පහන්දිගේ දිනපොත
අද විසි දෙවනිදා.
“ඒ පරිසරය දෙව්ලොවක් තරමට ලස්සනයි. ගස්වැල් එකිනෙකාට හිනාවෙනවා වගේයි පෙනුනෙ. ඒ ගස් අතරෙ බිම තිවුන පඳුරක ලස්සන ලා දම් පාට මල් පොකුරක් පිපිලා තිවුනා. එක පාරටම ඒ දම් පාට මල් පොකුර ළඟට රෝස පාට මුහුණක් පාත් වුනා. හීනියට මල් පොකුර සිපගන්න කොට ඒ ලස්සන ඇස්දෙක පියවුනා මම දැක්කා. එයාගෙ ලස්සන කූරු කොණ්ඩෙන් බාගයක් නළල වසාගෙන තිවුනෙ. ඒ උස සුදු කඩවසම් පිරිමි ළමයා වෙන කවුරුත් නෙවෙයි මගේ සිහින කුමාරයා සෙනුක් කියලා දැනගත්තම මට දැනුනෙ ඉවසිල්ලක් නැති සතුටක්. මම හිටියෙ ඒ ලස්සන වනාන්තරයේ උසම උස ගහක් යට.
කොණ්ඩෙ කරල් දෙකකට පෝනියක් වෙන්න බැඳලා මම ලස්සන ගවුමක් ඇඳගෙන හිටියෙ.චිත්‍රයක් ඇඳ ඇඳ හිටපු මට හිමීටම නින්ද ගිහිල්ලා තිවුනා. සෙනුක් ඇවිල්ලා යන්තටම මගේ තොල්දෙකෙන් උණුසුම් හාද්දකි තියලා ගියා. ඒත් ළඟින්ම ආපු සර සර සද්දයක් නිසා මට ඇහැරුනා. වටපිට බලපුවාම මම දැක්කේ ලස්සනම ලස්සන සුදු අශ්වයෙක් මා ගාවින් යනවා. මම එයා පස්සෙ දුවන්න ගත්තා. ටිකක් දුර දුවගෙන යනකොට මට එයාව හොයාගන්න බැරිවුනා. ඒත් ඒ වෙනුවට මම දැක්කෙ සුදුම සුදු ඇඳුමක් ඇඳගත්ත සෙනුක්ව. එයාගෙ කමිසෙ උරහිසට වැටිලා තිවුන ගහක කොළයක් දිහා එයා බලාගෙන හිටියා.
මම දන්නැතිවම එයා ඉස්සරහට යැවිලා. එයා මුහුණ උස්සලා ආදරයෙන් මං දිහා බැලුවා. එතකොට වටේම මල් වලින් පිරිලා ගිහිල්ලා තිවුනෙ. එයා මං ගාවට ඇවිත් මට හාද්දක් දෙන්න මුහුණ ළං කලා. මමත් ඒක පිළිගන්න ලේස්ති වෙනකොටම ඉස්කෝලෙ බෙල් එක නාද වුනා.“
අයියෝ ඒක හීනයක්..!! ආනේ එක සැරයක්..එකම එක සැරයක් ඒ හීනෙ හැබෑ වෙනවනම්...
ඉස්කෝලෙ පන්ති පටන් ගන්න කලින් එළිමහනෙ බංකු පේලියේ වාඩි වෙලා හිටිය මට නින්ද ගිහිල්ලා ඇහැරුනෙ පළවෙනි බෙල් එකෙන්. අනිත් අය පන්තියට ගිහිල්ලත් ඉවරයි. මම තාම හීන දකිනවා. හයියෝ..තව පොඩ්ඩෙන් මට පන්තියත් මගෑරෙනවා.
උදේම දැකපු හීනෙ නිසා මම හිටියෙ ආදර මූඩ් එකක. ටීචර් දෙතුන් සැරයක් කතා කලත් මට තේරුනෙම නෑ. එයාටත් තේරිලද කොහෙද වෙනස. පන්තියේ හැමෝම හිනාවුනත් මට තරහ ගියෙ නෑ. මම තාමත් ඉන්නෙ ඒ හීන ලෝකෙ. මන් දිහා හැමදාම ඇසිපිය නොහෙලා බලන් හිටපු සචිත දැකලා ටීච මෙහෙම කිව්වා.
“ඉගෙන ගන්න එක හොඳටම අමාරුයි නේද? “
“මේ රටේ උසස් පෙළ තුන්වෙනි පන්තියෙ ඉගෙන ගන්න අයගෙ ජීවිත අමාරු නීරස බව අහන්නත් දෙයක්ද? කොච්චර ඒක අමාරු වුනත් මේ වගේ පන්තියක ටීචර් වෙන තරම් අමාරුද? අමාරුද මම අහන්නෙ!! ටීචර් කෑගැහුවෙ තරහින්.
අපි වගේ ඉගෙන ගන්න දක්ෂතාවය අඩු ළමයි ඉන්න හතේ පන්තියට උගන්නන එක එයාටත් එපා වෙලා ඇති. ඒත් අපි ඉගෙන ගන්න දක්ෂ නැතිවුනත් වෙන වෙන හැකියාවන් ගොඩක් පිහිටලා තිවුනා කිව්වොත් ඒක බොරුවක් නෙවි. උදාහරණයක් විදිහට සචිතට රසට කෑම හදන්න පුළුවන්. මගේ හොඳම යාලුවා සෝනුට ලස්සනට කොණ්ඩ මෝස්තර දාන්න පුළුවන්. මීනුට ලස්සනට කාටුන් අඳින්න පුළුවන්. ඇයි අපේ පන්තියෙ ඉන්න බෑන්ඩ් කණ්ඩායම. එයාලට ලස්සනට ගීත කියන්න වාදනය කරන්න පුළුවන්. පළවෙනි පන්තියෙ ඉන්න ආඩම්බර කාරෙයො වගේ නෙවෙයි. අපේ පන්තියෙ කම්මැලි නෑ. අයියෝ එත් මට මොනවද පුළුවන්??
පන්තිය ඉවර වුනාට පස්සෙ අපි (ඒ කිව්වෙ මමයි මීනුයි සෝනුයි) කැන්ටිමට ගියා. හතේ පන්තියෙ බෑන්ඩ් එකේ ලස්සන සින්දුවක් අහන් ඉන්න ගමන් තමයි සෝනු කිව්වෙ අන්තිමට තිවුන මොක් එක්සෑම් එකේ ප්‍රථිපල පිටවෙලා කියලා. අහන්න දෙයක් නෑ අපි ඉතින් අන්තිමයෝ වන්න කප් ගහලා ඉන්නෙ.කොච්චර හොඳට පාඩම් කලත් දැන් සෑහෙන කාලෙක ඉඳලා අපි පාසලේ කප් ගහපු අන්තිමයෝ. එක එක ඕපාදූප කතා කර කර හිටියත් සෝනු තමන්ගෙ කෑම නැවැතුවෙ නෑ.
“ඔයා ඕකත් කන්නද යන්නෙ?“ මීනු සෝනුගෙන් ඇහුවෙ සෝනු පහලොස්වෙනි කුකුල් මස් කෑල්ල කන්න ලෑස්ති වෙද්දි.
“කුකුල් මස් කෑම හදන රෙස්ටොරන්ට් එකක් අපේ තාත්තට තියෙද්දි මම නොකෑවොත් මේවා කවුද කන්නෙ“ සෝනු උත්තර දුන්නා.
“පහන්දි. ඔයාට නූඩ්ල්ස් කන එක එපා වෙලා තියනවාද?“සෝනු මගෙන් ඇහුවා.
මම හිනාවෙලා නෑ කියන්න ඔළුව වැනුවා. අපේ තාත්තා පැල් බෝ කියන නූඩ්ල්ස් රෙස්ටොරන්ට් එකේ අයිතිකාරයා. එයයි අම්මයි එකතු වෙලා ඒක පටන් ගත්තෙ. තාත්තගෙ නූඩ්ල්ස්වල රස මට කවදාවත් ඇතිවෙන්නෙ නෑ.
මීනුයි සෝනුයි දෙන්නම ඒ කතාවට නම් එකඟයි. ඒ ඒදෙන්න මාත් එක්ක නිතරම රෙස්ටොරන් එකට ඇවිල්ලා කෑම ගන්න නිසා.
ඒ අතරෙ අනුපමා අපි ගාවින් ගියේ මට හායි කියාගෙන. අනුපමා අර ආඩම්බරකාර පළවෙනි පන්තියෙ. ඒත් සිසිල්බීම මැෂිමෙන් බීම බෝතලයක් එළියට ගන්න හැටි දන්නෑ. එයා සල්ලිය ඔබලා බලන් හිටියා කෑන් එකක් එළියට එනකම්. ඒත් අපේ ඉස්කෝලෙ වෙන්ඩින් මැෂින් එකට සල්ලිවලට අමතරව තවත් ප්‍රතිකාරයක් ඕන. ඒ ප්‍රතිකාරෙ හොඳටම ප්‍රගුණ කරලා හිටියෙ මම. මම මේස් දෙක එහෙම උඩට ඇදලා ලෑස්ති වෙලා මැෂිම ගාවට ගියා. ඊට පස්සෙ ටිකක් ඈතට වෙලා දකුණු කකුල උස්සලා දුන්නා හොඳ කුන්ෆු පාරක්. ටක ටකස්.. සල්ලි වැටුනා බීම කෑන් එක එළියට ආවා. අනුපමාට ඒක අරන් දුන්න මම ආපහු ඉඳගන්න තැනට ගියේ හිනාවෙවී.
අනුපමා අකමැත්තෙන් වගේ ස්තුතියි කියලා කිව්වා. එත් ඒ එයාලගෙ හැටි පළවෙනි පන්තියෙ අය හතේ පන්තියෙ හිටිය අපි දිහා බලන්නෙ හරි පහත් විදිහට.
“සෙනුක් මේ සැරෙත් පළවෙනියා වෙලා නේද?“ අනුපමාගෙ යාළුවා ඇහුවෙ අපිටත් එක්ක ඇහෙන්න.
“පළවෙනියා වෙලා විතරද ලකුණු 500න් 500යි උපරිම ළකුණු අනුපමා කියනවා“ අනුපමා උත්තර දෙනවා අපිට ඇහුනා.
“සෙනුක් ඇත්තටම මනුස්සයෙක්ද?“ සෝනු ඇහුවෙ ඒ කතාවට.
අනේ මන්දා මම ආයෙත් හීන ලෝකෙ තනි වුනා. මම සෙනුක්ට ඒක පාර්ශවිකව ආදරේ කරන්න පටන් අරන් දැන් අවුරුදු තුනක්. ඒත් තාම එයාට කියන්න බැරිවුනා.
මම දැකපු හීනෙ ටිකින් ටික මම සෝනුටයි මීනුටයි කිව්වා.ඒත් ඔක්කොම නෙවේ.. ඒක කියලා ඉවර කරපු හැටියෙම එයාලා මට විහිළු කරන්න පටන්ගත්තා. ඒ එක්කම පඩිපෙලෙන් මතුවුනේ සෙනුක්.
සුපුරුදු ආඩම්බර කමින් අත්දෙකම සාක්කුවලා ඔබාගෙන එයා ගියෙ වෙන්ඩින් මැෂින් එක ගාවට. එයා දැක්කම මගේ හදවත නතර වෙනවා වගේ දැනෙන්නෙ ඇයි. අද නම් එයා මගේ හීනේ පෙනුනටත් වඩා ලස්සනයි.
වෙන්ඩින් මැෂින් එකට සල්ලි දැම්මත් බීම කෑන් එක එළියට ආවෙ නෑ සුපුරුදු විදිහට. අයියෝ මට එයා ඉස්සරහට යන්න වෙයිද .
හරි අද නම් මට බඩු හම්බ වෙනවා. අනුපමා සෙනුක් ගාවට ගිහින් මට කතා කලා.
“පහන්දී අක්කේ..!! සෙනුක් අයියාට මේක අරන් දෙන්නකෝ.“ එයා තොදොල් වෙලා කිව්වා.
අයියෝ ඉවරයි!! ඒත් දැන් මොනවා කරන්නද? හදිසියෙ හරි මගේ ප්‍රතිකාරය වැරදුනොත් ඉඳලා ඉවරයි.
මාත් මෝඩයෙක් වගේ ගිහින් මැෂින් එකට දකුණු කකුලේ ප්‍රතිකාරය දුන්නා. ටක ටකස්...කෑන් එක එළියට ආවා. ඒ වෙලාවෙ සෙනුක්ගෙ මූණෙ තිවුන පෙනුම!!
සෙනුක් යන්න ගිහින් ආයෙත් හැරිලා ආවා. මම හිතුවෙ මට ස්තුති කරන්න එනවා කියලා.මම කට ඇරගෙන බලන් හිටියත් එයා මාව පහු කරගෙන ආපහු මැෂින් එක ගාවට ගිහින් වැටිලා තිවුන කාසිය ආපහු අරගෙන ගියා.
මම ඉඳලා වැඩක් නෑ අප්පා..හතර විලි ලැජ්ජාවයි..
අද විසි තුන්වෙනිදා
මමත් මීනුත් සොනුත් චිත්‍ර කාමරේ හිටියෙ හංසයෝ නාට්‍යයේ ඇඳුම් ලෑස්ති කර කර. මට තිවුනෙ හංසයගෙ පියාපත්වල පිහාටු අලවන්න. ඒත් මම තාමත් හිටියෙ සෙනුක්ගෙ ආදරේ ගැන හීන මවාගෙන...(පහන්දිගේ දිනපොතේ පිටු පෙරළන්න දිගටම රැඳී සිටින්න)
පසු වදන:
සිනෙ රූ ලේබල් එක තියන පෝස්ටු වලින් ඔයාලා හැමදාම රසවින්දෙ සිනමා සිත්තමක්. ඒත් අද මොකද මේ කතාවක්? එහෙම හිතුනනම් ඔයාලට තව පොස්ටු කීපයක් කියවන්න වෙනවා.