Monday, October 1, 2012

රොබී 7

පළමු කොටස 
    පසුගිය කොටසින් අපි නැවැත්තුවේ ග්ලෝරියාගේ නිව්යෝක් ගමන පටන් ගත් තැනින්. වෙස්ටන් පවුලේ නිව්යෝක් ගමන ගැන මේ කොටසින් බලමු. 

“අපිට ඉක්මනට නිව්යෝක් යන්න පුළුවන්ද මමී?“ ග්ලෝරියා ඇසුවාය. 
“තව පැය බාගෙකින් විතර අපිට බහින්න පුළුවන් වේවි වස්තුවේ.“ මිසිස් වෙස්ටන් සිය දියණියට පැවසුවාය. 

“ඔයා අපි මේ ගමන යන එක ගැන සතුටුයි නේද? වෙනස් ගොඩනැගිලි මිනිස්සු එක්ක ඔයාට සතුටින් ඉන්න පුළුවන් වෙයිනේද වස්තුවේ? අපි හැමදාම විසිවොක්ස් එකේ ෂෝ බලන්න යමු. අනික එහේ ස්ර්කස් තියනවා හැමදාම. ඇයි ඔයා ආසයි නේද රැල්ල පාගන්න. තව- “ 
    මිසිස් වෙස්ටන් කියවාගෙන ගියේ තම වරදකාරී හැඟීම පියවා ගන්නට මෙනි. 
“ඔව් මමී. “ 
   ග්ලෝරියා ඉක්මනින් පිළිතුරු දුන්නේ මිසිස් වෙස්ටන්ට කතාව ඉවර කරන්නට ඉඩ නොදෙමිනි. ගුවන් යානය පුළුන් වලා උඩින් ඉදිරියට ඇදේදී එක් වරම පැහැදිලි නිල් වන් අහස පෙනෙන්නට විය. ඒ දෙස කවුළුවෙන් බලා සිටි ග්ලෝරියා හදිසියේ යමක් මතක් වූ අයුරෙන් සිය මව දෙස බැළුවාය. 
“මමී.මම දන්නවා ඇයි අපි නිව්යෝක් යන්නෙ කියලා..“ 
“ඇත්තට? හා ඇයි කියන්න බලන්න වස්තුවේ?“ 
“ඔයාලා මට කිව්වෙ නැත්තෙ මාව පුදුම කරන්න හිතාගෙන නේද? ඒත් මම දන්නවා.“ 
   මොහාතකට තමන්ගේ සිතුවිලි අතර අතරමං වූ ග්ලෝරියා නැවත සිනාසෙමින් හඬ අවදි කලාය. 
“අපි නිව්යෝක් යන්නෙ රොබීව හොයන්න. එහෙම නේද? රහස් පරීක්ෂකයොත් එක්ක“
      ග්ලෝරියාගේ වචන ඇසෙත්ම වෙස්ටන් මහතා බිබී සිටි වතුර ටික ඉස්පොල්ලේ ගිය අතර ඒ සමඟම කටින් පිටවූ වතුර පහරින් ඔහුගේ ඇඳුම තෙමී ගියේය. මේ සිද්ධිය අවසාන වන විට ඔහු මුහුණ රතු කරගෙන ඇඳුම් තෙත බරියම් වී කෝපයෙන් දත් මිටි කමින් සිටියේය. මිසිස් වෙස්ටන් තමාගේ සුපුරුදු තැන්පත් බව රැකගෙන සිටියෙන් ග්ලෝරියා නැවතත් පෙර ප්‍රශ්නයම නැගුවාය. 
   එහිදී තැන්පත් බව නැතිව ගිය මිසිස් වෙස්ටන් ඇණුම් පදයක් ලෙසින් මෙලෙස පැවසුවාය. 

වෙන්න පුළුවන්. දැන් ඔයා දෙයියංගෙ නාමෙට කටවහගෙන වාඩි වෙලා ඉන්න.“  

**********************
     වර්ෂ 1998දී නිව්යෝක් නුවර ඉතිහාසයේ කවර දාකටවත් වඩා දැකුම්කළු පාරාදීයක් විය. ග්ලෝරියාගේ දෙමව්පියන් මෙය දැන සිටි අතර ඔවුන් නිව්යොක් නුවර තෝරාගන්නට එයද හේතුවක් වී තිබිණ. සිය බිරිඳගේ අණින් වෙස්ටන් මහතා තමන්ගේ සියළු ව්‍යාපාර කටයුතු වලින් මසකට සමුගන්නට පිළියෙල කල අතර එම මාසය තුල “පිරිහෙන්නට ආසන්නව ඇති ග්ලෝරියාගේ සෞඛ්‍යය තත්වය“ ගැන වෙහෙසෙන්නට තීරණය විය.         
     එහෙත් මසක් ගතවීමට මත්තෙන් ඔවුහු දෙපලට වැටහුනේ තමන්ගේ අරමුණ කරා ළඟාවන්නට බොහෝ දේ කළයුතුව තිබූ ඇති බවය. 
    වෙස්ටන් යුවල ග්ලෝරියා සැතපුම් බාගයක් පමණ උසින් යුතු රූස්වෙල්ට් ගොඩනැගිල්ලේ උඩ තට්ටුවට ගෙනගොස් හාත් පසින් පෙනෙන නිව් ජර්සිහි කුඩා දූපත් තැනිතලා පෙන්වූහ. තවද සත්තු වත්තට ගිය ග්ලෝරියා “ඇත්තම ඇත්ත සජීවි සිංහයෙකු“ ගේ දර්ශනයෙන් කුල්මත් වූ අතර ඌ බලාගන්නට සිටින්න් සිංහයාට මිනිසුන් වෙනුවට අමු මස් දෙනු දැක බලාපොරොත්තු සුන් කර ගත්තාය (ඇය එතෙක් සිතා සිටියේ කතන්දර වල තිබෙන පරිදි සිංහයන් ගේ ආහාරය මිනී මස් බවය).ඒ සමඟම ඈ “තල්මසා“ බලන්නට ඕනෑ යැයිද නිතරම ඇවිටිලි කලාය.
      විවිධ අන්දමේ කෞතුකාගාර,උද්‍යාන, වෙරළ තීර, මින් මැදුරු ඔවුන්ගේ චාරිකාවේ ඇතුලත් වී තිබිණි. එක්දහස් නවසිය බරගණන්වල පාවිච්චි කරන ලද පුරාණ එන්ජිමක් සවි කරන ලද දුම් නැවේ සවාරියක් යෑමටද ග්ලෝරියාට හැකි විය. මෙවන් තවත් චාරිකාවකදී “අපරවර්තී ගෝලයේ“ (Stratosphere) සිට අවතල බඳුනක් ලෙස පෙනෙන මීදුමෙන් වැසුනු පොළව දෙස බැලීමට ඈට හැකිවූ අතර එහිදී අහස දම් පැහැයෙන් යුතු වූ අතර තරු එල්ලී තිබෙන්නාක් මෙන් දිස් විය. 
    ලෝන් අයිලන්ඩ් හිදී විනිවිද පෙනෙන වීදුරු බිත්තියෙන් තැනූ කුහරයක් දිගේ මුහුදු මට්ටමෙන් පහලට ගෙන යනු ලැබූ අතර කොළ පැහැති මුහුදු පරිසරය තුල නොයෙක් මුහුදු ජීවින් කරනම් ගසනු තමන් අතරින් ඒ මේ අත දුවනු දැකිය හැකි විය. 
   මෙම චාරිකා අතරින් නීරසම යැයි සැලකිය හැකිවූ සිය මව සමඟ කෙරුනු ෂොපින් චාරිකාද ඈට එකම විනෝද ලෝකයක් වූයේ වෙනස් ආකාරයේ සුරංගනා ලෝකයක් එහිදීද දැකිය හැකි වූ බැවිනි. 
     සත්‍ය වශයෙන් ගත් කල,මාසය ගතවී යද්දී වෙස්ටන් යුවල ග්ලෝරියාගේ මනස මුළුමනින්ම රොබීගෙන් ඈත් කිරීමට කල හැකි සියළුම දේ කැර තිබුනද ඔවුන්ගේ සාර්ථක බව පිළිබඳ කිසිදු විශ්වාසයක් තිබුනේ නැත. එනමුදු ග්ලෝරියා තමන්ව එක්කන් ගිය සෑම තැනකදීම හැකි තරම් සතුටු වන බව පෙන්වූ අතර අළුත් අළුත් දේ දකින සෑම වෙලාවකදීම ඈ ප්‍රීතියෙන් පිනායනු දැකිය හැකි විය. එහෙත් කොපමණ අමුතු දේ දුටුවද ලෝහමය යමක සෙලවීමක් දුටු සැනින් ඇගේ අවධානය සම්පූර්ණයෙන්ම ඒ වෙත යොමු වනු වලක්වා ගත නොහැකි විය. 
     මිසිස් වෙස්ටන් ග්ලෝරියා සියළු රොබෝවන්ගෙන් ඈත් කර තැබීමට හැකි තරම් වෙහෙස වූවාය. මෙහි උච්චතම අවස්ථාව පැමිණියේ විද්‍යා තාක්ෂණ කෞතුකාගාරයේදීය. ඔවුන් ළමුන් වෙනුවෙන් විෂේශ වැඩසටහනක් සංවිධානය කැර තිබූ අතර එය නවීන විද්‍යා මායාවන් ළමා මනසට සුදුසු අයුරින් වෙනස් කොට සකසා තිබිණි. මෙම වැඩසටහන වෙස්ටන් යුවලගේ “අනිවාර්ය“ වැඩසටහන් ලැයිස්තුවේ ඉහලින්ම තිබූ අංගයකි. 
    වෙස්ටන් යුවල තමන්ගේ අවධානය විද්‍යුත් චුම්බකයකින් සාදන ලද ගැජමැටික් එකක් වෙනුවෙන් යොදවා තිබුනු බැවින් ග්ලෝරියා තමන් ළඟ නැතැයි තේරුම් ගැනීමට ඔවුන්ට මඳ වෙලාවක් ගතවිය. 
    මුලින් බොහොසේ කලබල වුවත් ඉක්මනින් සන්සුන් වූ ඔවුන් දෙපළ කෞතුකාගාරයේ සාහායකයින් තිදෙනෙකුද සමග ග්ලෝරියා සෙවීමේ මහා මෙහෙයුම දියත් කරන ලදි. මවගේ ජාන වලින් ලද දායාදයෙන් තමන්ගේ අරමුණ කෙරෙහි අධිෂ්ඨානශීලි වූ ග්ලෝරියා එම වයසේ හුන් අන් ළමුන්ට වඩා මනා සේ විචක්ෂනශීලි වූවාය. එනිසා ඇය අතුරුදහන් වූයේ නිකරුනේ ඇවිදින්නට යාම නිසා නොව ඇගේ අරමුණ ඉටු කරගැනීමට නොයිවසිලිමත් වූ බැවිනි. 
    කෞතුකාගාරයට පැමිණෙන විට ඇගේ අවධානයට යොමු වී තිබුනේ තුන්වන මහලේ තිබූ “කතාකරන රෙබෝ වෙත මෙම පාරෙන්“ යැයි නම් කොට තිබූ ඊතලය දෙසටය. අමාරුවෙන් එම වචන කියවා ගත්තද ඇගේ දෙමාපියන් ඒ වෙත යෑමට මඳකුදු අවධානය යොමු නොකලෙන් ග්ලෝරියා තමන්ට වැටහුනු හොඳම පියවර ගෙන තිබුනාය.
    තම දෙමව්පියන්ගේ අවධානය වෙනතකට යොමු වන තෙක් මග බලා සිටි ග්ලෝරියා ඊතලය යොමු වී තිබූ දිශාවට හෙමින් සීරුවේ ලිස්සා ගියාය. 


ග්ලෝරියාට ඊළඟට මොකද වුනේ? වෙස්ටන් යුවලට ඔවුන්ගේ දරුවා සොයාගැනීමට හැකිවෙයිද? අපි ඊළඟ කොටසින් බලමු. 

පින්තූරු අනුග්‍රහය: http://itlounge.eu/

26 comments:

  1. අම්මගෙම දුවනෙ... මිසිස් වෙස්ටන් පරදියි වගේ නේද.. ? කතාව ලස්සනට යනවා.. බලා සිටිමි..

    ReplyDelete
  2. දැන තමා කතාවේ හොඳම හරිය..අපි බලමුකෝ..

    ReplyDelete
  3. හ්ම්ම්...මම හිතුවා හරි :) නැත්නම් කොහෙද මේ කෙල්ල කැමති වෙන්නේ නිව් යෝක් යන්න. බලමුකෝ කතා කරන රොබෝගේ කෑල්ලත්

    ReplyDelete
    Replies
    1. ම්..ඔන්න ඊළඟ කෑල්ලත් දැම්මා සයු..
      බලන්නකෝ කතා කරන රොබෝ ගැන..

      Delete
  4. හරි ඉක්මණට මේ කතාව පළ වෙනවාද මන්දා :0

    ReplyDelete
  5. රූ නම් වැඩිය අපිව කුතුහලයෙන් දුක් විදින්න ඉඩ හරින්නෙ නෑ. ඉක්මනට කතාව දානවා. ඔන්න මම නම් දැන් කතාවට ඇබ්බැහි වෙලා.

    ReplyDelete
    Replies
    1. ම්..කතාව ඉක්මනට දාන්න හේතු කීපයක්ම තියනවා..
      1.මම කැමති නෑ කොටස් වශයෙන් යන කතා පරක්කු වෙනවට..එතකොට රිදම් එක වෙනස් වෙලා නිසා කියවන්න හිතෙන්නෑ..ඒක නිසා මම කොටස් වශයෙන් යන කතා ඉක්මනට දානවා..එතකොට ලියන මටයි කියවන ඔයාලටයි දෙගොල්ලොන්ටම පහසුයි..
      2. ඒත් මේ කතා සීරිස් එක නම් ටිකක් ඇදුනා වැඩියි. ගිම් මගේ පරණ කතා සීරීස් කියවලා නැහැනේ..ඒවාගේ මම හැමදාම පෝස්ටුවක් දානවා සීරිස් එක ඉවර වෙනකම්ම..
      3. මේ කතාව කෙටි කතාවක්නේ..ඉතින් ඉක්මනට කියලා ඉවර කරන්න ඕන ශෛලියකින් තමා ලියලා තියෙන්නෙ..ඉතින් මම මේක පරක්කු කලොත් මුල් ලේඛකයට කරන අසාධාරණයක්..

      Delete
  6. මට නම් හිතා ගත්තෑකි.
    මේ පාර දාල තියෙන්නෙ මගෙ ප්‍රියතම සයිබෝර්ග්ගෙ පින්තූරේ. රොබෝකොප්. Murphy.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මගේත් ෆේවරිට්..සීරිස් එක හම්බ වුනා ටොරන්ට් ලින්ක් එකක්..බාගෙන බලලා හොඳ නම් විස්තරේ ඔයාටත් එවන්නම්..

      Delete
  7. 1 කොටසත් එක්කම මේකත් බලලම කමෙන්ට් එකක් දාන්නම්...

    ReplyDelete
    Replies
    1. දිගටම බලන්නකෝ මල්ලී..

      Delete
  8. නිවාඩුවක් ලද විගස ලිපි සේරෝම කියවන පොරොන්දුව පිට මා නික්ම යමි...

    මේයැයිට තේරුනාද මන්දා....
    මේකයි රූ නෝනේ, කතා ගොඩක් මගඇරිලා. ඒ ටිකත් එක්කම නිවාඩුපාඩුවේ කියවන්නම් !

    ReplyDelete
    Replies
    1. තේරුම් ගතිමි සහෘදයානෙනි..නැවත එන්න..

      ඔයැයිට තේරුනාද මන්දා මලේ..
      මම මේ කිව්වෙ හා එහෙනම් නිවාඩු පාඩුවේ එන්න කියලා..:)

      Delete
  9. අඩ්ඩේ අර ෆිල්ම් එකේ මෙහෙම සීන් එකක් මට මතක නෑනේ.කතාව යන විදියට එක්කෝ අර රොබී වගේ තව රොබෝලා සෙට් එකක් හම්බුවෙන්න ඕනේ එතනදි.එහෙමත් නැත්තම් ඒ රොබෝ එතන ඉඳලා මෙයාව අඳුරගන්න ඕනේ...

    මාර ලස්සනයි ඈ කතාව.අර අමුතු සුරංගනා කතාව වගේම මේකත් ලියන විදිය හරි අමුතුයි හැබැයි ආකර්ශනීයයි...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ..
      බලමුකො මොකද වෙන්නෙ කියලා ඉස්සරහට..

      Delete
  10. හොඳ වැඩේ ආඩම්බර වෙස්ටන් නෝනට!

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා ලහිරු..
      මේ කොමෙන්ට් කරන අය අතරේ වෙස්ටන් නෝනට කැමති අය එකතු වෙලා ඔයාට ගහයි ඔන්න..!!
      කොහොම වුනත් අම්මලා ඔහොම තමයි අප්පා..

      Delete
  11. හොදම හරිය වගේ ලියවෙන්නෙ?...

    ReplyDelete
    Replies
    1. ඔව් මලේ කතාවේ උච්චතම අවස්ථාවට දැන් ළඟයි..

      Delete
  12. ඊයේ රෑ ගෙදර ආවේ. අද වැඩට ගියෙත් නෑ බ්ලොග් කියවනවා...හරියට යාලුවෝ ගොඩක් කාලෙකින් හම්බ උනා වගේ.

    ඔන්න රොබීගේ කතාව වෙන පැත්තකට හැරුනා. ඇත්තටම රොබී ආපහු එයිද?

    ReplyDelete
    Replies
    1. වෙල්කම් බැක් කිව්වා ඔන්න..
      යාළුවො කිව්වෙ රොබීද ග්ලෝරියාද? :D

      රොබී ආපහු එයිද? අපි බලං ඉමු නේද පොඩ්ඩි?

      Delete
  13. Replies
    1. අයියෝ නෑ ධම්මික..මෙගා නෙවි..
      මේක කෙටි කතාවක පරිවර්තනයත්..

      Delete
  14. මේ සැරේ නම් ග්ලෝරියාට කෟතුකාගරෙන් රොබීව මුණගැහෙයි වගේ..

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන එකක් නෑ යාළු..
      බලමුකෝ අපි ඉස්සරහට..

      Delete