Thursday, October 4, 2012

රොබී 8

පළමු කොටසට 
    පසුගිය කොටසේදී ග්ලෝරියා ඇගේ දෙමව්පියන්ට හොරෙන් ලිස්සා කතාකරන රොබෝ බැලීමට ගියා යැයි කියෙව්වා ඔබට මතක ඇති.. 
අද එතැන් සිට.. 
      කතා කරන රොබෝ යනු හුදෙක්“හුළං පිම්බූ බැලුනයක්“ පමණක් බව කිව යුතුය. ලොව විහිළු රොබෝ කියා දෙයක් තිබේ නම් මෙම රොබෝද ඒ ගණයට අයත් යැයි සැලකිය හැකි වූ අතර එය කෞතුකාගාරයේ මාකටින් ගිමික් එකක් ලෙස සැලකූවද වරදක් නැත. පැයකට වරක් “තෝරාගත්“ නරඹන්නන් රොබෝගෙන් ඇසිය යුතු ප්‍රශ්න එම රොබෝ බාරව සිටිනා ඉංජිනේරුවා රහසේ වෙත යොමු කර විය යුතු අතර ඔහු විසින් රොබෝගේ පරිපථයට “ගැලපෙන“ ප්‍රශ්න පමණක් තෝරා බේරා රොබෝ වෙත යොමු කරයි. 

     එය අවසානයේ ගත්කල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔලමොට්ටල නිර්මාණයකි. දහ හතරේ වර්ගය එකසිය අනූ හය ලෙසද දැන් උෂ්නත්වය ෆැරන්හයිට් 72 ලෙසද වායු පීඩනය රසදිය අඟල් 30.02 ලෙසද සෝඩියම් හි පරමාණුක ස්කන්ධය 23 යැයිද එම රොබෝ දැන සිටීම අගය කල හැකි වුවද එවැනි දේ දැන ගැනීමට රොබෝ කෙනෙකු අවැසි වන්නේ කාටද? වර්ග අඩි හැත්තෑපහක් පමණ ප්‍රමාණයක වයර් හා දඟර වලින් සැදි එම රොබෝට චලනය වීමට තබා ඒ ගැන සිතීමට වත් නොහැකි එකම එක යකඩ ගොඩක් විය. 
     දෙවන වතාවේ ප්‍රශ්න වටයට මෙම රොබෝ වෙත ආ කෙනෙක් ඇත්නම් ඒ අතලොස්සක් බව කිව යුතුය. එහෙත් නරඹන්න් අතර සිටි යොවුන් දැරියක් තෙවන වරටද රොබෝගෙන් ප්‍රශ්න අසන තෙක් ඉවසිල්ලෙන් බලා සිටියාය. 
     ග්ලෝරියා එම කාමරට එද්දී නරඹන්න්ගෙන් ඉතිරිව සිටියේ ඈ පමණි. ග්ලෝරියා ඈ දෙස බැලුවේ නැත. මේ වන විට ග්ලෝරියා හට මනුස්සයෙකු පවා නොසැලකිය හැකි වස්තුවක් වී තිබිණි. ඈ ඇගේ සම්පූර්ණ අවධානයම මෙම අසාමාන්‍ය ලෙස විශාල යකඩ ගොඩ වෙත යොමු කලාය. ග්ලෝරියා මුළු ජීවිත කාලයටම දැක ඇති රොබෝවන් ගෙන් මෙම රොබෝ වෙනස් වූ බැවින් මොහොතකට ඈ පසුබා ගියාය. 
   ඉතාමත් පරීක්ෂාවෙන් හා සැකයෙන් යුතුව ග්ලෝරියා සිය කට හඬ අවදි කලාය. “අනේ මිස්ටර් රොබෝ සර් ඔයාට කතා කරන්න පුළුවන්ද සර්?
    ඇයට විශ්වාස නැති වුවද මෙම රොබෝට කතා කල හැකි නම් ඔහුට වඩා ආචාරශිලී විය යුතු බව ග්ලෝරියා තීරණය කල සැටියකි පෙනුනේ. 
 (කාමරයේ සිටි අනිත් දැරිය මෙම ක්‍රියාව දෙස උන්නදුවෙන් බලා සිට ඇගේ නොට්පොත වේගයෙන් එළියට ඇදගත් අතර කුරුමිණි කකුල් වැනි අකුරු වලින් වේගයෙන් යමක් ලියන්නට ගත්තාය) 
    ලිහිසි තෙල් වලින් නැහැවුනු ගියර් හඬ නගමින් කැරකෙන්නට වූ අතර යාන්ත්‍රික කට හඬක් පිට විය. 
“මම- තමා - කතා- කරන-රොබෝ- මට - කතා - කරන්න- පුළුවන්-
   ග්ලොරියා යකඩ ගොඩ දෙස පසුතැවීමෙන් මෙන් බලා සිටියාය. එය කතා කල බව සැබවකි. එහෙත් ශබ්දය පැමිණියේ අන් දෙසකිනි. අන් අතට ගත් කල රොබෝට කතා කරන්නට මුහුණක්ද නැත. එනිසා ඇය මෙසේ ඇසුවාය. 
“මිස්ටර් රොබෝ සර්, ඔයාට පුළුවන්ද මට උදව් කරන්න?“ 
    කතා කරන රොබෝ නිර්මාණය කර තිබුනේ ප්‍රශ්න වලට උත්තර සපයන්නට වූ අතර එයට පිළිතුරු දිය හැකි වූයේ කලින් සැලසුම් කොට එයට ඇතුල් කරන ලද ප්‍රශ්න වලට පමණි. එනිසා එයට මෙම ප්‍රශ්නයට විශ්වාසයෙන් පිළිතුරු දිය හැකි විය. 
“මට -පුළුවනි -ඔයාට -උදව්- කරන්න“ 

“ගොඩක් ස්තුතියි මිස්ටර් රොබෝ සර්, ඔයා මගේ රොබීව දැක්කද?“ 

“රොබී- කියන්නේ- කවුද?“ 

“රොබී කියන්නේ රොබෝ කෙනෙක්“ ඇය ඇඟිලි වලින් ඉස්සුනාය.
“මේන් මෙච්චර විතර උස ඇති. අනික එයා හරිම හොඳ රොබෝ කෙනෙක්ත එයාට ඔළුවක් තියනවා. ඔයා දන්නවනේ ඒ මොකද්ද කියලා ඔයාට නැති වුනාට රොබීට ඔළුවක් තියනවා. මිස්ටර් රොබෝ සර්.“ කතා කරන රොබෝ මෙහිදී පසුබා ගියේය. 

“රොබෝ -එකක්“ 
“ඔව් මිස්ටර් රොබෝ සර්, ඔයා වගේම රොබෝ කෙනෙක්. එත් එයාට කතා කරන්න නම් බෑ. ඒ වුනාට එයා ඇත්ත මනුස්සයෙක් වගේ. “ 
“මම- වගේ-රොබෝ- එකක්“ 
“ඔව් මිස්ටර් රොබෝ සර්.“  
    මෙම ප්‍රශ්නයට ලැබුනු එකම පිළිතුර වූයේ තතන තතනා නිකුත් වූ පට පට වැනි ශබ්ද කිහිපයක් හා නොගැලපෙන යකඩ එකිනෙක ගැටෙන ශබ්දයක් පමණි. එයට හේතුව වූයේ අත්‍යන්ත සාධාරණීකරනයි (Radical Generalization) එනම් රොබෝට සමූහයක් ගැන කතා කල හැකි වුවද සමුහ කුලකයට එක් අවයවයට අයත් අන්‍යන්‍ය තාව හඳුනා ගැනීම ඔහුගේ හැකියාවෙන් බොහෝ ඈත විශයක් විය.
    ප්‍රශ්නයට සාධාරණයක් ඉටු කරන්නට යෑමේදී එහි දඟර බාගයට බාගයක්ම වාගේ පිලිස්සී ගියේ ප්‍රශ්නයේ ඇති බරපතල බව නිසාය. මෙනිසා කුඩා සංඥා ලාම්පු නොනවත්වා දැල්වෙන්නට විය. 

(මෙම මොහොතේදී අනෙක් දැරිය කාමරෙයන් නික්ම ගියාය. ඇගේ භෞතික විද්‍යාව පාඩම සඳහා ලිවිය යුතු වූ “රොබෝ විද්‍යාවේ ප්‍රායෝගික අංශය“ පත්‍රිකාව සඳහා ඇයට ඕනෑවටත් වඩා කරුණු ලැබී තිබිනි. මෙම පත්‍රිකාව මෙම විශය සඳහා සුසාන් කැල්වින් ලියන ලද බොහෝ පත්‍රිකා අතරින් පළමුවැන්න විය. ) 
     
      තමන්ගේ හිත තුලින් නැගී ආ නොඉවසිල්ල මැඩගෙන ග්ලෝරියා තවමත් කතා කරන රොබෝගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන් ඒ දෙස බලා සිටියාය. එහෙත් යන්ත්‍රය පිටු පසින් නැගී ආවේ “අන්න මගේ දරුවා“ යැයි ඇගේ මවගෙන් නැගී ආ කෑගැසිල්ල පමණි.

“ළමයෝ ඔයා මොනවද මෙතන කරන්නෙ?“ 
    මිසිස් වෙස්ටන් කෑ ගැසුවාය. ඇගේ තැතිගැන්ම කෝපයකට පරිවර්තනය වී තිබිණි.  

“ඔයා දන්නවද ඔයා ඔයාගේ මමීයි ඩැඩීයි කොච්චර බය කලාද කියලා. ඇයි ඔයා පැනලා ගියේ?“ 
    මේ අවස්ථාවේදී රොබෝ ඉංජිනේරුවාද ඔළුව කසමින් ඔවුන් අතරට පැමිණියේය. ඔහු මෙම යන්ත්‍රය සමඟ “සෙල්ලම්“ කලේ කවුරුන්දැයි එකතු වූ සෙනඟින් විමසා සිටියේ කේන්තියෙනි. 

“ඇයි කාටවත් බැරිද මේ බෝඩ් වල තියන ඒවා කියවන්න? කාටවත් බෑ සහයකයෙක් නැතුව මේක ඇතුලට එන්න“ කතා කරන රොබෝ අබලන් වී යෑම නිසා හටගත් කේන්තියෙන් ඔහු කෑගෑවේය. 

   මේ කාලගෝට්ටිය මැද්දේ ග්ලෝරියා සිය වේදනාත්මක කට හඬ අවදි කලාය. 

“මම කතාකරන රොබෝ බලන්න විතරයි ආවේ මමී. මම හිතුවේ මේ දෙන්නම රොබෝලා නිසා මෙයා මගේ රොබී ඉන්න තැන දන්නවා ඇති කියලා.“  
    මෙම වචන අවසන් වෙනවාත් සමගම රොබී සමඟ ගතකල සියක් මතක ආපහු සිහියට නැගුනෙන් ග්ලෝරියා හඬන්නට පටන් ගත්තාය. 
 “මම කොහොම හරි රොබීව හොයා ගන්න ඕන මමී. කොහොම හරි..“ ඈ කඳුලු අතරින් පැවසුවාය.

 “අයියෝ ජෝජ්, මට තවත් නම් මේක ඉවසගෙන ඉන්න බෑ අනේ දෙවියනේ“ ග්ලෝරියාගේ වචන ඇසෙත්ම මිසිස් වෙස්ටන් කෑ ගැසුනේ ඉබේටමය. 

ඊට පස්සෙ මොකද වුනේ? රොබීව හොයාගන්න මිසිස් වෙස්ටන් කැමති වෙයිද? අපි ඊළඟ කොටසින් බලමු.  

පින්තූරු අනුග්‍රහය: http://theoldrobots.com 

24 comments:

  1. කතාව හරිලස්සනට ගලාගෙන යනවා.මොනා උනත් පොඩි එවුන් අහන ප්‍රශ්න වලට ඔය රොබෝලා විතරක් නෙමෙයි අපේ ඔළුත් කරකුට්ටං වෙන වෙලාවල් තියෙනවා.පුදුමයි අප්පා රොබී බේරිලා හිටිය එක ගැන...

    අන්තිම කොටස එනකන් බලාගෙන ඉන්නේ මම බලපු ෆිල්ම් එකමද මේ කියලා බලන්න... වේගෙන් කොටස් ටික දානවට ස්තූතියි අක්කේ ජය වේවා

    ReplyDelete
    Replies
    1. ම්.ස්තුතියි මල්ලි..
      මේ කෑල්ල පරිවර්තනය කරද්දි මට මතක් වුනේ ඇපල් පෝන් එකේ සිරීව..
      ඒ අතින් voice recognition කොච්චර දියුණුද දැන්..?

      Delete
  2. ෆිල්ම් එකක් බලනවා වගේ මැවිල පේනව කියවන කොට. රූ නියමෙට පරිවර්තනය කරල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්..හැමදාම ඇවිත් දිරිමත් කරනවාට..

      Delete
  3. ග්ලෝරියා පව් නේද? පුංචි ලමයි ආදරේ කරන්නේ ඇත්තටම එයාලට ආදරේ කරන අයට නේද කියලා හිතුනා...

    ReplyDelete
    Replies
    1. ම්..ඒක ඇත්ත...
      අපි වගේ දාහක් කොන්දේසි දාගෙන එයාලා ආදරේ කරන්නෑනේ..ඒක නම් හරිම ලස්සන ආදරයක්..

      Delete
  4. මුල මතක නෑනෙ.. :( කොටස් කිහිපයක් දානකම් ඉඳලා ඔක්කොම එක හුස්මට මුල ඉඳන් කියවන්නම්..

    ReplyDelete
    Replies
    1. කොටස් දහයයි..ඒක ඉවර වුනාමම එන්නකෝ..

      Delete
  5. දැන්නම් මිසිස්‌ වෙස්ටන් ට තේරිලා වගේ වැරැද්ද.

    ReplyDelete
    Replies
    1. ඒත් සුවර් නෑ සයු..අපි බලමු නේද?

      Delete
  6. තවම කියවන්න බැරි වුණානේ මුල් ටික.. ඉක්මනට කියවන්නම් හො‍ඳේ...

    ReplyDelete
    Replies
    1. කියවලාම එන්නකෝ එහෙනම්..

      Delete
  7. වැඩිහිටියෝ ළමා ලෝකය තේරුම් ගන්න නම් එයාලටත් ඒ වයසේ කෙනෙක් වගේ හිතන්න ම වෙනවා!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..ගොඩක් වැඩිහිටියන්ට ලොකු වුනාම ඒක අමතක වෙන එක තමා වැරැද්ද..

      Delete
  8. මට මතක් වුනේ දිය රකුසා ගාව හිටපු කොම්පීතරයා..ඌ නම් මට නිදිමතයි කියල නිදියන්ඩත් යනවා නේද..මේ රොබෝවට නම් ප්‍රශ්න දෙක තුනයි දුන්නෙ.. චකබ්ලාස්..

    ReplyDelete
    Replies
    1. හික්ස්..මටත් ඔයා කියනකොට ඌව මැවිලා පෙනුනා..
      මම ඒ කොම්පීතරයට කැමති ඌ චව් චව්ට කොචෝක් කරන නිසා..!!

      Delete
  9. සමහර දෙමවුපියෝ දරුවන් ගැන හිතන විදිහ දෙමවුපියෝ වෙලත් අපිට නම් තවම තේරුම් ගන්න බෑ රූ නෝනා..! හැබැයි මම මගේ දෝනිට යමක් කියන්නේ එයාගේ කෝණයෙන් ඒක දිහා බලලා. ඇයි ඔයා උඩ බිම බලන්නේ තේරුනේ නෑ වගේද..? මෙහෙමනේ.. මම පොඩි කාලේ මට එහෙම අවස්ථාවක් උදා උනහම මම කලේ මොනවද කියලා හිතලා තමයි මම එයාට යමක් කියන්නේ. එයාගේ අම්මටත් මම ඒක කියලයි තියෙන්නේ. අපිට ඕන දේ විතරක්ම එයාගෙන් බලා පොරොත්තු වෙන්න එපා කියලා.

    ReplyDelete
    Replies
    1. ඔයා වගේ තාත්ත කෙනෙක් සහ නංගි බබාවගේ අම්මා කෙනෙක් ලැබුනේ දෝණිගෙ වාසනාවට...
      ඒත් සරත් අමතක කරන්න එපා දෝණිත් අපිත් පරම්පරා දෙකක බව..දැන් පරම්පරාවේ දරුවන් අපි තරම් බොළඳ නෑ වගේම අපිට දැනුන සරල ළමා දිවිය ඔවුන්ට දැනෙන්නෑ..

      අපි ඒකත් තේරුම් ගන්න ඕන...

      Delete
  10. මටනම් මිසිස් වෙස්ටන් ගැන පුදුම කේණ්තියක් එන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගුරුන්ටත් අකුරු වරදින එකේ අම්මලාටත් සමහර තැන්වලදි වරදිනවා ඇති..මමත් නිසූ එක්ක එකඟයි..

      Delete
  11. පරක්කු උනත් දුවන් ආවා රොබීට මොකද වෙන්නේ කියලා බලන්න.. මිස් වෙස්ටන් එක්ක මටත් තරහයි..

    ReplyDelete
    Replies
    1. මටත්..
      එයා නම් හැදෙන පාටක් නෑ..අපි බලමුකෝ..

      Delete
  12. හ්ම්ම්ම් අදමයි මේ පැත්තට ආවේ මේ නිර්මානයනම් ගොඩක් හිතර ඇල්ලුවා නමුත් මේ කතාව මුල ඉඳල දන්නේ නැති නිසා කියවන්න ඕනේ වෙලා අරගෙන ඕන එහෙනම් ආයෙම එන්න පාර මතක තියාගත්තා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තෙ ආවාට..සාදරයෙන් පිළිගන්නවා..
      දැන් නම් කතාව ඉවර වෙන්නත් ළඟ නිසා ඔක්කොම එකපාර කියෙව්වොත් ලේසි වේවි..

      Delete