Saturday, June 2, 2012

එකම එක සැරයක්..





නුඹ මෙතුවක් කල් මා ළඟම සිටියත් 
සත්තකයි මා දැනගෙන සිටියේ නැහැ
නුඹ මට කෙතරම් වටිනවාද කියා....


නුඹ මෙතුවක් කල් හෙළූ කඳුළු සුසුම් 
සත්තකයි මට දැනුනේ නෑ
නුඹ මා ළගින් වෙන්වට තෙක්ම


ආයෙත් එකම එක සැරයක් 
එකම එක සැරයක්
එන්න පුළුවන්ද මා ගාව
ඇත්තටම සත්තයි
මා නුඹට ආදරෙයි.






නුඹ දකින තුරු නොදැන සිටියෙමි
සතුට කිමැයි කියා...
නුඹ රුදු වචන වලින් සැඟවුනු 
හැගීම දිටිමි ආදරයම ලෙස

හිත් මල මිරිකා පොඩි කර දැමුවත් නුඹ
සත්තකයි මට නොදැනුනේ වේදනාව 
ඒ ආදරයම නිසාමැයි...

ආයෙත් එකම එක සැරයක්
එකම එක සැරයක්
මම මා ලෙසම පිළිගන්න පුළුවන්ද?
සත්තකයි 
මම නුඹට ආදරෙයි


සින්දුව ගන්න: One More Time - Kim Hyun Joong
හැමදාමත් ජීවිතේ ගැන ආදරේ ගැන ලියන පොඩ්ඩීට ආදරයෙන්....

Thursday, May 31, 2012

සිනෙ රූ: දඟකාර හාදුව 4

පහන්දිගේ දිනපොතේ පරණ පිටු
සෙනුක් ගේ දිනපොතේ පරණ පිටු

අද විසි හත් වෙනිදා
       ඊයෙ වෙච්ච සිද්ධිය තාමත් කාටවත් අමතක වෙලා නෑ වගේ. මුළු ඉස්කෝලෙම කතා වෙන්නේ ඒ ගැන. ඒ කෙල්ල යන හැම තැනම කට්ටිය හිනාවෙනවා මම බලාගෙන. එක අතකට පව් කියලත් හිතෙනවා. ඒත් ඒ ළමයා මේකෙන් පාඩමක් ඉගෙන ගන්න පාටක් නම් පේන්න නෑ. මේ වගේ දේවල්වලින් වෙන්නෙ මගේ සාමාන්‍ය ජීවිතේ වෙනස් වෙන එක. ඒක නම් හරිම එපා කරපු දෙයක්. 
       අද හවස අපේ අම්මා කාමරේට ඇවිත් නිවේදනයක් නිකුත් කලා. හෙට ඉඳන් මල්ලි මගේ කාමරේට එනවලු. හෙට ඉඳන් අපේ ගෙදරට අමුත්තො දෙන්නෙක් පදිංචි වෙන්න එනවලු. මල්ලිගේ කාමරේ කාමරේට ඒ යාළුවගෙ දුවට දෙන්න වෙනවලු. මේක නම් හරිම අසාධාරණයි. අපිටත් ඉන්න ඉඩ නැතුව ඉන්න එකේ අම්මලා මේ තීරණේ ගන්න කලින් අහන්න තිවුනා. අපේ අම්මගේ මේ හිතුවක්කාර තීරණ නම් මට දැන් ඇතිවෙලා තියෙන්නෙ. කොච්චර කිව්වත් එයා තමයි හරි.  
       මගේ කාමරේ කොහොමත් ඉඩ අඩුයි. ඒකට තවත් ඇඳකුයි කබඩ් එකකුයි ආවම හුස්ම ගන්නත් බැරිවේවි. මේව නම් කාට කියන්නද මන්දා.


පසුලිවීම: අපි ඉන්න පැත්තට කිලෝමීටර් කීපයක් එහායින් භුමි කම්පාවක් සිද්ධ වෙලා කියලා ප්‍රවෘත්ති වල කියනවා ඇහුනා. ලෝකෙ මේ පැත්තට කොහොමත් භූමි කම්පා වැඩියි. ඒත් මේ භූමි කම්පාවෙන් එච්චර හානියක් වෙලා නෑ කියලයි ආරංචි


අද විසි අට වෙනිදා
        අද උදේම ඉස්කෝලෙ ප්‍රධාන ශාලාව ඉස්සරහ කලබලයක්. හැමදාම වගේ කවුරුහරි මෝඩයෙක් මෝඩ චූන් එකක් දානවා වෙන්නැති කියලා හිතාගෙන මම ගණන් ගන්නැතුව ගියා. 
“සෙනුක් තමුසෙත් ඇවිල්ලා ආධාරයක් දෙනවා. අනුකම්පාවක් කියලා එකක් තමුසෙගෙ ගෑවිලා වත් නැද්ද?“ ඒ සචිතගෙ හඬ. 
“කරුණාකරලා ඔබගේ ආදරය බලාපොරොත්තු ඇයත් සමඟ බෙදාගන්න.ඔයාලා හැමෝම ඊයේ ප්‍රවෘත්ති බැලුවා කියලා මම හිතනවා. බලාපොරොත්තු නොවූ භූමි කම්පාවෙන් අපේ ආදරණිය යෙහෙළිය පහන්දිගේ නිවස විනාශ වුනා. ඇයට ආපහු ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ඔයාලතේ නොමසුරු ආදරය බලාපොරොත්තුව ලබා දෙන්න. කරුණාකර ඔබගේ ආදර ආධාරය අපට ලබාදෙන්න. “
සචිත මයික් එකෙන් බෙරිහන් දෙනවා.
      ඒ වෙලාවෙම පහන්දි එතනින් යන්න ගියා. මේ මෝඩයගෙ වැඩ වලින් ඒ ළමයා සෑහෙන්න අපහසුතාවෙකට පත්වෙලා.
සචිත ආයෙත් කෑගහන්න පටන් ගත්තා
“කවුරුත් එකතුවෙලා පහන්දිට හොඳ අත්පොලසන් නාදයක් ලබාදෙන්න. මෙච්චර දුක්බර සිද්ධියක් තියෙද්දිත් අද දවසේ ඇය පාසල් පැමිණිලා තියෙනවා. ඇය අපි හැමෝටම ආදර්ශයක්. ආඩම්බරයක්.“ සචිතගෙ බ්‍රේක් නැති කට කෑගහද්දි ඒ ළමයගෙ මූණ රතු වෙලා. 
“ සෙනුක් තමුසෙ පොඩි ආධාරයක්වත් කරන්නැද්ද?“
“ඒ භූමි කම්පාව එච්චර ලොකු එකක් නෙවේ නේද මෙච්චර කෑගහන්න?“ මම ඇහුවා.
“මේ..මේ..පොඩි භූමිකම්පාවටත් අළුතෙන් හදපු පහන්දිගෙ ගෙදර කැඩුන එක ගැන මොකද කියන්නෙ?“
“මම මොනවා කියන්නද? මමයැ භූමි කම්පාව ඇති කලේ.“
“පොඩ් භූමිකම්පා වුනත් සංවේදී හිත්වලට දැනෙනවා. තමුසෙ තමයි එයාගෙ හදවතේ ලොකුම භූමිකම්පාව ඇතිකරලා ලොකු විනාශයක් කලේ.“සචිත පිස්සුවෙන් කියවන්න ගත්තා.
“හරි. එහෙනම් මම සල්ලි දුන්නොත් හරිනෙ“ පර්ස් එකෙන් රුපියල් පන්දාහක් අරගෙන මම පෙට්ටියට දාන්න හැදුවා
“නෑ. කවුද ඔයාගෙන් සල්ලි ඉල්ලුවෙ? මට ඔයාගෙ සල්ලි එපා. මම මැරුනත් පාරෙ හිඟාකෑවත් ඔයාගෙ උදව් එපා. “ එහෙම කිව්වෙ පහන්දි. 
මේක නම් චිත්‍රපටියක් වෙන්න යන්නෙ. මදැයි උදව්වක් කරන්න ආවාම දේවාලේ ඉහේ කඩා වැටෙන්වා.
“හරි. ඔයාගෙ කැමැත්තක්.“ මම ආපහු යන්න හැරුනා. 
“ මේ...සෙනුක්. ඔයා කවුරු කියලද හිතාන ඉන්නෙ. හැම තිස්සෙම අනිත් අයව පහලට දාලා කතා කරන එක ඔයාගෙ හැටිද? ඔයාට අනිත් මිනිස්සු ඔක්කොම පේන්නෙ මෝඩයෝ හැටියටනේ.? ඔයා තමුන්ව සර්ව සම්පූර්ණයි කියලද හිතාන ඉන්නෙ මෙච්චර අනිත් අයගෙ හිත රිදවන්න? ඔච්චර හිතට අරන් ඉන්නෙ IQ එක නිසාද නැත්තම් හොඳට ඉගෙන ගන්න පුළුවන් නිසාද? ඔයාට කඩවසම් මූණක් තිබ්බා කියලා. උස ලස්සන වුනා කියලා..මේ..මේ.. මොකද්ද ඒකෙන් ඇති වැඩේ.?
      ගෑනු ළමයා නම් හොඳටම නාගන්නයි යන්නෙ. මට හිතෙන් හිනා ගියා. පළවෙනි වතාවට කවුරුහරි ප්‍රසිද්ධියේ මට කඩවසම් කියලා කිව්වෙ. හික්ස්..
“ඔයා මහලොකුවට හිතාගෙන හිටියට..හොඳට පාඩම් කරොත් කාට බැරිද ඔය තත්වෙට එන්න. මම දක්ෂ නැත්තෙ මම පාඩම් කරන්නැති නිසා. නැතුව මට බැරි නිසා නෙවෙයි. “
ඊයෙ මගේ කතාව එක්කෙනෙකුට හොඳටම රිදිලා වගේ. කට තියන පලියට කියවන්නැතුව හිතලා කතා කරන්න පුළුවන්නම් මේ ගෑනුළමයට.ආපහු හැරුන මම පහන්දිගෙ ළඟට ගියා.
“ඇත්තද? “
“ඔව්.. ඇත්ත“
“එහෙනම් කරලා  පෙන්නන්න බලන්න. “
“මොකක්? පෙන්නන්න ?“
හ්ම්..මම ඔළුව වැනුවා.
“හරි..මම කරලම පෙන්නන්නම්. මේ සැරේ මාසික පරීක්ෂනයෙන් බලමු. ඔට්ටුයි.“
“කීයක්ද? මේ මාසෙත් ළමයි උපරිම ළකුණු ගන්න ළමයි පනහට විෂේශ කාමරේ පාඩම් කරන්න හම්බවෙනවා.“
“හරි මම මේ සැරේ ඒ පනහ අතරට එනවා.“
“මොනවා .මේ මාසික පරීක්ෂනයෙදි?  “
“ඔව්. මේ මාසික පරීක්ෂනයෙදි. එතකොට මම ඊළඟ මාසෙ විශේෂ කාමරේ පාඩම් කරන්න එනවා. මොකද කියන්නෙ?“
“මොනවා කියන්නද? එහෙම කලොත් මම ඔයාව මගේ පිටේ තියාන ලුණු ගෙනියනවා ඉස්කෝලෙ වටේ.!!“
මම වැඩේ කාගත්තද මන්දා ඒ වචන කියද්දි මට හිතුනා. පහන්දිගෙ හිනාව දැක්කාම මටත් ටිකක් අප්සට්.
“හරි මම බලාගෙන ඉන්නවා.“
දැනටත් පන්සීය වෙනි රෑන්ක් එකේ ඉන්න කෙනෙක් කොහෙමද උඩම පනහට එන්නේ.මට හිනාගියා. කොහොමවුනත් මේ ඔට්ටුව මම දිනනවා. 
       මේ ඉස්කෝලෙ ඇතුලෙ සිද්ධ වෙන්නෙම චිත්‍රපටි කතා තමයි. මේ වගේ බොළඳ ළමයි ජීවිතේ කොහොම ගෙවයිද දන්නෑ ඉස්සරහට.
       අද දිනපොත ලිව්වෙ හවස් වෙලා. අම්මා දැනටමත් මල්ලි මගේ කාමරේට මාරු කරලා.  තාත්තගේ යාළුවා එනවා කිව්වෙ රෑ කෑමටත් එක්ක. තවත් දෙන්නෙක් එක්ක මේ ගෙදර ඉන්න විදිහ මට හිතාගන්න බෑ. අනේ මන්දා අපේ අම්මටයි තාත්තටයි පිස්සු. 
“පුතේ සෙනුක් පහලට ඇවිල්ලා මේ අංකල්ලගෙ බඩු ටික ඇතුළට ගන්න උදව් කරන්න...පුතේ..!“ අම්මා පහල ඉඳන් කෑගහනවා. 
       අර කරදරකාරයෝ ටික ඇවිල්ලා වගේ. මම පහලට යන ගමන් මල්ලිගේ කාමරේට එබුනාත ඒක රෝස විමානයක් වගේ. මොකක් ගෑනූ ළමයෙක්ද එහා කාමරේට එන්න යන්නෙ? !!
      මම ගේට්ටුව ගාවට යද්දි ඒ අංකල්ගෙ බට්ටා වෑන් එක ගාව පිටිපස්ස හැරිලා ගෑණු ළමයෙක් හිටියා. එයාගෙ පිටේ ගෙනියන බෑග් එක දාගෙන කහපාට ටෙඩියෙක්ව තුරුල් කරගෙන හරිම දඟකාර විදිහට ලොකු ට්‍රැවලින් බෑග් එක අදිනවා. 
“මගෙන් උදව්වක් ඕනෙද?“ මම ඇහුවා.
“නෑ. කමක් නෑ. බොහොම ස්තුතියි.මට අරන් යන්න පුළුවන්“  හරිම ආචරශිලී විදිහට එහෙම කියාගෙන ඒ ගෑනු ළමයා මගේ පැත්තට හැරුනා.
“මොකක්? පහන්දි!!!“
“සෙනුක්!! ඔයා මොකද මෙහෙ කරන්නෙ? !!“


නුඹ මෙතුවක් කල් මා ළඟම සිටියත් 
සත්තකයි මා දැනගෙන සිටියේ නැහැ
නුඹ මට කෙතරම් වටිනවාද කියා....


නුඹ මෙතුවක් කල් හෙළූ කඳුළු සුසුම් 
සත්තකයි මට දැනුනේ නෑ
නුඹ මා ළගින් වෙන්වට තෙක්ම


ආයෙත් එකම එක සැරයක් 
එකම එක සැරයක්
එන්න පුළුවන්ද මා ගාව
ඇත්තටම සත්තයි
මා නුඹට ආදරෙයි.


-සෙනුක්


නුඹ දකින තුරු නොදැන සිටියෙමි
සතුට කිමැයි කියා...
නුඹ රුදු වචන වලින් සැඟවුනු 
හැගීම දිටිමි ආදරයම ලෙස

හිත් මල මිරිකා පොඩි කර දැමුවත් නුඹ
සත්තකයි මට නොදැනුනේ වේදනාව 
ඒ ආදරයම නිසාමැයි...

ආයෙත් එකම එක සැරයක්
එකම එක සැරයක්
මම මා ලෙසම පිළිගන්න පුළුවන්ද?
සත්තකයි 
මම නුඹට ආදරෙයි

-පහන්දි


රූගේ සටහන:
           ඔන්න අදින් දඟකාර හාදුවේ පළවෙනි පරිච්ජේදය අදින් අවසන්.පහල තියන තොරතුරු වලින් ඔයාලට පුළුවන් ටෙලි වෘතාන්තය රස විඳින්න. ජපාන ලේඛිකාවක්ගේ කාටුන් කතාවක් පාදක කරගෙන නිර්මාණය වුනු  Playful Kiss/Mischievous Kiss ටෙලි වෘතාන්තය කොටස් 16කින් සමන්විතයි. ඊට අමතරව අන්තර්ජාලයට මුදා හැරි කෙටි කතාංග 7ක්ද ඇත. කතාව ලියන්න ලේසියට මම කතාවෙ චරිතයන්හි නම් වෙනස් කලාට ඇත්ත කොරියන් නම් වලින් මේ කතාව ලස්සනට ගලාගෙන යනවා. මේ ටෙලි වෘතාන්තයේ සිනමා භාවිතාව ගැන ලියනවාද නැතනම් පෝස්ට් හතරක් විතර මහන්සි වෙලා මේක පරිවර්තනය කරන්න මාව පෙළඹවපු හේතුව ලියනවාද කියා  ගොඩක් වෙලා කල්පනා කලා. සිනමා භාවිතාවේ ඇති විශ්ෂ්ඨත්වය ගැන ඔයාලටම බලන්න පුළුවන් නිසා මේ සීරීස් එක බලලා ඔයාලම කියලා යන්න. 
         ඉපදීම හැර මම ජීවිතයේ වාසනාවන්ත  වූයේ ආදරයේදී පමණි. අද ලැබී තිබෙන සියල්ල ඉතා මහන්සි වී උපයා ගත් නිසාවෙන් වාසනාවට ලැබුනු ආදරයට මම මහමෙරක් ලෙස ආදරය කරමි. එහෙත් පහන්දිගේ ආදර කතාව මගේ ආදරකතාවට වඩා බොහෝ වෙනස්ය. ඇය සෙනුක්ට අසීමිතව පෙම් බඳිදිදී ඔහු ඇගේ පෙම පා දූවිල්ලකටවත් මායිම් නොකලේය. එහෙත් සත්‍ය ප්‍රේමය කවදා හෝ දිනනු ඇත. පහන්දී වෙහෙස වූයේ එයටයි.


ටෙලි වෘතාන්තය ගැන: http://en.wikipedia.org/wiki/Playful_Kiss
නාට්‍ය කොටස් වශයෙන් අන්තර්ජාලයේදී බලන්න: http://kdramddluv.wordpress.com/2011/05/24/playful-kissmischievous-kiss-ep-1-16-special-edition-episode-full-eng/
(ටොරන්ට් ලින්කුව දැම්මෙ නැත්තෙ 10GB+ වෙන නිසා!)

Tuesday, May 29, 2012

සිනෙ රූ: දඟකාර හාදුව 3

සෙනුක්ගේ දිනපොත
අද විසිපස් වෙනිදා
        මේ දවස්වල ඉස්කෝලෙ ඉන්න ළමයින්ට පිස්සු හැදිලා වගේ. වයසෙ වැරැද්ද! පිස්සුවෙන් වගේ ගෑනු ළමයි පිරිමි ළමයි යාළු වෙනවා කෝලම් කරනවා එක විකාරයි. මේ වයසෙ අය මෙහෙම හැසිරෙනවා කියලා සිග්මන් ෆ්‍රොයිඩ් කියලා තිවුනා එයාගෙ ප්‍රධාන සොයාගැනීම් වලදි. එක එක ජීවින්ගේ පැවැත්ම ගැන ලියවුනු පොත් ටිකක් ආපහු හොයාගෙන කියවන්න ඕන. අපේ පුස්තකාලෙ තියන පොත් ගොඩක් මම දැනටමත් කියවලා තියන නිසා ඒ පොත් ගැන හොයන්න තැනක් බලන්නත් ඕන. මේ ඔක්කොම අටමගල් අද ලියන්න වුනේ පුංචි සිද්ධියක් නිසා.
        අද උදේම මම ඉස්කෝලෙ ගියේ මේ දවස්වල මම කරන්න ඉන්න පරීක්ෂනයක කරණු හොයන්න. පොත් ටික ගන්න ලොකර් එක අරිද්දි  ලාකොළ පාට ලියුම් කවරයක් බිම වැටුනා. මගේ නම ගහලා තිවුන නිසා මම ඒක කියවන්න පටන් ගත්තා.
       මේ එස්එම් එස් ඊමේල් යවන කාලේ කවුද මේ ලියුම් ලියන්නේ. මට එහෙම හිතුන එක අසාධාරණ නෑ. එක “පෙම් හසුනක්“. මෙච්චර කාලෙකට හම්බවුන පළවෙනි එක. පටන් අරන් තිවුනෙ 
“ආදරණිය සෙනුක්..,“
        මේක ලියපු කෙල්ල (පහන්දි කියලා කෙනෙක්)ට නම් බාගෙට පිස්සු වෙන්නොනැ. මෙච්චර ව්‍යාකරණ අකුරු වැරදි කරන්න පුළුවන්ද හයිස්කූල් තුන්වෙනි පන්තියේ ඉන්න කෙනෙකුට. (ඒක ලියුමේ තිබුනා). මට අතට අහුවුනු රතු පෑනෙන් වැරදි ඔක්කොම මාක් කලා. D- එකක් ඇරෙන්න වෙන ග්‍රේඩ් එකක් දෙන්න බෑ.!


අද විසි හය වෙනිදා
       අද විවේකය වෙලාවෙ පුස්තකාලෙ පැත්තෙ යන්න පඩි පෙළ නගින වෙලාවෙ කවුදෝ මහත කෙල්ලෙක් පහන්දී කියලා කෑගහන්න පටන් ගත්තා. එතකොට තමයි මට මතක් වුනේ ඊයේ “පෙම් හසුන“. මම ලොකර් එකට ගිහින් ඒක අරගෙන ඇවිත් පහන්දි කියන්නෙ කවුද කියලා බැලුවෙ. පඩිපෙල උඩ ඉදන් මම කතා කරනවා අනිත් අය සේරටම ඇහුනා. මම කරන්න හිතාගෙන හිටපු වැඩේ ටිකක් විතර අවුල් කියලා හිතුනේ ඒ ගෑනු ලමයා දැක්කාම.
     සුදු, මූණ රවුම් අහිංසක පෙනුමක් ඒ ගෑනු ළමයට තිවුනෙ.හරියට අකුරු ටිකක් ගලපලා මොකුත්  ලියාගන්න බැරි වුනාට හිතේ තියන දේවල්!
“ආ මෙන්න“ මම D- ලියුම දික්කලා. 
“මම හිතුවෙ නෑ ඔයා මට උත්තරයක් දෙයි කියලා. තැන්ක්යූ“ ඒ මූණෙ ඇඳුන හිනාව හරියට පොඩි ළමයෙකුට සීනි බෝලයක් ලැබුනා වගේ. මට හිත යටින් හිනා.
“මම මේක දැන් කියවන්නද?“ ගෑනුළමයා ඇහුවා. ඒ වෙනකොට ඒ නාටකේ බලන්න වටේ පිටේ හිටපු හැමෝම රැස් වෙලා හිටියෙ. ඒ ළමයා ඒක දිගෑරියෙ මල් පෙත්තක් අතගානවා වගේ. මගේ හිනාව පිටට පනින්න ඔන්න මෙන්න තිවුනෙ.
       ලියුම දැක්ක ගමන් ඒ මූණ රතු වුනා. ඇස්දෙක බිමට හැරුනා. පැත්තක හිටිය තව ගෑනු ළමයෙක් ලියුම උදුරලා අරන් හැමෝටම ඇහෙන්න කියෙව්වා.
“ ඔයා සෙනුක් අයියට ලියුමක් ලියලද? කෝ බලන්න.මේක හරියට එක්සෑම් පේපර් එකක්වගේ හරි වැරදි ලකුණු කරලා“
// මම ඔයාට මොනවා කියන්නද කියලා මට තේරෙන්නෑ. වනාන්තරයේ සුරංගනා කුමාරයා කියලා කතා කලොත් හරිද මන්දා//
“තමුසෙලා ඔය  ෙමානවද කරන්නේ?!!“ 
       පැත්තක ඉඳපු හතේ පන්තියේ සචිත මැදට පැන්න. සචිතගෙ මූඩි එක දැක්කාම එනපොට හොඳ නැති බව තේරුන නිසා මට තේරුනා කියන්න ඕන දේ කියන්න වෙලාව හරිබව.
         ඒත් ඒ මූණෙ අසරණ හැඟීම දැක්කාම මගේ සැර ටිකක් බාල වුනා මම හිතන්නෙ.
“මෙහෙම වෙච්ච එක ගැන මට කණගාටුයි. ඒත්...මම මෝඩ ගෑනු ළමයි පෙන්න්න බෑ.“ මම එහෙම කියලා ආපහු යන්න හැරුනා. 
       එතකොටම සචිත රණ්ඩුවක් අල්ලන්න ලෑස්ති වෙලායි හිටියෙ.
“තමුසෙ ඔය කොහෙද යන්නෙ?  කරුණාකරලා සමාව ගන්නවා එයාගෙන්“ සචිතගෙ තරහා පාලනය කරගෙන කිව්වෙ. ඌට මොකටද මෙච්චර තරහ යන්නෙ. මට හිනා ගියා. 
“තමුසෙට මෙච්චර හරියක් වෙලා තියෙද්දි හිනාද? කරුණාකරලා සමාව ගන්නවා පහන්දිගෙන්“
“මොකටද? වැරදි හැදුවටද නැත්තං ඇත්ත පෙන්නලා දුන්නටද?“
“තමුසෙට මේකේ පේන්නෙ වැරදි විතරද? මේ වචන නිකංම නිකං වචන විතරද? තමුසෙට එක ඩිංගක් මේ වචන වල තියන හැඟීම් තේරෙන්නැද්ද?“
මට ආයෙත් හිනා ගියා.
“මේ ජරා සතා ආපහු හිනා වෙනවා. එහෙනම් බලාගන්නවා තමුසෙ“ 
      සචිතගෙ අත එක පාරටම මගේ කන ලඟින් ගියා. මම ආරක්ෂාකාරීව අයින් වුන නිසා හැමෝම හිනා වෙන්න පටන් ගත්තා.
“දැක්කද? දැක්කද? ඇයි තමුසෙ බයද එනවා ගහ ගන්න එනවා එනවා..“ 
“සචිත........!!“ එක පාරටම ඇහුනෙ ප්‍රින්සිපල්ගේ හඬ. 
        මම අද තමා මූට හොඳ පාඩමක් උගන්න්නෙ. හැමදාම හරියට පාසල් වැඩ කරන නිසා ප්‍රින්සිපල් මට කොහොමත් කැමතියි. 
“සචිත..දැම්ම එනවා මගේ ඔෆිස් එකට..හා දැන්ම“ 
“අයියෝ සර් කියන දේ අහන්නකෝ. මොනවත් උනේ නෑනේ“ සචිතගෙ චංඩි පාට් ඉවරයි.
“මම මොකටද තමුසෙ කියන දේවල් අහන්නෙ..ආ සෙනුක් පුතා යන්න මේවා ගණන් ගන්නැතුව ගිහිල්ලා පාඩම් කරන්න. මේ වගේ ළමයි ආශ්‍රය කරන්න එපා.“ ප්‍රින්සිපල් එහෙම කිව්වෙ සචිතව පෙන්නලා. 
        මට ආයෙත් හිනා ගියා. දැන් නම් කට වහගෙන හිටියා ඇති. 
“අර චාට් එක දිහා බලන්න“ ගිය පාර මාසික පරීක්ෂනයේ ප්‍රතිඵල තියන වගුව දිහාට මම අත දික්කලා.
“රතු පාට අරන් තියන අය සීයට හතරයි. උපරිම ප්‍රතිඵල. ඊළඟ තැඹිලි පාටින් පෙන්න 31%  සාමාන්‍යයෙන් අවුරුදු තුනකින් හයිස්කූල් ඩිප්ලෝමා එක පාස් වෙනවා. ඊළඟ කහ පාටින් පෙන්න ලකුණු ගත්ත අය අවුරුදු හතරකින් ඩිප්ලෝමා එක ගනීවි. ඊළඟට කොළ පාටින් පෙන්න අය ඉගෙන ගන්නවට ඉගෙන ගන්න අය , අන්තිමට දම්පාට. ඒ තමුසෙ අයිති වෙන කැටගරි එක. ඒ කියන්නෙ තමුසෙ මුළු පාසලටම ලැජ්ජාවක්. එහෙම තමා විදුහල්පති තුමා කියන්නෙ“ මම කියාගෙන ගියේ සචිතත් පහන්දිත් දිහා බලලා. 
     මේ කතාව මට ඇහුනෙ කලින් දවසෙ පොත් ටික බාර දෙන්න ගුරු කාමරේට ගියපු වෙලාවෙ. 
“මේ මාසෙත් වෙනදා වගේම දක්ෂම ළමයි පනස් දෙනාට පුළුවක් විශේෂ අධ්‍යයන කාමරේ පාවිච්චි කරන්න. ඒත් ඔයාලට මේක නිකම්ම නිකම් අංකයක් විතරයි. මේ චාට් එක ඉස්සරහ ඉඳගෙන උකුළු මුකුළු කර කර ඉන්නවා මිසක් මොළේ පාවිච්චි කරලා වැඩක් කරන්න හිතන්නෑ. මේ විදිහට ගියොත් තව ටික දවසකින් ඔය මොළවල මලකඩ විතරයි ඉතුරු වෙන්නෙ. අවාසනාවට මේ වගේ මොළේ මලකඩ කාපු ගෑනු ළමයි මට පේන්න බෑ.“ 
         මම අන්තිමට මේක කියලා කට්ටියම කට ඇරගෙන බලන් ඉද්දි මම එතනින් ආවා. පහන්දිගේ මූණ රතුවෙලා අඬන්න ඔන්න මෙන්න තිවුනා මට යාන්තමට පෙනුනා. මේ වගේ මෝඩ කෙල්ලන්ට ඔහොම කියලා මදි. ලියුම් ලියලා වැඩේ වල් කලා මදිවට තව එනවා එක එක කොල්ලො ලවා මට ගස්සනත්.!!
         ඉස්කෝලෙ ඇරියා යද්දි ඒ ගෑනුළමයා ඉස්කෝල වටේ දුවනවා දැක්කාම මට ආයෙත් හිනා ගියා. මම කතා කලා සැර වැඩිද මන්දා...


රූගේ සටහන:
අපි හෙටත් සෙනුක්ගේ දිනපොත කියවමු.ඊළඟට මොකද වෙන්නෙ කියලා.කෝ තාමත් කවුරුත් හරියට කතාවෙ නම නම් කිව්වෙ නෑ.

Sunday, May 27, 2012

සිනෙ රූ: දඟකාර හාදුව 2

දින ෙපාතේ පරණ පිටු..
අද විසි තුන්වෙනිදා
       මමත් මීනුත් සොනුත් චිත්‍ර කාමරේ හිටියෙ හංසයෝ නාට්‍යයේ ඇඳුම් ලෑස්ති කර කර. මට තිවුනෙ හංසයගෙ පියාපත්වල පිහාටු අලවන්න. ඒත් මම තාමත් හිටියෙ සෙනුක්ගෙ ආදරේ ගැන හීන මවමින් හීන ලෝකෙ.
       සෙනුක් ගැන කොච්චර හිතුවත් ඉවර වෙන්නෙ නෑ. ඒත් සෙනුක් මම මේ ලෝකෙ ඉන්නවද කියලවත් දන්නෙ නෑ. ඒකෙන් මට මාවම එපා වෙලයි තිවුනෙ.
“ඔය දැන් ඔයාගෙ ආදරේ සෙනුක්ට කියන්න ඕන.“ සෝනු කිව්වෙ මගේ දුක්බර මූණ දැකලා.
“ආදරේ කියන්න..හ්ම්..“.මම උත්තර දුන්නෙ එච්චර විශ්වාසෙකින් නෙවි.
“අපි ළඟදිම ඉස්කෝලෙන් අවුට් වෙනවා. ඔයා කොච්චර කල් මේ ඒක පාර්ශවික ප්‍රේමය අරන් යන්නද? ඕක කියලා දාන්න.“ සෝනු ආයෙත් කිව්වා.
මම සෙනුක්ට මගේ ආදරේ කියනවාමයි. මම හිතාගත්තා.
“ඒත් මම කොහොමද එයාට මගේ ආදරේ කියන්නේ?..ම්..ම්..“ මම ඇහුවෙ මගේ අතිජාත මිතුරියො දෙන්නගෙන්. අපි කවුරුත් මීට කලින් කාටවත් ආදරේ ප්‍රකාශ කරලා තිවුන්නැති නිසා කවුරුත් මම අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නෙ නෑ.
“මගේ ආදරණිය සෙනුක්, මම ඔයාට ආදරෙයි“ සෝනු කෑගැහුවෙ නැටුම් කාමරේ තිවුන තඩි වලහෙක්ගෙ වෙස් මූණක් දාගෙන.
“ඒකත් හොඳ අදහස“ මම කිව්වෙ ඒ ගැන හිතලා බලමින්. මමත් මෙහෙම වලස් මූණ දාගෙන..ම්..
“හොඳ අදහස!! ඉටිගෙඩිය! ඔයාට පිස්සුද?“ සෝනු වෙස්මූණ ගලවලා පැත්තක තියන ගමන් මට සැර කලා
“අනේ මීනු ඔයාටවත් නැද්ද හොඳ අදහසක්?“ මම මීනුගෙන් ඇහුවා.
“ම්..ඔයා දන්නවද සත්තු ආදරේ ප්‍රකාශ කරන්නෙ නැටුමකින්. මාළු, පෙන්ගුයින්ලා , කුරුල්ලෝ වගේම ගොයං මැස්සොත්.“
“ඊයා ගොයං මැස්සො?!!“ සෝනු මැද්දට පැන්නා.
“ඒකට කියන්නෙ මේටින් ඩාන්ස් එක කියලා.“
“මේටින් ඩාන්ස්..ඒක හොඳ අදහස..“
      මම හංසයට මහපු ඇඳුම ඇඳගත්තා. රෝස පාට පිහාටු අල්ලපු ඒ ඇඳුම ඇඳගෙන මම ලස්සනට නටනකොට සෙනුක් ලස්සන හංසයෙක් වගේ ඇඳුමක් ඇඳගෙන මා ගාවට ආවා. මගේ අතින් අල්ලගත්ත එයා මාව කරකවලා එයා ගාවට ගත්තා. ඊට පස්සෙ අපි දෙන්නම ලස්සනට බැලේ නැටුමක් ඉදිරිපත් කලා. ඒ මුළුවෙලාවෙම එයාගෙ ඇස් මගේ ඇස් අතර සිරවෙලයි තිවුනෙ.
“පහන්දි, ඔයා නිදි කිරනවද? අයියෝ නැගිටින්න. මේ ඇඳුමෙ තව පිහාටු අලවන්න තියනවා.“ මීනු කන ළඟ කෑ ගහපු හඬින් මම ආපහු මේ ලෝකෙට ආවා. අයියෝ මේ හීන දකින එකේ කෙළවරක් නෑ. මට සෙනුක්ගෙන් තොර ලෝකයක් හිතන්නවත් බැරිද?
“විභාගෙට තව සති තුනයි තියෙන්නෙ ඇයි ඔයා පාඩම් කරන්නැද්ද?“ අනුපමා ආවෙ මගේ හීනෙට තිත තියලා.
මම මෝඩ විදිහට හිනාවුනා.
“ඔයා වගේ මෝඩ ළමයෙකුට සෙනුක් කැමති නෑ. ඊටත් ඔයාගෙ පපුවෙ හැටි විතරක්. “අනුපමා කියවගෙන ගියා.
සෝනුයි මීනුයි කතාව මැද්දට පැන්නෙ නැත්තං මගෙ පණ යනවා ලැජ්ජාවටම!
       අද අපි මිනිස් ඉරියව් අඳින දවස නිසා චිත්‍ර පාඩමේ ආදර්ශය විදිහට ඉන්න තිවුනෙ සචිතට. සචිත පන්තියට ආවෙ එයාගෙ ගෝලයෝ රොත්ත එක්ක. එයාලා ලොකු බ්‍රීෆ් කේස් එකකට දාලා ගෙනත් තිවුනෙ මං වෙනුවෙන් ම හදාපු චිකන් සුප් එකක්. අනේ මන්දා සචිතගෙ හිතේ මොනවා තියනවද කියලා.
       අද චිත්‍ර පාඩම ඉවර වුනේ ඩිසාස්ටර් එකකින්. මගේ හිතේ මේටින් ඩාන්ස් එක කොච්චර වැඩ කලාද කියනවා නම් මම චිත්‍රෙ ඇඳලා තිවුනෙ සෙනුක්ගෙ මූණ එක්ක. ඒක දැක්ක හැටියෙ සචිතගෙ මූණනම් කළු වෙලා ගියා.
       මෙච්චර දේවල් වෙද්දි වුනත් මම කල්පනා කලේ කොහොමද සෙනුක්ට මගේ ආදරේ කියන්නෙ කියලා.


අද විසි හතර වෙනිදා.
       ඊයෙ දවසමයි අද දවසෙන් බාගයක්ම මම කල්පනා කලේ මගේ මේ ඒක පාර්ශවික ආදරේ සෙනුක්ට කියන්නේ කොහොමද කියලා. අද හවස මම අපේ රෙස්ටොරන් එකට ගිහින් තාත්තගෙන් ඇහුවා අපේ අම්මා එක්ක එයා යාළු වුනේ කොහොමද කියලා. මට අවුරුදු හතරෙදි අම්මා අපිව දාලා ගියාට පස්සේ මම අම්මගෙ විස්තර දැනගත්තෙ තාත්තගෙන්.මේ අපේ තාත්තා අම්මගෙන් යාළුවෙන්න අම්මගෙන් අහපු විදිහ!
//“ඒ දවස්වල මට තිවුන කාර් එක මහ පරණ එකක්. මම ඒක එළවගෙන අම්මා ඉස්සරහට ගියා උපරිම වේගෙන්! කාර් එක් කෑලි ගැලවිලා වැටෙන්න ඔන්න මෙන්න කියලයි තිවුනෙ. අම්මා එකපාරටම මගෙන් ඇහුවා ඔයාට පිස්සුද කියලා! ඊට පස්සෙ එයා මට බනින්න පටන් ගත්තා. මම කාර් එක එළවන ගමන්නම ඇහුවා 
මම ඔයාව කිස් කරන්නද නැත්තං එළියට එක්කං යන්නද 
ඔයා මාත් එක්ක එනවද නැත්තං මාත් එක්ක ඉන්නවද 
ඔයා මාත් එක්ක මැරෙනවද නැත්තං අපි දෙන්නම එක ගෙදරක ජීවත් වෙනවද කියලා. 
“ඉතින් අම්මා කිව්වද මම ඔයාත් එක්ක ජීවිත කාලෙම ඉන්නවා කියලා?“
“නෑහ්.... එයා ඇහුවා ඔයා මැරෙන්නද යන්නෙ? දවල් හීන බලන්නැතුව ගෙදර යන්න කිව්වා“//
‘අයියෝ තාත්තෙ!! “
“හැබැයි ඒ වෙනකොට මම එයාගෙ හදවතෙන් බාගයක් දිනලයි ඔන්න තිවුනෙ. “
“ඇත්තට? “
“ම්.ම්..හ්ම්.“
“හැබැයි මම හිතන්නෙ ලේසිම විදිහ ඇත්තටම ඔයාගෙ හිතේ තියන දේ ලියලා ලියුමක් දෙන එක“
ලියුමක්! ඒක හොඳ අදහස. 
      ඇත්තට මට ඒකෙ හාංකවිසියක්වත් මතක් වුනේ නැති හැටි.


පසු වදන:
   ම්..පහන්දිගෙ දිනපොතට එබුනා ඇති. අපි බලමු සෙනුක්ගේ දිනපොතත් ළඟදිම. ටෙලි සිත්තම ගැන දැනගන්න නම් තව ටිකක් බලන් ඉන්න වෙනවා. එහෙම බලන් ඉන්න ගමන් පුළුවන්ද බලන්න කතාවෙ නම අනුමාන කරන්න. මේ පින්තූරු ඔක්කොම ඒ කතාවෙන් ගත්ත ඒවා ඔන්න. ඒ නිසා ලේසි වෙන්නත් ඉඩ තියනවා.



Friday, May 25, 2012

සිනෙ රූ: දඟකාර හාදුව 1

පහන්දිගේ දිනපොත

අද විසි දෙවනිදා.

            “ඒ පරිසරය දෙව්ලොවක් තරමට ලස්සනයි. ගස්වැල් එකිනෙකාට හිනාවෙනවා වගේයි පෙනුනෙ. ඒ ගස් අතරෙ බිම තිවුන පඳුරක ලස්සන ලා දම් පාට මල් පොකුරක් පිපිලා තිවුනා. එක පාරටම ඒ දම් පාට මල් පොකුර ළඟට රෝස පාට මුහුණක් පාත් වුනා. හීනියට මල් පොකුර සිපගන්න කොට ඒ ලස්සන ඇස්දෙක පියවුනා මම දැක්කා. එයාගෙ ලස්සන කූරු කොණ්ඩෙන් බාගයක් නළල වසාගෙන තිවුනෙ.  ඒ උස සුදු කඩවසම් පිරිමි ළමයා වෙන කවුරුත් නෙවෙයි මගේ සිහින කුමාරයා සෙනුක් කියලා දැනගත්තම මට දැනුනෙ ඉවසිල්ලක් නැති සතුටක්. මම හිටියෙ ඒ ලස්සන වනාන්තරයේ උසම උස ගහක් යට. 

          කොණ්ඩෙ කරල් දෙකකට පෝනියක් වෙන්න බැඳලා මම ලස්සන ගවුමක් ඇඳගෙන හිටියෙ.චිත්‍රයක් ඇඳ ඇඳ හිටපු මට හිමීටම නින්ද ගිහිල්ලා තිවුනා. සෙනුක් ඇවිල්ලා යන්තටම මගේ තොල්දෙකෙන් උණුසුම් හාද්දකි තියලා ගියා.  ඒත් ළඟින්ම ආපු සර සර සද්දයක් නිසා මට ඇහැරුනා. වටපිට බලපුවාම මම දැක්කේ ලස්සනම ලස්සන සුදු අශ්වයෙක් මා ගාවින් යනවා. මම එයා පස්සෙ දුවන්න ගත්තා. ටිකක් දුර දුවගෙන යනකොට මට එයාව හොයාගන්න බැරිවුනා. ඒත් ඒ වෙනුවට මම දැක්කෙ සුදුම සුදු ඇඳුමක් ඇඳගත්ත සෙනුක්ව. එයාගෙ කමිසෙ උරහිසට වැටිලා තිවුන ගහක කොළයක් දිහා එයා බලාගෙන හිටියා.
මම දන්නැතිවම එයා ඉස්සරහට යැවිලා. එයා මුහුණ උස්සලා ආදරයෙන් මං දිහා බැලුවා. එතකොට වටේම මල් වලින් පිරිලා ගිහිල්ලා තිවුනෙ. එයා මං ගාවට ඇවිත් මට හාද්දක් දෙන්න මුහුණ ළං කලා. මමත් ඒක පිළිගන්න ලේස්ති වෙනකොටම ඉස්කෝලෙ බෙල් එක නාද වුනා.“
           අයියෝ ඒක හීනයක්..!! ආනේ එක සැරයක්..එකම එක සැරයක් ඒ හීනෙ හැබෑ වෙනවනම්...
         ඉස්කෝලෙ පන්ති පටන් ගන්න කලින් එළිමහනෙ බංකු පේලියේ වාඩි වෙලා හිටිය මට නින්ද ගිහිල්ලා ඇහැරුනෙ පළවෙනි බෙල් එකෙන්. අනිත් අය පන්තියට ගිහිල්ලත් ඉවරයි. මම තාම හීන දකිනවා. හයියෝ..තව පොඩ්ඩෙන් මට පන්තියත් මගෑරෙනවා.
         උදේම දැකපු හීනෙ නිසා මම හිටියෙ ආදර මූඩ් එකක. ටීචර් දෙතුන් සැරයක් කතා කලත් මට තේරුනෙම නෑ. එයාටත් තේරිලද කොහෙද වෙනස. පන්තියේ හැමෝම හිනාවුනත් මට තරහ ගියෙ නෑ. මම තාමත් ඉන්නෙ ඒ හීන ලෝකෙ. මන් දිහා හැමදාම ඇසිපිය නොහෙලා බලන් හිටපු සචිත දැකලා ටීච මෙහෙම කිව්වා.
“ඉගෙන ගන්න එක හොඳටම අමාරුයි නේද? “
“මේ රටේ උසස් පෙළ තුන්වෙනි පන්තියෙ ඉගෙන ගන්න අයගෙ ජීවිත අමාරු නීරස බව අහන්නත් දෙයක්ද? කොච්චර ඒක අමාරු වුනත් මේ වගේ පන්තියක ටීචර් වෙන තරම් අමාරුද? අමාරුද මම අහන්නෙ!! ටීචර් කෑගැහුවෙ තරහින්.
        අපි වගේ ඉගෙන ගන්න දක්ෂතාවය අඩු ළමයි ඉන්න හතේ පන්තියට උගන්නන එක එයාටත් එපා වෙලා ඇති. ඒත් අපි ඉගෙන ගන්න දක්ෂ නැතිවුනත් වෙන වෙන හැකියාවන් ගොඩක් පිහිටලා තිවුනා කිව්වොත් ඒක බොරුවක් නෙවි. උදාහරණයක් විදිහට සචිතට රසට කෑම හදන්න පුළුවන්. මගේ හොඳම යාලුවා සෝනුට ලස්සනට කොණ්ඩ මෝස්තර දාන්න පුළුවන්. මීනුට ලස්සනට කාටුන් අඳින්න පුළුවන්. ඇයි අපේ පන්තියෙ ඉන්න බෑන්ඩ් කණ්ඩායම. එයාලට ලස්සනට ගීත කියන්න වාදනය කරන්න පුළුවන්. පළවෙනි පන්තියෙ ඉන්න ආඩම්බර කාරෙයො වගේ නෙවෙයි. අපේ පන්තියෙ කම්මැලි නෑ. අයියෝ එත් මට මොනවද පුළුවන්??
         පන්තිය ඉවර වුනාට පස්සෙ අපි (ඒ කිව්වෙ මමයි මීනුයි සෝනුයි) කැන්ටිමට ගියා. හතේ පන්තියෙ බෑන්ඩ් එකේ ලස්සන සින්දුවක් අහන් ඉන්න ගමන් තමයි සෝනු කිව්වෙ අන්තිමට තිවුන මොක් එක්සෑම් එකේ ප්‍රථිපල පිටවෙලා කියලා. අහන්න දෙයක් නෑ අපි ඉතින් අන්තිමයෝ වන්න කප් ගහලා ඉන්නෙ.කොච්චර හොඳට පාඩම් කලත් දැන් සෑහෙන කාලෙක ඉඳලා අපි පාසලේ කප් ගහපු අන්තිමයෝ. එක එක ඕපාදූප කතා කර කර හිටියත් සෝනු තමන්ගෙ කෑම නැවැතුවෙ නෑ.


“ඔයා ඕකත් කන්නද යන්නෙ?“  මීනු සෝනුගෙන් ඇහුවෙ සෝනු පහලොස්වෙනි කුකුල් මස් කෑල්ල කන්න ලෑස්ති වෙද්දි. 
“කුකුල් මස් කෑම හදන රෙස්ටොරන්ට් එකක් අපේ තාත්තට තියෙද්දි මම නොකෑවොත් මේවා කවුද කන්නෙ“ සෝනු උත්තර දුන්නා.
“පහන්දි. ඔයාට නූඩ්ල්ස් කන එක එපා වෙලා තියනවාද?“සෝනු මගෙන් ඇහුවා.
        මම හිනාවෙලා නෑ කියන්න ඔළුව වැනුවා. අපේ තාත්තා පැල් බෝ කියන නූඩ්ල්ස් රෙස්ටොරන්ට් එකේ අයිතිකාරයා. එයයි අම්මයි එකතු වෙලා ඒක පටන් ගත්තෙ. තාත්තගෙ නූඩ්ල්ස්වල රස මට කවදාවත් ඇතිවෙන්නෙ නෑ.
       මීනුයි සෝනුයි දෙන්නම ඒ කතාවට නම් එකඟයි. ඒ ඒදෙන්න මාත් එක්ක නිතරම රෙස්ටොරන් එකට ඇවිල්ලා කෑම ගන්න නිසා.
        ඒ අතරෙ අනුපමා අපි ගාවින් ගියේ මට හායි කියාගෙන. අනුපමා අර ආඩම්බරකාර පළවෙනි පන්තියෙ. ඒත් සිසිල්බීම මැෂිමෙන් බීම බෝතලයක් එළියට ගන්න හැටි දන්නෑ. එයා සල්ලිය ඔබලා බලන් හිටියා කෑන් එකක් එළියට එනකම්. ඒත් අපේ ඉස්කෝලෙ වෙන්ඩින් මැෂින් එකට සල්ලිවලට අමතරව තවත් ප්‍රතිකාරයක් ඕන. ඒ ප්‍රතිකාරෙ හොඳටම ප්‍රගුණ කරලා හිටියෙ මම. මම මේස් දෙක එහෙම උඩට ඇදලා ලෑස්ති වෙලා මැෂිම ගාවට ගියා. ඊට පස්සෙ ටිකක් ඈතට වෙලා දකුණු කකුල උස්සලා දුන්නා හොඳ කුන්ෆු පාරක්. ටක ටකස්.. සල්ලි වැටුනා බීම කෑන් එක එළියට ආවා. අනුපමාට ඒක අරන් දුන්න මම ආපහු ඉඳගන්න තැනට ගියේ හිනාවෙවී.

       අනුපමා අකමැත්තෙන් වගේ ස්තුතියි කියලා කිව්වා. එත් ඒ එයාලගෙ හැටි පළවෙනි පන්තියෙ අය හතේ පන්තියෙ හිටිය අපි දිහා බලන්නෙ හරි පහත් විදිහට.
“සෙනුක් මේ සැරෙත් පළවෙනියා වෙලා නේද?“ අනුපමාගෙ යාළුවා ඇහුවෙ අපිටත් එක්ක ඇහෙන්න.
“පළවෙනියා වෙලා විතරද ලකුණු 500න් 500යි උපරිම ළකුණු අනුපමා කියනවා“ අනුපමා උත්තර දෙනවා අපිට ඇහුනා.
“සෙනුක් ඇත්තටම මනුස්සයෙක්ද?“ සෝනු ඇහුවෙ ඒ කතාවට.
       අනේ මන්දා මම ආයෙත් හීන ලෝකෙ තනි වුනා. මම සෙනුක්ට ඒක පාර්ශවිකව ආදරේ කරන්න පටන් අරන් දැන් අවුරුදු තුනක්. ඒත් තාම එයාට කියන්න බැරිවුනා.
       මම දැකපු හීනෙ ටිකින් ටික මම සෝනුටයි මීනුටයි කිව්වා.ඒත් ඔක්කොම නෙවේ.. ඒක කියලා ඉවර කරපු හැටියෙම එයාලා මට විහිළු කරන්න පටන්ගත්තා. ඒ එක්කම පඩිපෙලෙන් මතුවුනේ සෙනුක්.
සුපුරුදු ආඩම්බර කමින් අත්දෙකම සාක්කුවලා ඔබාගෙන එයා ගියෙ වෙන්ඩින් මැෂින් එක ගාවට. එයා දැක්කම මගේ හදවත නතර වෙනවා වගේ දැනෙන්නෙ ඇයි. අද නම් එයා මගේ හීනේ පෙනුනටත් වඩා ලස්සනයි.
        වෙන්ඩින් මැෂින් එකට සල්ලි දැම්මත් බීම කෑන් එක එළියට ආවෙ නෑ සුපුරුදු විදිහට. යියෝ මට එයා ඉස්සරහට යන්න වෙයිද .
හරි අද නම් මට බඩු හම්බ වෙනවා. අනුපමා සෙනුක් ගාවට ගිහින් මට කතා කලා.

“පහන්දී අක්කේ..!! සෙනුක් අයියාට මේක අරන් දෙන්නකෝ.“ එයා තොදොල් වෙලා කිව්වා.
අයියෝ ඉවරයි!! ඒත් දැන් මොනවා කරන්නද? හදිසියෙ හරි මගේ ප්‍රතිකාරය වැරදුනොත් ඉඳලා ඉවරයි.
       මාත් මෝඩයෙක් වගේ ගිහින් මැෂින් එකට දකුණු කකුලේ ප්‍රතිකාරය දුන්නා.  ටක ටකස්...කෑන් එක එළියට ආවා.  ඒ වෙලාවෙ සෙනුක්ගෙ මූණෙ තිවුන පෙනුම!!
      සෙනුක් යන්න ගිහින් ආයෙත් හැරිලා ආවා. මම හිතුවෙ මට ස්තුති කරන්න එනවා කියලා.මම කට ඇරගෙන බලන් හිටියත් එයා මාව පහු කරගෙන ආපහු මැෂින් එක ගාවට ගිහින් වැටිලා තිවුන කාසිය ආපහු අරගෙන ගියා.
මම ඉඳලා වැඩක් නෑ අප්පා..හතර විලි ලැජ්ජාවයි..


අද විසි තුන්වෙනිදා
      මමත් මීනුත් සොනුත් චිත්‍ර කාමරේ හිටියෙ හංසයෝ නාට්‍යයේ ඇඳුම් ලෑස්ති කර කර. මට තිවුනෙ හංසයගෙ පියාපත්වල පිහාටු අලවන්න. ඒත් මම තාමත් හිටියෙ සෙනුක්ගෙ ආදරේ ගැන හීන මවාගෙන...(පහන්දිගේ දිනපොතේ පිටු පෙරළන්න දිගටම රැඳී සිටින්න)

පසු වදන:
සිනෙ රූ ලේබල් එක තියන පෝස්ටු වලින් ඔයාලා හැමදාම රසවින්දෙ සිනමා සිත්තමක්. ඒත් අද මොකද මේ කතාවක්? එහෙම හිතුනනම් ඔයාලට තව පොස්ටු කීපයක් කියවන්න වෙනවා.