොඩි ලී පාලම වාරු වෙලා. ගේෂාවකගේ දාසිය වෙලා ගත කරන දවසේ හදිසියේ හම්බවුනු ඉසඹුවක් ඈ, චියෝ චාන් මෙතනට ගෙනැවිත් තිබුනා. කාත් කවුරුත් නැති මේ ජීවිතේ අරුත මොකද්ද කියලා හිතමින් නොනැවතී ගලන දිය පාර දිහා බලන් උන්නු ඇයට නොදැනිම කඳුලක් ඇසින් ගලා හැලුනා.

      පොඩි පාලම උඩින් ඒ දිය පහර හරහා එහා මෙහා ගිය හැමෝම වගේ ඇගේ සිතුවිලි දකින්නට උන්නදු වුනේ නෑ. ඒත්

“දුකින් ඉන්න බැහැයි කියලා හිතෙන තරමටම අද ලස්සන දවසක් නේද?. ඇයි අඬන්නෙ? ඔයා වැටුනද?“ 
කරුණාවන්ත ඇස් දෙකක් එහෙම ඇහුවම චියෝ චාන් ගැස්සිලා බැලුවා. ඒත් ඒ එක්කම ඈ ආපහු බිම බලාගත්තෙ අකැප වස්තුවක් දිහා බැලුවා වගේ.
“ඇයි ඔච්චර ලැජ්ජාවෙන්නේ. බිම බලාගන්න දෙයක් නෑනේ.“ කරුණාවන්ත ඇස් දෙක ආයෙත් කිව්වා.
“අපි හැමෝටම අමාරු කාල තියනවා. අර බලන්න අර කොල පාටට දිලිසෙන කිමෝනාවක් ඇඳන් ඉන්න ලස්සන  නෝනව පේනවා නේද?“ කරුණාවන්ත ඇස් දෙක එයා එක්ක ආව ලස්සන කාන්තාවන් දෙදෙනාගෙන් එක්කෙනෙකුට අත දික්කරලා පෙන්නුවා.
“ඈ කාලයක්  ගේෂාවකගේ දාසියක් විදිහට වැඩ කලා. දවසක් ඈ ඇගේ ලී සපත්තු පෙරළිලා බිම වැටුනා“ කරුණාවන්ත ඇස් දෙක හිනාවෙමින් ආපහු කිව්වා.
“ඔව්. ඇත්ත. මම කාලයක් එහෙම හිටියා. “ කොළ පාට කිමෝනෝව ඇඳගත්ත ලස්සන කාන්තාව කිව්වා.
“බලන්නකෝ ඈ දිහා දැන්. කොච්චර කදිම කාන්තාවක්ද කියලා. ඈ දැන් ගේෂාවක්“ කරුණාවන්ත ඇස් දෙක චියෝ චාන්ගේ ඇස් දෙක බලාන කිව්වා.
“ඔයාගෙ නම මොකද්ද? ඔච්චර බයවෙන්න එපා මා දිහා බලන්න“ කරුණාවන්ත ඇස් දෙක ඇහුවා. අම්මගෙන් පස්සෙ ඇහුන කරුණාවන්තම වචන ඉස්සරහා චියෝ චාන් ගොළුවුනා.
“ඔයා කැමති මිදිරස අයිස්වලටද චෙරි රස අයිස් වලටද? “ කරුණාවන්ත ඇස් දෙක ඇහුවෙ ළඟ හිටිය අයිස් වෙළෙන්දා දිහා බලමින්.
“කන්නද?“ චියෝ ඇහුවෙ සැකයෙන්.
“ඔව් වෙන මොනවටද මම නම් කැමති  මිදි රස අයිස් වලට. එන්න යමු .“
“අපි බලාපොරාත්තුවෙන තරමේ කරුණාවක් අපි හැමෝටම ලැබෙන්නෑ දරුවෝ. මගේ ළමයි හැම ගිම්හාන නිවාඩුවේම මේ අයිස් කන්න බලාන ඉන්නෙ.“ කරුණාවන්ත ඇස්දෙක දිගටෝම කියාගෙන ගියා. ඊට පස්සෙ අයිස් වෙළෙන්දාගෙන් මිදි රස හා චෙරි රස අයිස් පලම් දෙකක් ඉල්ලුවා. රතු පාට චෙරි යුෂෙන් රස ගන්වපු එක අයිස් පලමක් චියෝ චාන්ට දුන් කරුණාවන්ත ඇස් දෙක අනිත් අයිස් පලම කන්න පටන් ගත්තා. 
කරුණාවන්ත ඇස් දෙක කලින් පෙන්නපු කාන්තාවන් දෙදෙනා  ඈත ඉඳන් හිනා වෙවී හිටියා. 
හදිසියේම යමක් මතක් වුනු චියෝ චාන් අයිස් පලමේ රතු පාට තමන්ගේ තොල් දෙකේ තවරගෙන පළමු වතාවට තමන්ගේ සුපුරුදු හඬ අවදි කලා. 
“ම්..දැන් මමත් ගේෂාවක්. බලන්න“
“ඕ...ඔව් ඇත්තටම“ කරුණාවන්ත ඇස්දෙක හයියෙන් හිනා වුනා. 
“ඔච්චර ලස්සන ඇස්දෙකක් ඔයාට කවුද දුන්නෙ“ කරුණාවන්ත ඇස්දෙක ඇහුවෙ චියෝ චාන්ගෙ   හිනාවෙන ඇස් දිහා බලලා.
“මගේ අම්මා තමයි මට ඒවා තෑගි දුන්නෙ.“ චියෝ චාන් කිව්වෙ ඒ වයසෙ ඉන්න හැම දරුවෙකුගෙම තියන දඟකාර හඬින්. චෙරි රස අයිස් පලම් ඇගේ දුක්බර සිතුවිලි ඈතට පා කරවමින් උන්නා.
“ඔයාගෙ අම්මා හරිම හොඳයි වගේ. එහෙම නේද? “
“හරියට ඔයා වගේ“ චියෝ චාන් කිව්වෙ ඒ කරුණාවන්ත ඇස් දෙක දිහා කෙලින් බලලා. 
“මං වෙනුවෙන්  එක සැරයක් හිනාවෙන්න පුළුවන්ද? “ කරුණාවන්ත ඇස් දෙක ඇහුවෙ චියෝ චාන්ගෙ තොල්දෙකින් ගිලිහුනු තිබුන රතුපාට අයිස් පලමේ යුෂ අයින් කරමින්.
චියෝ චාන් තමන්ට පුළුවන් හොඳම හිනා මූණ පැළඳගෙන හිනා වුනා.
“ආන්න මේ ලස්සන හිනාව තමා ඔයාගෙන් මට ලැබෙන තෑග්ග.“
වෙළෙන්දා දුන්න ඉතුරු සල්ලි ටික තමන්ගෙ ලේන්සුවෙන් ඔතලා චියෝ චාන්ගෙ අතට දුන්න කරුණාවන්ත ඇස්දෙක මෙහෙම කිව්වා.
“මීට පස්සෙ කරදර කොච්චර ආවත් ඔයා දුකින් ඉන්න එපා. මේ තෑග්ග හැමදාම මතක තියා ගන්න“

*******
Remember Chiyo, Geisha are not
courtesans, and we're not wives.
We sell our skills, not our bodies.
We create another secret
world, a place only of beauty.
The very word Geisha means
artist, and to be a Geisha …
… is to be judged as
a moving work of art.
Agony and beauty, for
us, live side by side.
Your feet will suffer,
your fingers will bleed.
Even sitting and
sleeping will be painful.
You cannot call yourself a true Geisha until you
can stop a man in his tracks with a single look.
-Mameha
********
කරුණාවන්ත එක වචනයකට කොච්චර දුර යන්න පුළුවන්ද? අවුරුද්දක් දෙකක්, දහයක් නැත්නම් මුළු ජීවිත කාලයම බලාපොරොත්තුවේ සිසිලසින් පුරවන දුරක්...චියෝ චාන් හා කරුණාවන්ත ඇස්දෙක දිහා රිදී තිරයෙන් බලන් සිටි මට සිතුනා.
********

රූගේ පසු සටහන:
ආතර් ගොල්ඩන්ගේ පොතක් ඇසුරින් රොබ් මාෂල් 2005 අධ්‍යක්ෂනය කල "Memoirs of a Geisha" චිත්‍රපටය ඇකඩමි සම්මාන හයකට නිර්දේශ වූ අතර තුනක් දිනාගනු ලැබුවා. ස්ටීවන් ස්පිල්බර්ග් ගේ Amblin Entertainment නිශ්පාදනය කල මෙම චිත්‍රපටිය ජපානයේ හා කැනඩාවේදී රූ ගත කරන ලද්දක්. 

Monday, July 30, 2012

පුස් තකා 5: සමුගැන්ම..

     තමාට වැදගත් වූ තැන්වලදී පා සටහන් සදාකාලිකවම තබා යෑමට මිනිසාට බැරි ඇයි?
         දුයිෂෙන් සහ මා කඳුකරයේ සිට ආ ඒ අඩි පාර සොයා ගන්නට හැකි නම්, ගැරුතුමාගේ පා සටහන් සොයා ඒවා සිපගැනීමට මා සූදානම්ය. ඒ අඩිපාර සියළුම මාර්ග හා මාවත්වලට වඩා මට අගනේය. මා යළි ජීවිතයට ගෙනැවිත් මට අළුත් විශ්වාසයක් දී අළුත් බලාපොරොත්තු සහ ආලෝකය ලබාදුන් ඒ දවසටත් අඩිපාරට සහ මාවතටත් දේවාශිර්වාද ලැබේවා. එදා පෑවු ඉරටත් එදා පැවති කාළගුණයටත් කෘතඥතාවය හිමි වේවා.
        දවස් දෙකකට පසු දුයිෂෙන් මා දුම්රිය පොළට කැඳවාගෙන ගියේය. එම සිද්ධියෙන් ඉක්බිතිව අයිලයේ නැවතී සිටීම නුවණට හුරුනැති බව පෙණිණි. අළුත් ජීවිතයක් පටන් ගත යුත්තේ අළුත් තැනතිනි. මගේ තීරණය නිවැරදි බව ජනතාව කීහ. මා සමඟ දුම්රියපළට ගිය අනිත් දෙදෙනා සයිකාල් හා කරකේය.

Thursday, July 26, 2012

මම නොදන්නවා නොවෙයි දන්නවා..නොදන්නවා වගේ ඉන්නවා..


  Tharu Pata - Dushan Jayathilake & Uresha Ravihari by user7461189


“අයියෝ අද හොඳටම පරක්කුයිනෙ ..“ සෙනුරි හිතුවෙ අත බැඳි ඔරලෝසුව දෙස තරහින් බලමින්. 
            උදේ හතරේ ඉඳන් එන මේ ගමන තවමත් නිමාවක් නෑ. සුධර්මාරාමයේ රසායනික විද්‍යා පන්තියේ ඉස්සරහ පේලියක් අල්ලගන්න හැම ඉරිදම විඳින වදේ දන්නෙ සෙනුරි විතරමයි.
            සුපුරුදු යාළුවන්ගෙ කච කචේ ඕපාදූප මලු මගෑරලා සෙනුරි හැමදාම පන්තියට උදෙන්ම එන්නෙ ඉස්සරහ පේළිවල වාඩි වුනේ නැත්නම් පාඩමට අවධානය යොමු කරන්න අමාරු බව දන්න නිසා. ඒත් අද නම් සෙනුරි පරක්කුයි. හතරේ ඉඳන් බස්හෝල්ට් එකේ ඉඳලා නැග ගත්ත බස්එක පැය ගානක් ගාටනවා දැනුනම සෙනුරිට දැනුනෙ ඉවසන්න බැරි කේනතියක්. එත් කරන්න වෙන දෙයක් නැති කමට බස් එකේ පන්තිය ගාවට ආව සෙනුරි ත්‍රිත්ව විද්‍යාලය ගාව බස්හෝල්ට් එකේ බැහැගත්තා. බස්එකේ සෙනඟ අතර තෙරපිලා සිටි සෙනුරිට බස් එකෙන් බැස්ස එකම අස්වැසිල්ලක් ගෙනාවා.
           සුධර්මාරාමයේ කන්ද පාමුල ඉඳන් සෙනුරි හීල්ලුවෙ කොච්චර හයියෙන් ගියත් අද නම් පිටිපස්සෙ පේළි ඇරෙන්න වෙන පේලියක් ලැබෙන්නැති බව දන්න නිසා. සුළඟට පාවුන සුසුම නිසා හෑල්ලු වෙච්ච සෙනුරි අළුත් හිනාවක් මූණට අරන් සුධර්මාරාමයේ කන්ද නගින්න පටන් ගත්තා.

Thursday, July 5, 2012

බංගලාවට ගිය නංගී...

නෙතේ කඳුළ දැළි කුණු ළඟ                        නැවතිලා.
පුංචි හිතේ පීදුනු මල් සතුට නැතුව                 මැලවිලා
කොණ්ඩ කරල් දෙකේ තිවුන පීත්ත පටි         ගැලවිලා
පුංචි නගේ නුඹ දා බිදු බංගලවෙ                    නැවතිලා


නුපුරුදු සැර ඇණුම් බැණුම් පුංචි සිතේ          සැඟවිලා
පුංචි කඳුළු මුතු කැටයක් නෙතින් පනියි         දඟලලා
දැළි කුණු වැකි කඩමාල්ල ලපටි සිරුර          හැඩකලා
පුංචි නගේ නුඹෙ දා බිදු බංගලාවෙ               නැවතිලා


අම්මා ගියා පිටරටකට යලි එනවයි              කියාලා
දෑ අවුරුදු ගතව ගිහින් තාමත් නෑ                ඇවිල්ලා
පුංචි බේබි නලවගන්න නැළවිලි ගී              කියාලා
පුංචි නගේ නුඹෙ දා බිඳු බංගලාවෙ                නැවතිලා


අඳුර අරන් ආ පුන්සඳ කවුළු දොරින්          බලාලා
කිරිපැණි ගෙන ආවෙ නැතිද වලා ගැබට    මුවාවෙලා
කිරිත් පැණිත් එපා අනේ මව් උණුසුම       සොයාලා
අරන් එන්න නගා ළඟට මව්ගෙ සුවඳ        දවටලා


තැනින් තැනින් සිදුරු වෙච්ච කඩමාල්ලෙ  ඇලවිලා
පුංචි නඟා ඉකි බිඳිනා හඬට තරුමල්         ඇහැරිලා
සෙමෙන් සෙමෙන් එබී බලයි සීත සුළං     ගෙනල්ලා
තරුමල් ඇඬුවා රහසින් නුඹේ කඳුළු         සඟවලා


පින්තූරය: http://www.instablogs.com/entry/hey-we-are-civilised-and-educated/

Monday, July 2, 2012

ඊයා මේ මොනවද මේ..!!

“අක්කෙ අපි xxxx ශිෂ්‍ය සංගමෙන්. අපේ සාහිත්‍ය උළෙලට පොඩි උදව්වක් කරන්න.“
     සපත්තු කුට්ටමක් ගැනීමේ පරම චේතනාවෙන් නුගේගොඩ හන්දියේ කඩවල රස්තියාදු වෙද්දි ඉස්සරහට ආපු මල්ලි කෙනෙක් පාර හරස් කලා. එයාගෙ අතේ තිබුනෙ පොත් සලකුණු මිටියක්.
“කවද්ද මල්ලි උත්සවේ තියෙන්නෙ? “
අහන ගමන් මම බෑග් එක පීරුවෙ පර්ස් එක හොයාගන්න වගේම අතීත සිද්දියක් මතක්වෙලා ආපු හිනාව වහගන්න.අතේ තිබුන ලොකුම කොලේ මල්ලිට දීලා බුක් මාක් එකක් නොගෙනම මම ආපහු රස්තියාදුව ඇරඹුවෙ අර කියපු සිද්ධියේ මතක සටහන එක්කයි. මේ වගේ පාරට බැහැලා සල්ලි එකතු කරපු නැත්නම් හොස්ටල්වල කාමර ගානෙ ගිහින් බුක්මාක් එකක් හරි පින්තූර පොස්ට් කාඩ් එකක් විකුණුලා සල්ලි හොයපු සුන්දර සරසවි ජීවිතේ මොහොතකට මගේ මතකය ඇදිලා ගියේ නොදැනුවත්වම.
*****

Saturday, June 16, 2012

කඳුකතා 4: ස්තුති කතාව හා ෆ්ලෑෂ් ලයිට්

        අද කඳු කතාවෙ කන්දක් ගැන කතාවක් නැද්ද මන්දා. පොඩියට හරි කන්දක් ගැන තියනවා නම් ඒ හන්තාන කන්ද. පසුගිය දවසක ගවේෂකයන්ගෙ සංගමේ සුහද හමුවට ගිහිල්ලා නංගිලා මල්ලිලා ගොඩක් එක්ක සොඳුරු රාත්‍රියක් ගත කරද්දි තමයි අද කතාව මතක් වුනේ.
       මේ දවස්වල සරසවි ගැන කියැවෙන කතා යහපත් සෞඛයෙන් තොර නිසා මම කතාවෙ තියන පඳුරු තැලිල්ල විස්තරේ ටිකක් විතර වැඩි කරනවා. සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තවත් පැතිකඩක් බලාගන්න පුළුවන් නිසා.
***
       

Saturday, June 2, 2012

එකම එක සැරයක්..





නුඹ මෙතුවක් කල් මා ළඟම සිටියත් 
සත්තකයි මා දැනගෙන සිටියේ නැහැ
නුඹ මට කෙතරම් වටිනවාද කියා....


නුඹ මෙතුවක් කල් හෙලූ කඳුළු සුසුම් 
සත්තකයි මට දැනුනේ නෑ
නුඹ මා ළගින් වෙන්වන තෙක්ම


ආයෙත් එකම එක සැරයක් 
එකම එක සැරයක්
එන්න පුළුවන්ද මා ගාව
ඇත්තටම සත්තයි
මා නුඹට ආදරෙයි.






නුඹ දකින තුරු නොදැන සිටියෙමි
සතුට කිමැයි කියා...
නුඹ රුදු වචන වලින් සැඟවුනු 
හැඟීම දිටිමි ආදරයම ලෙස

හිත් මල මිරිකා පොඩි කර දැමුවත් නුඹ
සත්තකයි මට නොදැනුනේ වේදනාව 
ඒ ආදරයම නිසාමැයි...

ආයෙත් එකම එක සැරයක්
එකම එක සැරයක්
මම මා ලෙසම පිළිගන්න පුළුවන්ද?
සත්තකයි 
මම නුඹට ආදරෙයි


සින්දුව ගන්න: One More Time - Kim Hyun Joong
හැමදාමත් ජීවිතේ ගැන ආදරේ ගැන ලියන පොඩ්ඩීට ආදරයෙන්....

Thursday, May 31, 2012

සිනෙ රූ: දඟකාර හාදුව 4

පහන්දිගේ දිනපොතේ පරණ පිටු
සෙනුක් ගේ දිනපොතේ පරණ පිටු

අද විසි හත් වෙනිදා
       ඊයෙ වෙච්ච සිද්ධිය තාමත් කාටවත් අමතක වෙලා නෑ වගේ. මුළු ඉස්කෝලෙම කතා වෙන්නේ ඒ ගැන. ඒ කෙල්ල යන හැම තැනම කට්ටිය හිනාවෙනවා මම බලාගෙන. එක අතකට පව් කියලත් හිතෙනවා. ඒත් ඒ ළමයා මේකෙන් පාඩමක් ඉගෙන ගන්න පාටක් නම් පේන්න නෑ. මේ වගේ දේවල්වලින් වෙන්නෙ මගේ සාමාන්‍ය ජීවිතේ වෙනස් වෙන එක. ඒක නම් හරිම එපා කරපු දෙයක්. 
       අද හවස අපේ අම්මා කාමරේට ඇවිත් නිවේදනයක් නිකුත් කලා. හෙට ඉඳන් මල්ලි මගේ කාමරේට එනවලු. හෙට ඉඳන් අපේ ගෙදරට අමුත්තො දෙන්නෙක් පදිංචි වෙන්න එනවලු. මල්ලිගේ කාමරේ කාමරේට ඒ යාළුවගෙ දුවට දෙන්න වෙනවලු. මේක නම් හරිම අසාධාරණයි. අපිටත් ඉන්න ඉඩ නැතුව ඉන්න එකේ අම්මලා මේ තීරණේ ගන්න කලින් අහන්න තිවුනා. අපේ අම්මගේ මේ හිතුවක්කාර තීරණ නම් මට දැන් ඇතිවෙලා තියෙන්නෙ. කොච්චර කිව්වත් එයා තමයි හරි.  

Tuesday, May 29, 2012

සිනෙ රූ: දඟකාර හාදුව 3

සෙනුක්ගේ දිනපොත
අද විසිපස් වෙනිදා
        මේ දවස්වල ඉස්කෝලෙ ඉන්න ළමයින්ට පිස්සු හැදිලා වගේ. වයසෙ වැරැද්ද! පිස්සුවෙන් වගේ ගෑනු ළමයි පිරිමි ළමයි යාළු වෙනවා කෝලම් කරනවා එක විකාරයි. මේ වයසෙ අය මෙහෙම හැසිරෙනවා කියලා සිග්මන් ෆ්‍රොයිඩ් කියලා තිවුනා එයාගෙ ප්‍රධාන සොයාගැනීම් වලදි. එක එක ජීවින්ගේ පැවැත්ම ගැන ලියවුනු පොත් ටිකක් ආපහු හොයාගෙන කියවන්න ඕන. අපේ පුස්තකාලෙ තියන පොත් ගොඩක් මම දැනටමත් කියවලා තියන නිසා ඒ පොත් ගැන හොයන්න තැනක් බලන්නත් ඕන. මේ ඔක්කොම අටමගල් අද ලියන්න වුනේ පුංචි සිද්ධියක් නිසා.

Sunday, May 27, 2012

සිනෙ රූ: දඟකාර හාදුව 2

දින ෙපාතේ පරණ පිටු..
අද විසි තුන්වෙනිදා
       මමත් මීනුත් සොනුත් චිත්‍ර කාමරේ හිටියෙ හංසයෝ නාට්‍යයේ ඇඳුම් ලෑස්ති කර කර. මට තිවුනෙ හංසයගෙ පියාපත්වල පිහාටු අලවන්න. ඒත් මම තාමත් හිටියෙ සෙනුක්ගෙ ආදරේ ගැන හීන මවමින් හීන ලෝකෙ.
       සෙනුක් ගැන කොච්චර හිතුවත් ඉවර වෙන්නෙ නෑ. ඒත් සෙනුක් මම මේ ලෝකෙ ඉන්නවද කියලවත් දන්නෙ නෑ. ඒකෙන් මට මාවම එපා වෙලයි තිවුනෙ.
“ඔය දැන් ඔයාගෙ ආදරේ සෙනුක්ට කියන්න ඕන.“ සෝනු කිව්වෙ මගේ දුක්බර මූණ දැකලා.
“ආදරේ කියන්න..හ්ම්..“.මම උත්තර දුන්නෙ එච්චර විශ්වාසෙකින් නෙවි.

Friday, May 25, 2012

සිනෙ රූ: දඟකාර හාදුව 1

පහන්දිගේ දිනපොත

අද විසි දෙවනිදා.

            “ඒ පරිසරය දෙව්ලොවක් තරමට ලස්සනයි. ගස්වැල් එකිනෙකාට හිනාවෙනවා වගේයි පෙනුනෙ. ඒ ගස් අතරෙ බිම තිවුන පඳුරක ලස්සන ලා දම් පාට මල් පොකුරක් පිපිලා තිවුනා. එක පාරටම ඒ දම් පාට මල් පොකුර ළඟට රෝස පාට මුහුණක් පාත් වුනා. හීනියට මල් පොකුර සිපගන්න කොට ඒ ලස්සන ඇස්දෙක පියවුනා මම දැක්කා. එයාගෙ ලස්සන කූරු කොණ්ඩෙන් බාගයක් නළල වසාගෙන තිවුනෙ.  ඒ උස සුදු කඩවසම් පිරිමි ළමයා වෙන කවුරුත් නෙවෙයි මගේ සිහින කුමාරයා සෙනුක් කියලා දැනගත්තම මට දැනුනෙ ඉවසිල්ලක් නැති සතුටක්. මම හිටියෙ ඒ ලස්සන වනාන්තරයේ උසම උස ගහක් යට.

Sunday, May 20, 2012

සැනසුම...

දින 

හත්සිය තිහක් 

තිස්සේ

සෑම උදයකදී

නුඹ පසෙක සිට 

පිබිදෙන සඳ

දැනුනි 

ලෝකයම දිනූ ලෙස...