Friday, April 20, 2012

සිහිනය සැබෑ කරගත් කුකුල් කේන්තිකාරයා 8

පූර්විකාව  
 කලින් ලිපියෙන් අපි අන්තිමට කතා කලේ ශාන්තාහි සේවය කරන සුධීර්ට කීමට ඇති දේ ගැනයි. ඔහුගේ කතාව තවත් අවසන් නෑ. අපි ඔහුගෙන්ම අහමු.

         “මට ඒකාකාරීව වැඩ කරන එක හුස්ම හිර කරනවා වගේ වැඩක්. මම ශාන්තාහි වැඩ කිරීමට කැමති ප්‍රධාන හේතුව වන්නේ වරප්‍රසාද් නිතරම අළුත් අළුත් අභියෝග අප වෙත එවීම නිසයි. එම අභියෝග කෙතරම් ප්‍රබලද යත් අප මුළු කණ්ඩායමට ම අළුතෙන්ම සිතන්න පටන් ගන්න වෙනවා. “
      සුධීර් තවදුරටත් මෙසේ පැහැදිලි කරයි.
       “උදාහරණයකට ගත්තොත්  දිනක් ඔහුට අවශ්‍ය වුනා වෙළඳපලේ රුපියල් 2400කට විකිණෙන Interferon එකක් රුපියල් 150කට විකුණන්න. අපේ කණ්ඩායමට මුල ඉඳන් පටන් ගන්න වුනා. අපි අනවශ්‍ය ක්‍රියාවලි, අමුද්‍රව්‍ය සේරම අයින් කරන්න ගොඩක් මහන්සි වුනා ඒ නිසා අද වෙනකොට ඒ interferon එකේ මිල රුපියල් 300කට ගේන්න අපට පුළුවන් වුනා.“
            සුධිර්ව අභිප්‍රේරණය කිරීමට (motivate) මූලිකවම සමත්ව තිබෙන්නේ ශාන්තා සමාගමේ මූලික දර්ශනයයි: එනම්
 “මිනිස් සෞඛ්‍යට සම්බන්ධ නිශ්පාදන සාමාන්‍ය මිනිසාට දැරිය හැකි මිලකට අලෙවි කිරීමයි“. 
       ඉන්දියාවේ මෙම සාමාන්‍ය මිනිසා ඇමරිකාවේ සාමාන්‍ය මිනිසාට වඩා වෙනස් බවද ශාන්තා අමතක කලේ නැත. 
         ඔහු අභිප්‍රේරණය කිරීමට සමත්වූ අනිත් කරුණ වන්නේ වැඩ කිරීමට ඇති නිදහසයි. අළුත් සොයාගැනීම්, අළුත් අදහස් සඳහා ශාන්තාහි විශාල පිළිගැනීමක් හිමිවේ- වැරදීම්, අසමත්වීම් රැවුම් ගෙරවුම් වලට ලක් නොවේ. මෙය ඉතා හොඳ දෙයක් ලෙස කෙනෙකුට දිස්විය හැකි වුවත් මෙම ක්‍රමයේදී ඇත්තටම සේවකයා මත මහත් පීඩනයක් එල්ල වී ඇති බව වටහා ගත යුතුය.  සුධීර් පරණ මතකයන් අවුස්සාලමින් එක් සිද්ධියක් ගෙන හැර පෑවේය.
ශාන්තා ඇතුළත..
        “දවසක් මම පැසවන යන්ත්‍රයක් තනුක අම්ලයකින් සෝදා පිරිසිදු කළා. නමුත් මගේ අවාසනාවට ඒ ඇසිඩ් එක නිසා යන්ත්‍රයේ ඇතුළත බිත්තියේ  ලයිනර්  දියවෙන්න පටන් ගත්තා. ලක්ෂ ගාණක් වටින ඒ යන්ත්‍රයේ ගන්න දෙයක් නැතිවුනා. ඒත් අමාරුම වැඩේ තමා කවුරුත් මට බැන්නෙ නැති එක. පහුවදාම අළුත් මැෂින් එකක් ඕඩර් කලා. ඒත් එක පිටරටකින් එන්න ඕන. සති 16ක් ගියා. ඒ සති 16 තමා මගේ ජීවිතේ අමාරුම අවාසනාවන්තම කාලෙ. ඒ මැෂින් එකෙන් කරන්න ඕන වැඩ සේරම අතරමග ඇණ හිටලා තිබ්බත් කවුරුත් වචනයක්වත් මට කිව්වෙ නෑ. ඒත් එදත් එදායි මම කවදාවත් මැනුවල් එක කියවන්නැතුව කිසිම මැෂින් එකක් ක්‍රියා කරවන්න ගියේ නෑ. “
        අත්වැරදීම් කිසිවිටෙක රැවුම් ගෙරවුම් වලට ලක් නොවුනද ඒවා වාර්තා කිරීමට අසමත් වීම එසේ වුයේ නැත. වැරදි වසා ගැනීමට තැත් කිරීම නිසා අස්කර දැමූවන් බොහෝය. වැරදි වසා ගැනීම මගින් ඖෂධ භාවිතා කරන්න්ගේ ජීවිත අනතුරේ වැටේ. එය කිසිවිටෙක සාධාරණිකරණය කළ හැකි දෙයක් වූයේ නැත.
        උද්වේගකාරී හැඟීම් ආයතනයක් තුල ප්‍රධාන කර්තව්‍යක් ඉටු කරයි එසේ කියන්නේ මෙහෙයුම් අධිපති එස්. වී කොට්බගි මහතායි. ආයතනය පටන් ගත්තේ වරප්‍රසාද් සමච්චලයට ලක්වීම නිසා ඇතිවූ හැඟීම් නිසාය. ඔහුට අනුව ට්‍රාන්ස්ජීන් නම් වෙනත් ආයතනයක්ද තාක්ෂණ හුවමාරුව යටතේ ඉන්දියාවේදී හෙපටයිටිස් බී එන්නත නිෂ්පාදනය කිරීමට උත්සාහ කළද එය අසාර්ථක විය. “ට්‍රාන්ස්ජීන් හට දූරදර්ශි වැඩපිළිවෙලක් තිබුනද එය අසාර්ථක වුනා. එහෙත් ශාන්තා උද්වේගකර මාර්ගයක ගමන් ගත් බැවින් උපක්‍රම,මිනිසුන්, මෙවලම්, සම්පත් සියල්ල ඒ පසුපස ගලා ආවා.“ ඔහු කියයි.
       අද සාමාන්‍ය කම්කරුවකුට පවා තමන් කරනා කාර්යයේ වැදගත්කම නිතරම මැතිරීම මගින් අභිප්‍රෙරණය කල හැක. උදාහරණයක් ලෙස ඔවුන් ගේ කුඩා අත්වැරදීමක්, නොසැලකිලිමත් බවක් නිසා වැරදෙන ඖෂධයක් ඔහුගේම පවුලේ කෙනෙක් විසින් නැවත පාවිච්චි කිරීමට ඉඩ තිබේ. එම සදොස් ඖෂධය එහි වාඩුව ඔවුනොවුන්ගේ පවුල්වලින්ම නැවත ගනු ඇත.මෙය අවබෝධ කර දිය හැකි නම් කම්කරුවෙකු පවා ඉතා වගකීමෙන් වැඩ කරනු ඇත.
        මීට අමතරව එක් අයෙකු කාර්යයන් කිහිපයක් සඳහා පුරුදු පුහුණු කිරීමෙන් හැමදෙනාටම ආයතනය පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබෙනු ඇත. ශාන්තා හි හැම සේවකයෙකුම තමන්ගේ කාර්යයට අමතරව තවත් කාර්යයන් තුනක්වත් අවම වශයෙන් දැනගෙන සිටිය යුතුය. සමහරු තමන් සේවය කරන කොටසේ මුල සිට අග දක්වා සියලු කාර්යයන් දැන සිටිති. බොහෝ අනෙක් ආයතන මෙවන් පියවරක් සඳහා මැලිවන්නේ සේවකයින් මේ දැනුම රැගෙන ආයතනව හැරදා යතියි සිතන නිසාය. එහෙත් ශාන්තා පුද්ගලික තෘප්තිය වඩා වැදගත්ය. කොට්බාගි කියනා අන්දමට සේවකයින් තෘප්තිමත්  නැතිනම් ආයතනයකට තම කාර්යක්ෂමතාව පවත්වා ගැනීමට සම්මතකරණය, උපායෝමාර්ග වැනි දේ මත යැපෙන්නට සිදුවේ“ නමුත් ශාන්තා හි සේවකයින්ට එසේ වන්නේ නැත.
          ශාන්තා යනු වතුර මත ඇවිදිය හැකි යැයි පවා විශ්වාස කරන කැපවීමෙන් වැඩ කරන සේවකයින් සිටිනා ආයතනයකි. ඔවුන්ට මුණ ගැසෙන හෝ මුණ ගස්වන අභියෝග සමඟ හරි හරියට හැප්පීමට ඔවුන්ට හැක.




වේගවෙන් වෙනස් වන ලෝකයේ අයතන සාර්ථක වීමට නම් නිතරම නව සොයාගැනීම් කල යුතුය. එහෙත් ඔබ ළඟ එවන් දේ කල හැකි මිනිසුන් සිටිනවාද? කැපවීමෙන් වැඩ කල හැකි අධිශ්ඨාන ශිලි මිනිසුන් කීදෙනෙක් ඔබට සිටිනවාද? එවන් මිනිසුන් ගොඩක් නැත්නම් ඔබ ඒ සඳහා කරන්නට හදන්නේ මොකක්ද?


       වරප්‍රසාද්ට නම් සියල්ල ඇරඹුනේ සිදුවිය හැකි හා සිදුවිය නොයුතු දේ පිළිබඳ සිතිවිලි පොදියක් නිසාය. එය ඔහුට බොහෝ සේ බලපෑවේය. එන්නත් මිනිසුන්ගේ ජීවිත බේරාදිය යුතු වුවද බොහෝ ඖෂධ සාමාගම් තමන්ගේ ලාභය පමණක් සැලකීම නිසා එසේ සිදු නොවීය.  ඔහු ශන්වැක් රුපියල් 50කට නිපැදුවේ විශ්ව කර්ම සිදු කර නොවේ. ඒ ඔහු රුපියල් 3000ක ලාභයක් ගැනීම ප්‍රතික්ෂේප කල බැවිනි. “අපි ජිවිත බේරාගැනීමේ ව්‍යාපාරයක නිරත වී සිටින්වා මිස ලාභය සඳහා එන්නත් නිපදවීමේ ව්‍යාපාරයක නොවේ.“ ඔහු පවසයි.
      ශාන්තා පහත නිර්ණායක තුනට යටත් සියල්ල නිෂ්පාදනය කරයි;

  1. ඖෂධය පිටරටකින් ගෙන්විය යුතු වීම.
  2. සාමාන්‍ය මිනිසාගේ ජීවන තත්වය ඉහල නැංවිය යුතු වීම හා
  3. සාමාන්‍ය මිනිසෙකුට දැරීමට නොහැකි තරම් ඖෂධයේ මිල ඉහල වීම
     වරප්‍රසාද් මෙසේ විය නොහැකි දේ නිතරම කර පෙන්වූයේ කෙසේද? ඔහුට අනුව ඔහු කරනා සියළු දේ අන් අය විය නොහැකි යයි විශ්වාස කරනා දේය. ගායාත්‍රි මන්ත්‍රයෙන් (එනම් පොත) ප්‍රබෝධාත්මක වැකියක් උපුටා දක්වමින් ඔහු කියන්නේ 
“කාර්යය පටන් ගන්න එවිට අනිත් සියළු දේ හරියනු ඇත“

   “ ජීවතාක්ෂණ ක්ෂේත්‍රයේ සේවය කරන මිනිසුන් යම් දෙයක් විය නොහැකි දෙයක් වන්නේ මන්දැයි හොඳින් දනිති. එහෙත් මම එම ක්ෂේත්‍රයේ නොවන නිසා මම ඒ දේ විය නොහැක්කේ ඇයි දැයි නොදනිමි. අනික වෙනත් එන්නත් රුපියල් 15කට විකිණිමට තිබේ නම් හෙපටයිටිස් බී එන්නත ඒ වගේ තුන් ගුණයක් එනම් රුපියන් 50කට විකුණන්නට බැරි ඇයිදැයි මට තේරුම් ගත නොහැකි විය. එනිසා මම එය එසේ කරන්නට උත්සාහ කලෙමි. අවසානයේදී මට එය කළ හැකි විය.“  




වරප්‍රසාද්ගේ කතාවෙන් කියැවෙන වැදගත්ම පාඩම වනුයේ නොහැකි දේ ගැන සිහින මවා ඒ වෙනුවෙන් වෙහෙසීමයි. අපි පියනගනා සෑම අදියරකම තෝරාගැනීම් කිහිපයක් තිබිය හැක. සමහර ඒවා ප්‍රතික්ෂේප කල යුතු අතර සමහර තෝරාගැනීම් සැර බාල කොට පිළිගත යුතුය. තවත් සමහර තෝරාගැනීම් ඒ ලෙසම පිළිගත යුතුය. වරප්‍රසාද් නිතරම කළ නොහැකි යැයි සම්මතදේ කිරීමට සිහින මැවූ අතර ඒ සඳහා තම උපරිම කැපවීමෙන් වැඩ කලේය. ඔබගේ සිහිනයන් හා තෝරාගැනීම් මොනවාද? සිතා බලන්න.


කුකුල් කේන්තිකාරයාගේ කතාවේ අවසාන කොටස සමඟ හමුවෙමු.  

පින්තූර අනුග්‍රහය: http://www.ivi.org/event_news/news/popup_shanchol.html

14 comments:

  1. තෝරා ගැනීම් ගැන සිතා බලන්න අපිටත් කාලේ හරි වගේ...

    ReplyDelete
    Replies
    1. තෝරාගැනීම් කරද්දි අපි බලන්නේ හා ද නැද්ද කියන එක..ඒ අතර විසඳුමකුත් තියනවා හැමෙවෙල්ම..

      Delete
  2. අවසන් කොටසත් බලලම් ඉමුකෝ..

    ReplyDelete
    Replies
    1. අද කොහොම හරි දාන්න හිතානන ඉන්නෙ..

      Delete
  3. //ඔබගේ සිහිනයන් හා තෝරාගැනීම් මොනවාද? සිතා බලන්න.//
    හොඳ උපදේශයක්!!!

    ReplyDelete
    Replies
    1. ම්..තැන්කූ..
      හිතලම බලන්නකෝ..

      Delete
  4. මොනවත් කියන්න කලින් ඊළඟ පෝස්ට් එකත් බලලා ම ඉමු, හිතෙන දේවල් මහ ගොඩයි....

    ReplyDelete
    Replies
    1. ම්..හරි එහෙනම් ඊළඟ එකත් බලලම එන්නකෝ..

      Delete
  5. හෙටද සඳුදද අනිතිම එක. මේ ලිපි පෙළ කාලෙකින් මම කියවපු නියම ලිපි පෙලක්. ඒකට මගෙන් පොඩි මෙව්වා එකක් තියෙනවා.

    ඊ මේල් එකක් දෙන්න ඒක එවන්න...

    ReplyDelete
    Replies
    1. ලිපි පෙලේ රිද්මය නැති නොකර සෙනසුරාදම දාන්නයි හිතාන ඉන්නෙ..ඒත් ඇත්තම කියනවා නම් අන්තිම පෝස්ටුව තාම ටයිප් කරලා නෑ..කියන්න දේවල් ගොඩයි..

      ස්තුතියි බුද්ධි..

      Delete
  6. අපේරටේ නම් වෙන්නෙ මැෂින් එක කැඩුව ගමන් ඒකට විනය පරීක්ෂනයක්. දඬුවම සේවයෙන් පහ කිරී හෝ අලාභය වැටුපෙන් අයකිරීම. එතකොට සේවකයෝ නිරන්තයෙන් දුර්මුඛ වෙනවා සේවා යෝජකයා සමග.

    මොනවා ළුුණත් රූ.. ඔබ හොඳ "මෝටිවේෂන්" වැඩසටහනකට සහභාගිවෙලා තියෙන බවනම් පේනවා. මේවගේ මොටිවේෂන් වැඩසටහන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අවධානයට යොමුකල යුතුයි

    ReplyDelete
    Replies
    1. මම මේ කරන්නේ පොතේ තිබුන දේවල් පරිවර්තනය කරලා පුළුවන් තරම් කියවන්න පුළුවන් වෙන විදිහට හදන එක..මමත් විශයක් හැටියට මේවා ඉගෙන ගත්තට ගොඩක් දේවල් නම් දන්නෑ ඔන්න..

      ලංකාවෙ ආයතන ගැන මතක් කරපු නිසායි මේක කියන්න හිතුනෙ. මම දන්න ගොඩක් ආයතන වැරදි වලින් ඉගෙන ගන්න නිදහස දෙනවා. මමත් වැඩ කරන තැන ඇතුළුව. දවසක් මම කස්ටමර් කෙනෙකුට ගෙනත් දුන්නු උපකරණයත් හයි කරපු හැටියෙම දිය වෙන්න ගත්තා..ඒත් මගේ බොස් මට වැරදුනේ ඇයි කියලා හොයලා ඒ වෙනුවෙන් පුහුණුවක් දෙන්නත් කටයුතු කලා..අනිත් අතට මගේ පඩියෙන් කපන්නැතුව කස්ටමර්ට මුදල් ආපසු දුන්නා..මගේ වැඩ ජීවිතේ මේ වගේ අත්දැකීම් ගොඩක් තියනවා.

      එත් රාජ්‍ය අංශය ගැන නම් කියලා වැඩක් නෑ අප්පා..

      Delete
  7. කවුරුවත් හිතලා වැරද්දක් කරන්නේ නෑ නේ. අනිත් එක ලොක්කෙක් අතින් දෙයක් කැඩුනම එකේ අවුලක් නෑ. ඒත් සාමාන්‍ය සේවකයෙක් අතින් දෙයක් කැඩුනම මහා ලොකු ප්‍රශ්නයක්. කාලෙකින් මේ පැත්තේ ආවේ.. සැහෙන්න පෝස්ට් ප්‍රමාණයක් දාලා නේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..වැරැද්දක් වුනාම වටිනාම දේ තමයි ඒක වැරැද්දක් බව තේරුම් අරගෙන ආයෙත් නොකර සිටීම.අනිත් අතට තව කවුරුවත් අතින් ඒ වැරැද්ද නොවෙන ආකාරයට දැනුවත් කිරීම..

      පරණ ඒවත් කියවලා එන්නකෝ..ආ..ඇයි අන්තිම එකත් තියනවනේ..

      Delete