Thursday, March 28, 2013

“හායි,මම රෝසි...“

      ඒ සරසවියයේ අළුත් වසරේ පළමු දවස. මුලින්ම ගුරුතුමා පැමිණ මන්ව අඳුන්වා දුන්නා.ඒ එක්කම අපි නොදන්නා අයකු සමඟ මිතුරු වී පෙන්වන්නැයි ඔහු අපි හැමෝටම අභියෝගයක් ඉදිරි පත් කලා. 
     ඔහුගේ අභියෝගය පිළිගන්නට සිතූ මම නැගිට වට පිට බැලුවේ මෙතෙක් නොදැකපු මුහුණක් අඳුනා ගන්නට. එක්වරම සුමුදු අතක් මගේ උරහිසේ වැදුනා. මම හැරී බලන විට දුටුවේ රැලි ගැසුනු වයැසිති ආච්චි කෙනෙක්.ඇගේ වත මිතුරු සිනාවකින් සැරසී තිබුනා. 

හායි, මම රෝසි.මට දැන් අසූ හතක්. මම ඔයාට හග් එකක් දුන්නට කමක් නැද්ද?“ 

මට එකවරම සිනහා ගියා. 
“ඔව් ඇත්තෙන්ම මොකද බැරි?“ 
 ඇය මා වැළඳගත්තේ ඇගේ මිතුරු සිනාව වැනිම ප්‍රීතියකින්.!! 

“ඔයා මෙච්චර කලින් ඇයි ඉස්කෝලෙට ආවේ? මේ වගේ ලාබාල අහිංසක වයසකදි?“ මම ඇසුවා.  ඇයත් විහිළුවෙන්ම මෙසේ පැවසුවා. 
 “මම ආවේ පොහොසත් කොල්ලෙක් දාගෙන කසාද බැඳලා ළමයි කිහිපදෙනෙක් හදන්න...!!“ 
“ඇත්තට?“ මම බොරු පුදුමයක් පෙන්නුවා. 
  අපි දෙදෙනාගේම සිනහව එළියට පැන්නේ එකවිටමයි. මෙතරම් වයසකදී ඉගෙන ගන්න ඇයට අවැසි ඇයි යන්න නිතරම මට ඇතිවුනු ප්‍රශ්නයක්. 

“මම හැම තිස්සෙම උපාධියක් ගන්න සිහින මැව්වා. දැන් මම ඇත්තටම උපාධියකට ඉගෙන ගන්නවා.“
    ඇය පැවසුවේ ඇගේ සුපුරුදු සිනහව අතරින්. එදා පන්තිය ඉවර වුනාම අපි එකටම කැන්ටිමට ගොස් චොකලට් මිල්ක්ෂේක් බිව්වා. අපි මිතුරන් වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. 
   ඉතිරි මාස කිහිපයේදිම අපි පන්ති ගියේ එකට. ඇගේ නන්ස්ටොප් කතාවට මම ආකර්ෂනය වුනේ නිතැතින්ම. ඇගේ ජීවිත කාල මැසිමෙන් නැගුනු ජීවන පරිචය මාව පුදුමයට පත්කලා. 
    අවුරුද්දක් පුරා දිවුනු පාඨමාලා කාලය කුල රෝසි සරසවිය පුරා ප්‍රසිද්ධ වුනු එක අරුමයක් නොවේ. ඇයට ලෙහෙසියෙන් මිතුරන් ඇති කරගැනීමේ හැකියාවක් තිබුනා. ඇය ලස්සනට අඳින්නට අශා කලා. ඇගේ මිතුරු මිතුරියන්ගේ ආකර්ෂණයෙන් ඇය බොහෝ සතුටට පත්වුනා. 
     සමාසිකය අවසානයේ අපි රෝසිට ආරාධනා කලා කතාවක් කරන්නට. ඇය එදා අපට කී දේ කවදාවත් අමතක වෙන්නැති වේවි. ඇයව අඳුන්වා දුන්නාට පසු ඇය සෙමෙන් සෙමෙන් වේදිකාව මතට පිය මැන්නා. ඇය සූදානම් වී තිබූ කතාව කරන්නට ඇය පටන් ගන්නවාත් එක්කම ඇගේ සටහන් ටික බිම වැටුනා. මහත් අපහසුතාවයකට පත් වුනු ඇය මයික්‍රෆෝනය ඉදිරියට නැමී මෙසේ පැවසුවා. 
  “මට සමාවෙන්න මම අද ටිකක් කලබලයි. මම මේ දවස්වල බියර් නොබී විස්කි බොන පටන් ගත්තනේ..ඒකයි..කොහොම වුනත් මම පුරුදු වෙච්චි කතාව කියන්න ගියොත් සෑහෙන වෙලාවක් යන නිසා මම දන්න මගේ කතාව කියන්නම්.“
   අපි හැමෝගෙම සිනහව මැද්දෙන් ඇය උගුර පාදා කතාව පටන් ගත්තා. 

 “අපි සෙල්ලම් කරන එක නවත්තන්නේ අපි වයසට ගිය නිසා නෙවි අපි වයසට යන්නේ අපි සෙල්ලම් කරන එක නවත්තන නිසා....“ 
“හැමදාම තරුණව වීම සතුටින් සිටීම සාර්ථක වීම පසුපස ඇත්තේ පොඩි රහසක්. ඔයාලා හැමදාම සිනහා වෙලා ඉන්න. සිනහා වෙන්න පුළුවන් විහිළුවක්, හැමදාම හොයාගන්න. ඒ එක්කම ඔයාලාව ජීවත් කරවන්න පුළුවන් සිහිනයක් තියාගන්න. ඔයාලා ගාව සිහිනයක් නැති වුනු දාට ඔයාලා ජීවත් වුනත් මැරුනා වගේ. අපි අවට ජීවත් වෙන හෝ මිනිසුන් ඇත්තටම මැරිලා එයාලා නොදැනුවත්වම.
“වයසට යාම හා වැඩිහිටියෙක් වීම අතර ලොකු වෙනසක් තියනවා. ඔයාගෙ වසය 19ක් නම් අවුරුද්දක් මොකුත් ප්‍රයෝජනවත් වැඩක් නොකර මුලු කාලෙම ඇඳේ හිටියත් ඔයාගේ වයස අවුරුදු 20ක් වේවි. මට අසූ හතක් වයසෙදි මම මොකුත් නොකර අවුරුද්දක් ඇඳේ හිටියොත් ඊළඟ අවුරුද්දෙදි මට අසූ අටක් වේවි. අපි හැමෝම වයසට යනවා. ඒකට විෂේශ දක්ෂතාවයක් හැකියාවක් ඕන වෙන්නෙ නෑ. 
“ඒත් වැඩිහිටියෙක් වෙනවා කියන්නෙ සෑම වෙනසකදීම සතුටු වෙන්න දියුණු වෙන්න අවස්ථාවක් හොයා ගන්න එක. පසුතැවිල්ලක් නැතිව ජීවත් වෙන එක. වයසක අපි කරපු දේවල් ගැන පසුතැවෙන්නෑ. ඒත් අපි දුක් වෙන්නේ අපිට කරන්න බැරිවුනු දේවල් ගැන. මරණයට බය වෙන්නේ පසුතැවෙන මිනිසුන් පමණයි. “

    ඇය ඇගේ කතාව අවසන් කලේ ජයග්‍රාහීව “THE ROSE“ගීතය ගායනා කිරීමෙන්.ගීයේ පදවැල හොඳින් ඉගෙන ගන්නැයි ඇය අපෙන් ඉල්ලා සිටියා. අවුරුද්ද අවසානයේ ඇය උපාධියක හිමිකාරියක් වුනේ ඇගේ මේ දිදුලන ආකල්පය නිසා. 

    
     උපාධි ප්‍රදානෝත්සවයෙන් සතියකට පසු ඇය සතුටින් මෙලොව හැරගියා. දෙදහසකට අධික සරසවි සිසුන් පිරිසක් ඇගේ අවමංගල උත්සවයට සහභාගි වී සිටියා. අපි සිහින දකිනා දේ වෙනුවෙන් ක්‍රියා කරන්න කවදාවත් පරක්කු නැති බව උදාහරණයකින්ම පෙන්වූ මේ අරුම පුදුම කාන්තාව වෙනුවෙන් අවසන් ගෞරව පුද කරන්නට ඒ කිසිවෙකුත් පසුබට වුනේ නැහැ. මතක තියා ගන්න. 

වයසට යාම අනිවාර්ය වුනත් වැඩිහිටියෙකු වීම ඔබගේ මනාපයට තෝරාගතහැකි දෙයක්..............

රූ සටහන: 

Amanda McBroom අතින් ලියැවී Bette Midler ගේ මියුරු කටහඬින් ගීතවත් වුනු The Rose (song) පොප් ගීය අපට ආපහු හිතන්න දෙයක් ඉතිරි කල ගීයක්.

 මේ සටහන ලියැවුනේ හැමදාමත් ලස්සන ඊ ලියුම් බෙදාගන්න උදිතාගේ ඊයක් ඇසුරින්. එනිසා පොස්ටුව ඇයට තෑග්ගක් ලෙස..


පසු සටහන-31/03/2013
“අපි සෙල්ලම් කරන එක නවත්තන්නේ අපි වයසට ගිය නිසා නෙවි අපි වයසට යන්නේ අපි සෙල්ලම් කරන එක නවත්තන නිසා....“ මේක නියම කියමනක්.

ඊයේ පොඩි උත්සවයකට සහභාගී වුනා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහත්මය කතාවක් කළා. හැමෝම එතුමාගෙන් අහනවලු "මෙච්චර හොඳට සතුටෙන් නිරෝගිව ජීවත් වෙන රහස මොකක්ද කියලා" එතකොට එතුමා හිනා වෙලා කියනවලු "උපන් දා ඉඳන් හුස්ම ගන්න අමතක නොකරපු එකලු හේතුව" කියලා

ඊට පස්සේ වැදගත් කරුණු 5 ක් කිව්වා සතුටෙන් ජීවත් වෙන්න. A,B,C,D,E,

A - Avoid
B - Be
C - Cut down
D - Don't
E - Eat

A - Avoid alcohol
B - Be active
C - Cut down Sugar, Salt, Fats
D - Don't smoke
E - Eat Fruits & Vegetables
ස්තුතියි පැතුම්..
 සිත්තමීගෙන් ලැබුනු තෑග්ග:

ඇතැමෙකුට ආදරය ගංගාවකි
මෘදු පරඬැල් ගිලගන්නා.
ඇතැමෙකුට ආදරය පිහි තලයකි
ආත්මයේ රුධිරය විසිරුවනා.
ඇතැමෙකුට ආදරය කුසගින්නකි
නොනැවතී වේදනා ගෙන දෙනා.
මා දකිනා ආදරයනම් සුවඳැති මලකි,
එහි බීජය ඔබය, ඔබ පමණමය සැමදා.

බිඳී යන්නට බියැති හදවතයි
රඟන්නට පා නොසොල්වන්නේ.
අවදි වන්නට බියැති සිහිනයයි
අවස්ථා මගහරින්නේ.
සිතක සොඳුරු බව නොදන්නායි,
පරිත්‍යාගය නොහඳුනන්නේ,
මියෙන්නට බියැති ආත්මයයි
ජීවතය විඳින සැටි නොදන්නේ.

රාත්‍රියේ හුදෙකලා බව රජයන මොහොතේ
මාවත බොහෝ දුරැති වන සඳ,
ආදරය හිමි වන්නේ
වාසනාවන්තයාටත් ශක්තිවන්තයාටත් පමණකැයි
ඔබට සිතෙනා විට,
සිහිපත් කරගන්න
ශිශිරයේ ඝනැති හිම තලා පතුලේ
සැඟවී ඇති බව
හිරුට පෙම් බැඳි බීජයක් 
වසන්තයේදී රෝස මලක් වී හිනැහෙන.
ස්තුතියි සිත්තමී...
  

Wednesday, March 20, 2013

පුස් තකා 6: It takes a village


ළමයි සැර පරුෂ පුද්ගලයෝ නොවෙති. ඔවුන් තමන් දන්නා වැඩිහිටියන් මත යැපෙති. එම වැඩිහිටියෝ එම ළමුන්ගේ යහ පැවැත්මට බලපාන  දහමකුත් එකක් තීරණ ඔවුන් වෙනුවෙන් ගනිති. ජාතියේ බාල පරපුර හැදී වැඩෙන්නේ පවුල් සංකල්පය අගය කරන සමාජයකද නැතද යන්න තීරණය කිරීමේ වගකීම  එවැනි වැඩිහිටියන් ලෙස අප භාරගත යුතුය. 

        වසර විසිපහකට වැඩි කාලයක් තිස්සේ ළමුන්ගේ යහ පැවැත්ම තහවුරු කිරීමට ක්‍රියාකාරීව උත්සාහ කල සමාජ සේවිකාවක් විසින් ලියන ලද පොත මා ඇස ගැටුනේ කලින් ලියූ පෝස්ටුවට පසුය. ඇමරිකාවේ ජනප්‍රියතම රාජ්‍ය තාන්ත්‍රිකාව ලෙස ප්‍රකට වූ ඈ අන් කවරකුවත් නොව හිලරි ක්ලින්ටන්ය. හරියටම කියනවා නම් හිලරි රෝඩම් ක්ලින්ටන්ය.
       It takes a Village නමින් ඈ විසින් ලියන ලද පොත ළමා සුභ සාධනය පිළිබඳ වෙනත් මානයක් පාඨකයා වෙත පිළිගන්වයි. පොත පුරා දිවෙන තිත්ත යථාර්ථය වනුයේ ළමුන්ගේ යහ පැවැත්ම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ සමාජය මත බවය.
       It takes a village to raise a child යන අප්‍රිකානු පිරුළ එක් තැන් කල හිලරි ඇගේ අත්දැකීම් හා සමාජයේ සත්‍ය උදාහරණ සම සමව ගනිමින් ළමුන් වෙනුවෙන් ඇගේ හඬ අවදි වූ අයුරු එකින් එක විස්තර කරයි.

 චෙල්සා වික්ටෝරියා ක්ලින්ටන් පළමු වරට මා තුරුළට ගනිද්දි ඈ ගැන දැනුනු ආදරයෙන් හා වගකීමෙන් මා ඉපිල ගියෙමි. මා තුරුලේ ඈ නිදද්දී මට දැනුනු ඒ විස්මිත හැඟීම මා කියවූ එකදු පොතකින් මා අධ්‍යනය කල ළමුන්ගෙන් හෝ උසාවිය ඉදිරිපිට මා විසින් නියෝජනය කල එකදු ළමයකුගෙන් හෝ මට ලැබී තිබුනු අත්දැකීම් හා සමකල නොහැකි විය.
ක්ලින්ටන් පවුල
ඈ ඇති දැඩි කල පවුල, ඈ එකතු වූ පවුල හා ඈ විසින් ගොඩ නැගූ පවුල වටා ගෙතී ඇගේ ජීවන අත්දැකීම් වලින් සිත්තම් වූ ඒ පොත මා සසල කල එකම කාලීන සබඳතා (Current Affairs) පොත බව කිව යුතුය. ඈ සහ බිල් ක්ලින්ටන් දරුවන් වෙනුවෙන් ඇවිද ගිය දුර කියවන්නාගේ සිත සසල කරද්දී සමාජයේ දරුවන් වෙනුවෙන් අප සතු යුතුකම් ඉටු කලා දැයි වරදකාරී හැඟීමෙන් සිත දවයි.

අප ළමුන් ගැන උගන්වන පන්තියකට යා යුතුයැයි මා බිල්ට යෝජනා කලේ මා ගැබ්ගත් දිනවල සිටමය. ඔහු හා පළමු වතාවට පියවරු වන්නට සැරසෙන්නන් නිහඬව පුටුවල වාඩි වී සිටියෝය. සියල්ලන්ගේම අත් ඉදිරිපසින් බැඳගෙන සිටියේ තමන් සිටින්නේ වෙනත් ලොවක යන හැඟීමෙනි. අපේ උපදේශකවරයා මෙසේ ඇසීය. දැන් මෙතන බබාලා නාවලා කරලා නැපි මාරු කරපු කී දෙනෙක් ඉන්නවද? අඩුම ගනනේ පොඩ්ඩෙක්ව වඩාගෙන වත් තියන උන්නැහේලා කවුද? මුනු මුනු ගාමින් අත් එකක් දෙකක් එසැවිනි. ඉන්පසු හෙතෙම මෙසේ ඇසුවේය. පොඩ්ඩෙක්ගේ වගකීම ගැන හිතලා තමුන්ලා කී දෙනෙක්ගේ  හොඳ පණ ගිහින් තියනවද? බකස් ගා එළියට පැන්න සිනහව සමගින් අත් සියල්ලම ඉහලට එසවිනි.
සමාජයේ ජීවත් වන්නන් ලෙස අපේ වගකීම නැවත නැවතත්  කන් අද්දර නින්නාද දෙන්නට සමත් වූ ඇගේ පොත කියවිය යුතු ලිස්ටුවට එකතු කරගන්නට වටිේය. හතර වරිගයාටම පිරිනැමෙන පොතේ පිදුම උපුටා දක්වමින් පෝස්ටුව අවසන් කරමි.


For the family I raised me
the family I joined
and the family we made.
 

පින්තූරු අනුග්‍රහය:
http://www.washingtonpost.com/wp-dyn/content/gallery/2010/07/02/GA2010070203262.html
http://books.google.lk/books/about/It_takes_a_village.html?id=_w5JPgAACAAJ&redir_esc=y