Wednesday, April 18, 2012

සිහිනය සැබෑ කරගත් කුකුල් කේන්තිකාරයා 6

කලින් ලිපියෙන් අපි  කතා කලේ වරප්‍රසාද් තම සිහිනය ගොඩ නැගූ ආකාරය ගැනයි. සැබෑලෝකය තුල සිහිනය සමඟ ජීවත් වීම පහසු දෙයක් නොවේ. අද අපි ඒ ගැන කතා කරමු. 
               ඕමානයේ විදේශ ඇමතිගෙන් මුදල් ලැබී මුල්‍යමය පැත්ත හරියාගෙන එන විට තාක්ෂණික පාර්ශවය කොර ගසමින් සිටියේය. වරප්‍රසාද් මෙතුවක් කල් වැඩකොට තිබුනේ පර්යේෂන සම්බන්ධ පළපුරුද්ද ඇති විද්‍යාඥයන් සමඟ පමණි. ඔවුන් නිශ්පාදන ක්‍රියාවලි පිළිබඳ දැන ගෙන නොසිටියහ. විද්‍යාඥයන් තමන්ගේ පර්යේෂන කටයුත සඳහා පමණක් උනන්දු වෙද්දී වරප්‍රසාද්ට විකිණිය හැකි නිශ්පාදනයක අවශ්‍යතාව තදින් දැනී තිබුනි. කාලය වේගයෙන් පියඹා ගියේය. ඔහු එන්නත් නිශ්පාදනය සඳහා අති නවීන කර්මාන්ත ශාලාවක් ඇරඹීමට තීරණය කලේය. මෙවන් කර්මාන්ත ශාලාවක් ඇරඹීම සඳහා අවැසි විශේශඥ දැනුම ඉන්දියාවේ නොතිබුනු අතර වරප්‍රසාද්ගේ නොපසුබස්නා වීර්යය නැවතත් ප්‍රතිඵල අත් කර දුන්නේය. ලෝකයේ අනිත් කෙලවරේ සිට පවා මිනිසුන් පැමිණ ඔහුට උදව් කලහ. මෙලෙස කර්මාන්ත ශාලාව ගොඩ නැගින. 

         “මම ආයාචනය කලෙමි; ලියුම් ලිවීමි; දේශන සඳහා ආරාධනා කලෙමි; මිනිසුන් හමුවී සාකච්ජා කලෙමි; එහෙත් කිසි දිනෙක මෙය අත්නොහැරියෙමි...“ පසුකලෙක මේ පිළිබඳ සාකච්ජාවකදී ඔහු අතීතය දිග හැරියේය.

             වර්ෂ 1994 අවසාන වන විට කර්මාන්ත ශාලාව ගොඩ නැගෙනවාත්  සමඟම ආචාර්ය ගීතා හා ආචාර්ය ගුන්තක අතරද නොහොඳ නෝක්කාඩුද ගොඩ නැගුනේය. ආචාර්ය ගුන්තක ඊ-කොලයි (E-coli) භාවිතය අනුමත කරද්දී ආචාර්ය ගීතාගේ අදහස වූයේ එමගින් නීතිමය ප්‍රශ්න ඇති විය හැකි බවය. එහෙත් ඒ වෙනුවෙන් ඇය වෙනත් විකල්පයක් ගෙන ඒමටද අපොහොසත් වූවාය. මෙනිසා වරප්‍රසාද් දැඩි පීඩනයකට මුහුණ පෑවේය. ඔහු ආචාර්ය ගීතා හා ආචාර්ය ගුන්තක අතර දෙපැත්තට දෝලනය වූවේය. එක් අතකට පළමුව තමන්ගේ සහයට පැමිණි ආචාර්ය ගීතා හට කෘතඥවෙද්දී අනෙක් අතට මුදල් මෙන්ම කාලයද පියඹා යමින් තිබිණ. මේ අතර ඔස්මනියා විශ්ව විද්‍යාලය ඔහුට තවදුරටත් විද්‍යාගාරය ලබා දීම ප්‍රතික්ෂේප කලේය. ඒ ඔවුන්ගේ අභ්‍යන්තර පාලක ගැටළුවක් නිසාවෙනි.
ශන්වැක් බී
             වරප්‍රසාද් මේ ගැන කරදරයෙන් සිටිද්දී ආචාර්ය ගුන්තක ඔහුව සෛලීය හා අණුක ජීව විද්‍යා මධ්‍යස්ථානය (CCMB-Centre for Cellular and Molecular Biology )වෙත යොමු කරවූවේය. CCMB ශාන්තා කර්මාන්තශාලාවේ වැඩ කටයුතු අවසන් වන තෙක් එනම් මාස දොළහක් සඳහා ඔවුන්ගේ විද්‍යාගාරය ඔහුට ලබා දීමට එකඟ විය. ආචාර්ය ගීතා දැන් ප්‍රශ්නයකට මැදිවුවාය. විසඳුම් දෙකක් ඇය ඉදිරියේ විය. එකක් විශ්ව විද්‍යාලයෙන් දීර්ඝ නිවාඩුවක් ගැනීම විය. අනෙක විශ්ව විද්‍යාලයෙන් ඉල්ලා අස්වී ශාන්තා වෙත එකතු වීමය. එහෙත් ඇයට මේ දෙකම කල හැක්කක් නොවීය. ඇය අකමැත්තෙන් තමන්ගේ වැඩ කටයුතු CCMB හි ආචාර්ය කේ.එස්.එන් ප්‍රසාද්ට භාර කලාය. 1995 ඔක්තෝබරයේදී ශාන්තා බයෝටෙක් තමන්ගෙම නිවහනකට ගොඩ වැදුනාය. CCMB ආයතනය ආචාර්ය ප්‍රසාද් ශාන්තාහි පර්යේෂන හා සංවර්ධන උපදේශක ලෙස වසරක් සේවය කිරීමට ආ යෝජනාව අනුමත කලේය.
            r-DNA පළමු එන්නත් කට්ටලය 1996 මාර්තු වන විට නිපදවා අවසන් වූවේය. සත්තු වෙනුවෙන් කල පරීක්ෂන සාර්ථකව අවසන් විය. මිනිසුන් සඳහා වන පළමු අත්හදා බැලීම සිදු කලේ හයිද්‍රාබාද් හි වෛද්‍ය විද්‍යාව සඳහා වන නිසාම් ආයතනය විසිනි. ඒ ඖෂධයේ ආරක්ෂා සහිත බව හා සහිෂ්ණුතාව (tolerability) අත්හදා බැලීමයි. 
           මේ සඳහා පළමුවෙන්ම ස්වේජ්චාවෙන් ඉදිරිපත් වූයේ අන් කවරෙකුත් නොව වරප්‍රසාද්ය. තනිවම නොව තමන්ගේ පවුල හා සමාගමේ සේවකයින් දහඅටක්ද සමඟය. මෙසේ පර්යේෂන කණ්ඩායම කෙරෙහි වරප්‍රසාද් තුල තිබූ විශ්වාසය පුදුම එළවන සුළු වූ අතර මෙවන් දේ දැකිය හැකි වූයේ සුන්දර අවසානයක් සහිත නාට්‍යවල හෝ නවකතා වල පමණි.
             1996 දෙසැම්බර් වලදී අත්හදා බැලීම්හි දෙවන අදියර ලෙස සායන පරීක්ෂා සිදුකලේ නිසාම් ආයතනය හා කිං එඩ්වඩ් අනුස්මරණ රෝහලේදීය. ඒ ඖෂධය කෙතරම් සාර්ථද යන්න බැලීමයි.
1996 අප්‍රේල් වන විට ප්‍රථිපල නිකුත් විය. ශන්වැක් (Shanvac) පරීක්ෂන වලින් ඉහලින්ම සමත් වී තිබුනි.!
           1997 අගෝස්තු 18 වනදා ශන්වැක්, ඉන්දියාවේ පළමු r-DNA එන්නත වෙළඳ පළට නිකුත් වූයේ  එවකට සෞඛ්‍ය අමාත්‍ය රේනුකා චෞද්රී අතිනි. එහෙත් සටන පටන් ගත්තේ එතැනින්ය.

වෙළඳපල සමඟ තරඟ කිරීම
            
                අසංවේදී නිලබලය සමඟ ගණුදෙනු කිරීම අමාරු කියනවා නම් අනුකම්පා විරහිත වෙළඳපල තරඟකරුවන් සමඟ තරඟ කරීම දුෂ්කර යැයි කීම සාධාරණය. විශේෂයෙන් ඔවුන් එකිනෙකා තරඟ කරන වෙළඳපලත් ඉතා කුඩා වන විට මෙය ශාන්තා ට මේ දුෂ්කරතාව වැඩි වැඩියෙන් දැනින. “දේශිය“ එන්නතකින් සිදු විය හැකි බලපෑම තේරුම් ගත් වෙළඳපලේ ඉදිරියෙන්ම සිටි බහුජාතික දැවැන්තයා තම එන්නතේ මිල රුපියල් 750 සිට රුපියල් 520 දක්වා පහත දැමුවේය. මේ අතරම දේශිය එන්නත් අනාරක්ෂිත බවට දූසමාන ආරංචි වෙළඳපල පුරා පැතිර ගියේය.
                ආර්ථිකමය බලපෑම්ද ශාන්තාට එරෙහි වී තිබින. ලොකු ලාභයන් සමඟ ඖෂධ විකුණන බහුජාතික සමාගම් වෛද්‍යවරුන්ට ලොකු කොමිස් මුදලක් ගෙවිය හැකි විය. එම වෛද්‍යවරුන් බහුජාතික සමාගම් සමග නිල නොවන කොන්තරාත්තු වලින් බැඳී සිටීම හා එම ඖෂධ නිර්දේශ කරනවාට අමතරව ශන්වැක් අනාරක්ෂිත යැයි චෝදනා කිරීමටද පටන් ගැනීම ශාන්තා බයෝටෙක් වලට වැදුන මරු පහරක් විය.
             ඖෂධ පාලන මණ්ඩලයට මේ ගැන දැන්වූවද ඔවුන්ගේ සහතිකයේද ගුණාත්මකබාවයද ප්‍රශ්නාර්ථයක් විය. සංසන්දනාත්මක පරීක්ෂන ගණනාවකින් ශන්වැක් එන්නත බහුජාතික එන්නත් වලට වඩා හොඳ ප්‍රතිථල පෙන්නූයේය. සාමාන්‍යයයෙන් එන්නතක ගුණාත්මක භාවය මනිනා සාධක දෙකකි.

  1. ප්‍රතිදේහ අනුමාපකය (Antibody Titre): එන්නත මගින් ප්‍රෙරණය කරන ප්‍රතිදේහ ප්‍රතිශතයයි. ප්‍රතිදේහ ගණන වැඩිවන විට එන්නතේ ගුණාත්මක බව වැඩි වේ.
  2. ආරක්ෂනය (Protection): මෙම එන්නත මගින් සත්‍ය ලෙසම ආරක්ෂාවන්නවුන්ගේ ප්‍රතිශතයයි. ඕනෑම එන්නතක්  එය භාවිතා කරන්නන් 100%ක් රෝගයෙන් ආරක්ෂා නොකරයි. එනිසා  එසේ ආරක්ෂා නොවන ප්‍රතිශතය හැම විටම අඩු අගයක පවත්වා ගැනීම සාර්ථක යැයි සැලකේ.
                   එන්නත් වර්ග දෙකම එකම ආරක්ෂන ප්‍රථිඵල පෙන්වූ අතර ප්‍රතිදේහ අනුමාපකයේදී ශන්වැක් ඉහල අගයක් පෙන්වූයේය. මෙම ප්‍රථිඵල ප්‍රකාශයට පත්වූ පසු වෛද්‍යවරු 200ක් පමණ ශාන්තා හා එහි නිෂ්පාදන වෙනුවෙන් එක් වූහ. සැක පහල කරන ශංශයවාදීන් නිහඬ කරමින් ලෝ ප්‍රසිද්ධ වැක්සින්  (vaccine) සඟරාව මෙම ප්‍රශ්නය හා පරීක්ෂන ප්‍රතිථල ප්‍රසිද්ධ කලේය.

මීළඟට අභියොගය අලෙවි කිරීමයි: රු. 519ට අඩුවෙන් විකිනිය නොහැකියි..!!

               ඊළඟ අභියෝගය වූයේ විකිණිමයි. ප්‍රධාන පෙලේ ඉන්දියානු ඖෂධ බෙදාහැරීම් සමාගම් සියල්ල පැවසුවේ බහුජාතික සමාගම් සියල්ල එන්නත රුපියල් 520ට මිල කොට ඇති බැවින් උපක්‍රමශීලීව ශන්වැක් රුපියල් 519ට මිල කල යුතු බවය. ඊළඟ අවුරුදු තුන සඳහා ප්‍රක්ෂේපණය කරන ලද විකිනුම් ආදායම වූයේ රුපියල් ලක්ෂ 50, ලක්ෂ 75 සහ එක් කොටියකි. මෙවන් අගයකට පැමිණියේ ඇයි දැයි වරප්‍රසාද් ඇසූවිට ඔවුන්ගේ පිළිතුර වූයේ අත්දැකීම් අනුව අළුත් නිශ්පාදනයක් විකුණා ලබාගත හැකි උපරිම මුදල මෙය බවයි.
             මෙම මිල හෝ ප්‍රක්ෂිප්ත ආදායම වරප්‍රසාද්ගේ සිහිනය හා ගැලපුනේ නැත. ඔහුගේ සිහිනය වූයේ එන්නත සාමාන්‍ය මිනිසුන්ට දැරිය හැකි වීමයි. ඔහුට මෙම එන්නත රුපියල් 50ට විකිණිමට අවශ්‍ය වූ අතර ඉන්දියාවේ ළමුන්ගෙන් 10%ක්වත් වහාම එන්නත් කොට හෙපටයිටිස් බී මගින් ගලවා ගැනීම ඔහුගේ මූලික අභිප්‍රාය විය. “මමම මේක විකුණනවා“ ඔහු තීරණය කලේය.
             ශාන්තා එන්නත් විකිණිම සඳහා අලෙවි කරුවන් බඳවා ගත්තාය. ඔවුන් තෝරා ගැනීමට එකම සුදුසු කම වූයේ දේශිය නිශ්පාදනයක් විකිණිමට ඇති අභිමානයයි (passion). ඔවුන්ව පුහුණු කිරීමට වෛද්‍යවරු යොදාගත් අතර විකිණුම් ව්‍යායාමය ආරම්භ විය. ශන්වැක් බී සඳහා ලැබූ ප්‍රසිද්ධිය නිසා මිනිසුන් මාරාන්තින හෙපටයිටිස් බී ගැන දැනුවත් වූ අතර එයින්ද වාසිය ලැබුනේ දැනට වෙළඳපල ජයගෙන සිටි බහුජාතික ඖෂධ සමාගමයි.
           එනිසා අතීතයේ බොහෝවර සිදුවුනාක් මෙන් මෙවරද නැවත නරක කලදසාවක් එළඹී තිබිණ. වෙළදාම එක තැන පල් විය. බහුජාතික සමාගම් වලින් කොමිස් කුට්ටිය කඩා ගැනීමට අමතරව සමහර වෛද්‍යවරු බහුජාතික ඖෂධයේ මිලටම ශන්වැක් බී රෝගීන්ට ලබා දුන් අතර දේශිය නිෂ්පාදනය ගුණාත්මක නැති බවටද දූසමාන ආරංචි පැතිරවූහ. මෙයට අමතරව රුපියල් 50ට මිල කර තිබුනද සුපිරි ගබඩාකරුවන්, ගබඩාකරුවන් සිල්ලර වෙළෙන්දන්ගේ සහ වෛද්‍යවරුන්ගේ කොමිස් එක එකතු කර පසු විකිණුම් මිල වූයේ රුපියල් 180කි.
එන්නත් කඳවුරක්..
       එහෙත් ශාන්තා නැවතත් මේ අභියෝගය ජයගත්තේය. ඒ තමන්ගේ මුල් අරමුණ අමතක කිරීමට ඔහු සූදානම් නොවූ නිසාය. මෙම එන්නතට වෛද්‍යවරුන්ගේ නිර්දේශය (prescription) අවැසි නොවූ අතර කැමති අයෙකුට මිලදී ගත හැකි එකක් බව වරප්‍රසාද්ට අවබෝධ විය. එනිසා මේ අතරමැදියන්  නැතහොත් වෛද්‍යවරුන් මෙම ක්‍රියාවලියෙන් අයින් කිරීමට ක්‍රමයක් සොයාගත යුතු විය.  ඔහු ඉන්දියානු වෛද්‍ය සභාව (Indian Medical Council- IMA) වෙත ගිය අතර අඩු මිලෙන් යුතු දේශීය එන්නත වෛද්‍යවරුන් අතර භාවිත නොවන බව පෙන්වා දුන්නේය.          
         ඔවුන් ඔහුට දේශනයක් පැවැත්වීමට ආරාධනා කල අතර එහිදි වරප්‍රසාද්ට අති විශාල සහයෝගයක් හිමිවිය. එහිදී ඔවුන් සොයාගත්තේ මිනිසුන් අතරට කෙලින්ම සම්බන්ධ වීම වඩා සාර්ථක ක්‍රමය බවයි. ඒ සඳහා විශාල එන්නත් කඳවුරු සංවිධානය කිරීමට තීරණය විය. මේ සඳහාද විරුද්ධවීම් අවහිර කිරීම් නොමැති වූවා නොවේ. මෙවර කරළියට පැමිණියේ ඖෂධ සංගම් හා වෘත්තීය සමිතිය. එහෙත් IMA හි සහයොගෙයෙන් පෙර නොවූ විරූ අකාරයෙන් කඳවුරු සංවිධානය කළ අතර 40,000කට ආසන්න මිනිසුන් පිරිසක් එන්නත් කර ගැනීම සඳහා පැමිණ සිටියහ. ඒ අතරම සමහරු පෝළිම් ගැසී එන්නත් වඩිය එන තෙක් බලා සිටියහ. නැවත වතාවක් ශාන්තා ජයගත්තාය.
        කිසිදිනෙක පරණ අච්චුවෙන් කිසිදිනෙක අළුත් අදහසක් එළියට ගත නොහැකි වන්නාසේ වරප්‍රසාද් තම නැවුම් නිශ්පාදනය පරණ ක්‍රමය තුලින් ජයගැනීමට බලාපොරාත්තු නොවීය. ඔහු අළුත් ක්‍රමයක් සොයාගත්තේය. ජයග්‍රහණයේ මාවත එයින්ම විවර විය. තම සිහිනය එකලෙස පවත්වා ගැනීම ශාන්තාහි සාර්ථකත්වයේ රහසයි. අපි ඒ ගැන ඊළග ලිපියෙන් කතා කරමු. 


පිනතූරු අනුග්‍රහය: http://www.naharnet.com/stories/en/29353
 http://www.sciencephoto.com/media/211911/enlarge

20 comments:

  1. ස්තුතියි! ඊළඟ ලිපිය එනතෙක් බලා සිටිමි

    ReplyDelete
    Replies
    1. ඔන් ඊළඟ කොටසත් පබ්ලිෂ් කලා බලන්නකෝ..

      Delete
  2. me wage lipi hari wadagath[ara pissu blog walata coment dana ayata meka penne nadda]

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කොමෙන්ටුවට..
      ගිය සැරෙත් කිව්වා වගේ අමතක කරන්න එපා ගොඩක් අය බ්ලොග් එකක් කරන්නෙ විනෝදාංශයක් ලෙස කියලා..ඉතින් අනිත් බ්ලොග් පිස්සු ඒවා කියලා කියන්න අමාරුයිනේ..
      අනිත් එක හැමදාම වැදගත් දේවල් ලියන එක නම් පණ යන වැඩක් අප්පා..

      ඒක නෙවි සිංහලෙන් කොටන්න පුරුදු වුනොත් කොහොමද?

      Delete
  3. හෝව් හෝව්.. හිමින් හිමින්... ලිපිය කියවලා කමෙන්ට් එකක් දාන්ඩත් කලින් ඊලඟ ලිපිය එනවනේ...

    කතාවනම් නියමයි ආ.. ඔබතුමියගේ පරිවර්තනයත් නියමයි..

    ඔය ඖශධ මාෆියාව ලංකාවත් බිලි අරන් තියෙන්නෙ. මෙතුමාට සේනක බිබිලේ මහත්තයට වෙච්ච දේ නොවීම දුප්පත් ඉන්දියානුවන්ගෙ වාසනාවක්.

    ReplyDelete
    Replies
    1. හික්ස්..එහෙම බෑ මම වගේ හයියෙන් දුවගෙන එන්න..

      ම්..ඔයාගෙ කතාවට එකඟයි සෙන්නා ඒත් මේ ලිපි පේළියෙත් ලුණු ඇඹුල් ඇරලා කියවන්න..වරප්‍රසාද් කලෙත් බිස්නස් එකක් කියලා අමතක කරන්න නරකයි..

      Delete
    2. ඔන්න ඕකනෙ කියන්නේ, එයාම ලුණු ඇබුල් දාලා අපිට කියනවා ඒවා ඇරලා කියවන්න කියලා..

      හැබැයි ඉතින් එයා ව්‍යාපාරික අරමුණු ඉස්සර කරගත්තෙ නෑනේ.. එහෙනම් ලේසියෙන පන්සිය ගානට දීලා නිකන් ඉන්න තිබුනනෙ.. හැබැයි මිනිහා මාකට් එක අල්ලන්ඩ එහෙම කළාද දන්නෑ.. ඒකනම් ඉතින් ඔයා ලියනකම්ම ඉදලා තමා දැන ගන්ඩ වෙන්නෙ. මොකද මම ඔය ගොබිලා ගැන කලින් අහලවත් තිබුන්නෑ.

      හ්ම්ම් එහෙනම් යමු 7 කියවන්ඩ..

      Delete
    3. හරි හරි..එහෙනම් ලුණු ඇඹුල් එක්කලාම කියවන්නකො..හික්ස්..
      ඊළඟ ලිපිවල තියෙන්නෙ වරප්‍රසාද් සාර්ථක වෙන්න හේතු..බලන්නකෝ..

      Delete
  4. බෙහෙත හොයා ගන්නවට වැඩිය අමාරු වෙලා තියෙනවා විකුණන්න.. තරගය කියන්නේ එහෙම තමයි..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත මල්ලි..
      විශේෂයෙන් ඖෂධ වෙළඳ පලේ තියෙන්නෙ සීතල යුද්ධයක්..

      Delete
  5. මොන තරම් කරදරයක් විඳලද? වෙන කෙනෙක් නම් මේ වැඩේ අත් හරින්නේ මීට ගොඩක් කලින්.

    ReplyDelete
    Replies
    1. තමන්ගේ සිහිනය වෙනුවෙන් මෙච්චර දුරක් ආව වරප්‍රසාද් ගැන මටත් පුදුමයි..

      Delete
  6. හැමතැමම බිස්නස් තමයි.. අර කිව්වා වගේ විකුණන්න තමයි මහන්සි වෙලා තින්නේ

    ReplyDelete
    Replies
    1. ම්..එක් ඇත්ත
      වෙළඳපල ජයගන්න එක තමයි හපන්කම..

      Delete
  7. පරිවර්ථනයක් සාර්ථක වෙන්නෙ ඒක පරිවර්ථනය කරන කෙනාගේ හැකියාව මතයි කියලා මම හිතනවා.

    ඇත්තටම දැන් නං වරප්‍රසාද් අපේ අයියා කෙනෙක් වගේ.....! නියමෙට ලියලා තියෙනවා. ස්තුතියි රූ!

    ReplyDelete
    Replies
    1. මාව වැටෙන්න යනවෝ..මාව අල්ලගනියෝ...
      - බුද්ධි විසින් මුරුංගා ගහ මුදුනේම තැබූ රූ

      හික්ස් තැන්කූ හොඳේ..ඔයාගෙ සිහනය වෙනුවෙන් කරදර විඳිද්දි මේ ලිපි පේළිය ආයෙත් මතක් කරගන්න..

      Delete
  8. කලින් එකයි මේකයි දෙකම එකටම කියෙව්වේ. හොඳ දෙයක් කරන්නත් කොයිතරම් අමාරුද නේද අක්කේ. මේ බහුජාතික සමාගම් හරියට බූවල්ලෙක් වගේ ලෝකෙ පුරා ම අඬු විහිදුවාගෙන, කාටවත් ස්වාධීන ව නැඟී ඉන්නදෙන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. අපිට එක් ප්‍රතික්ෂේප කරන්න අමාරුයි ලහිරු..
      ඒත් අපි උපක්‍රමශිලී වුනොත් ඒ බූවල්ලගෙන් ගැලවෙන්න අමාරු නෑ..

      Delete
  9. ගරිල්ලා මාකටිං එක්ක වරප්‍රසාද්ටත් හැප්පනේන වුණා. මේක තමයි වෙළඳපොළ තරඟය. එයිනුත් වරප්‍රසාද් ජය ලබනවා. ඔහුගේ අරමුණ අනභිබවනීයයි.

    ReplyDelete
    Replies
    1. ඔහුගේ ධෛර්යය අදහන්න වටින තරම් ප්‍රශන්සනීයයි..
      ස්තුතියි ඊළඟ පෝස්ටුවට වචනයක් හොයලා දුන්නට..

      Delete