Saturday, June 16, 2012

කඳුකතා 4: ස්තුති කතාව හා ෆ්ලෑෂ් ලයිට්

        අද කඳු කතාවෙ කන්දක් ගැන කතාවක් නැද්ද මන්දා. පොඩියට හරි කන්දක් ගැන තියනවා නම් ඒ හන්තාන කන්ද. පසුගිය දවසක ගවේෂකයන්ගෙ සංගමේ සුහද හමුවට ගිහිල්ලා නංගිලා මල්ලිලා ගොඩක් එක්ක සොඳුරු රාත්‍රියක් ගත කරද්දි තමයි අද කතාව මතක් වුනේ.
       මේ දවස්වල සරසවි ගැන කියැවෙන කතා යහපත් සෞඛයෙන් තොර නිසා මම කතාවෙ තියන පඳුරු තැලිල්ල විස්තරේ ටිකක් විතර වැඩි කරනවා. සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ තවත් පැතිකඩක් බලාගන්න පුළුවන් නිසා.
***
       
සරසවි ගවේෂකයන්ගෙ වාර්ෂික කඳු කාලසටහනේ වැදගත්ම වැඩසටහන් දෙක තුනක් තියනවා. ඒත් ගවේෂන තරඟාවලිය මේ හැම එකකටම වඩා විෂේශ වෙන්නෙ හේතු කීපයක් නිසා.
       වාර්ෂික ගවේෂණ තරඟාවලිය කොයි කාලෙ පටන් ගත්ත එකක්ද කියලා මතක නැති වුනත් මම සරසවියෙ හිටපු අවුරුදු හතරෙම ඒකට සක්‍රියව දායක වෙන්න අවස්ථාව මට ලැබුනා. ගවේෂණ තරඟාවලිය පැවැත්වෙන්නෙ මහනුවර අවට පාසල්වල ඉන්න නංගිලා මල්ලිලාට. බාලක බාලකා තරඟ දෙකක් පැවැත්වෙන්නෙ පරිසර ගවේෂණය හුරු කරවන්න. හැම පාසලකින්ම එන දහ දෙනෙකුගෙන් සමන්විත ගවේෂන කණ්ඩායම් සංවිධායකයො නම් කරන ලද පාරකින් හන්තාන කන්දෙ එක කඳු මුදුනකට ළඟා වෙන්න ඕන. (ඒක හන්තාන කන්දෙ කඳු මුදුන් 7න් එකක් නෙවි. එතනට කියන්නෙ CP2 කියලා. )
        ඔවුන් ගවේෂනය කරන හැටි නිරීක්ෂනය කරන්න එයාල යන අතරමග නිරීක්ෂකයොත් ඉන්නවා. අන්තිමට කඳු නැගීම ගැන සාමාන්‍ය දැනුමක් ලබා දීලා (කඹ පාවිච්චිය, ගැට වර්ග, සතුන්,ශාඛ නිරීක්ෂණය වගේ දේවල්) එදා දවස ගැන හැම කණ්ඩායමම වාර්තාවක් ලියන්න ඕන. (වාර්තා ලියන්න පොත් පුටු මේස ලැබෙන්නෑ. ගවේෂනයකදි ලැබෙන පහසුකම් විතරයි. ඕන නම් මනෝ පුටු පාවිච්චි කරන්න පුළුවන්!)
       නිරීක්ෂකයො ලබා දුන්න ඇගයීම්, කන්ද තරණය කරන්න ගතවුනු කාලය වගේ හැම දේම පාදක කරගෙන එම වසරේ බාලක හා බාලිකා ගවේෂක ශූරතාව තීරණය කරනු ලබනවා.  සහභාගි වුනු හැමෝටම වටිනා සහතිකයකුත් ලැබෙනවා.
          මේ වගේ වැඩසටහනක් සංවිධානය කරන එක ලේසි පහසු දෙයක් නෙවි. බොහෝ වෙලාවට මේ සඳහා අවැසි මුදල් හොයාගන්න අපි කරන්න පුළුවන් හැමදේම කරනවා. ඒ එක්කම විශ්ව විද්‍යාලයේ පාඨමාලාවත් හදාරන අතරෙ මේ වගේ දේකටත් මහන්සි වෙන එක කොච්චර අමාරුද කියලා මම නම් අත්දැකීමෙන් දන්නවා. මේ තරඟාවලිය සාමාන්‍යයෙන්   පැවැත්වෙන්නෙ විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගනයෙ එක පැත්තක. අවට පාසල් වලින් එන 700කට ආසන්න වුනු නංගිලා මල්ලිලා වගේම එයාලගෙ ගුරුවරු හසුරුවන්න ඒකටම හරියන දක්ෂතාවයක් තියෙන්න ඕන. කන්දක් නගිනකොට වෙන අනතුරු වලක්වා ගන්න ප්‍රථමාධාර කණ්ඩායම් සීරුවෙන් තියාගන්න ඕන. ඒ ඇරුනුකොට කන්දට යන පාර ගැන විස්තර ලියලා තියන අත්පත්‍රිකාව වැරදියට කියවලා අතරමං වෙන නංගිලා මල්ලිලාව හොයන්න තවත් කට්ටියක් ඉන්න ඕන.ඒ වගේම 700ක් දෙනාට සහතික ලියන්න. ඇවිල්ලා ඉන්න දෙමව්පියො ගුරුවරුන්ගෙ ඕනෑ එපාකම් බලන්න වගේ එකී මෙකී නොකී දාහක් වැඩ කෙරන්නෙ 80ක් තරම් වූ කණිෂ්ඨ හා ජ්‍යේෂ්ඨ ගවේෂකයො අතින්. 
අපි හදපු වැල් පාලමේ පින්තූරයක් නැති වුනත් මේ තියෙන්නෙ ඊට කලින් අවුරුද්දෙ අපි හදපු සමරුව
          ඒ වගේම තමන්ට වැඩිය අවුරුදු 4-5ක් බාල නංගිලා මල්ලිලා එක්ක සහෝදරත්වයෙන් බැඳිලා එයාලව තමන්ගෙම නංගිලා මල්ලිලා වගේ ආරක්ෂා කරන්නත් මනා සංයමයක් තිබිය යුතු වෙනවා. ඒ මොනව හරි සිද්ධියක් වුනොත් හැමෝම ඇඟිල්ල දික් කරන්න බලන්න ඉන්න නිසා.
       මේ අතරෙ සරසවියට පය ගහන මේ අමුත්තන්ව පිළගන්න ගවේෂකයො රෑ නිදි මරාගෙන මොනවහරි සමරුවක් ඉදි කරනවා. මම මේ කතාව කියන සැරේ අපි ඉදිකරේ එල්ලෙන පාළමක්. පිට්ටනිය පැත්තකින් ගලා යන දොළ පාර හරහා අනිත් පැත්තට යන්න පුළුවන් විදිහට අපි එල්ලෙන පාලම හැදුවා. පාලම හදන්න පටන් ගන්න දවස්වලම තමා අපිට ආරංචි වුනේ අනධ්‍යන කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයකට සූදානම් වෙනවා කියලා. එදා බ්‍රහස්පතින්දා දවසක් වුනා වගේම එළඹෙන සෙනසුරාදා ගවේෂන තරඟාවලිය පවත්වන්න අපි ඔක්කොම දේවල් සූදානම් කරලයි තිබුනෙ. වැඩ වර්ජනය නිසා අපිට ඒක කල් දාන්න පුළුවන් කමක් තිබුනෙ නෑ. කොහොමත් අභියෝගයක් වෙලා තිබුන වැඩසටහන මේ තීරණයත් එක්ක කරන්න බැරි තත්වයකටම පත්වුනා. 
        ඒත් වයසෙ වැරැද්ද නිසාද නැත්නම් කොහොමත් ගවේෂකයො ගාව හැමදාම තිබුනු ධනාත්මක ආකල්පය නිසාද මන්දා සෙනසුරාදා වෙනකොට අපි සරසවියට පැමිණෙන 700කට අධික අමුත්තන් පිළිගන්න ලෑස්ති කරන්න පුළුවන් වුනා.
  • තමන්ට පැවරුනු කාර්යය තමන්ගෙ උපරිමයෙන් ඉටු කරන්න,
  • ඒ ගැන වගකීම දරන්න 
  • කරන්න බැරි තරම් වැඩ බාර නොගන්න
  • ඒ එක්කම අධීක්ෂනයෙන් තොරව අවසන් ප්‍රථිපලය කරා වැඩ කරන්න
  • පැහැදිලි නායකත්වයක මගපෙන්වීම
  • සංවිධානාත්මක බව
මේ තියෙන්නෙ 2012 ගවේෂන තරඟාවලියෙ සමාරම්භන අවස්ථාව..පින්තූරෙ සොරාගත්තෙ  www.peraexplorers.org
                                       වගේ කරුණු  වුන නිසා අපි එදා දවස සාර්ථක කරගන්න පුළුවන් වුනා. හොඳම බාලක හා බාලිකා ගවේෂක කණ්ඩායම් දෙක තෝරලා එයාලට ශූරතාවය පිරිනමලා අපි එදා දවස සතුටින් විසිර යන්න සූදානම් වෙලයි හිටියෙ. හවස 6 විතර වෙලා තිබුන නිසා වැඩසටහනේ ඉතුරු වෙලා තිබුනෙ ස්තුති කතාවත් ජාතික ගීය වාදනයත් විතරයි. 
            දවස්ගානක් තිස්සෙ නොයෙක් දුෂ්කරතා ජයගන්න අපිට උදව් කරපු හැමෝටම ස්තුති කරන්න ඉස්සරහට ආවෙ සංගමේ ලේකම්තුමා. මේ වැඩසටහන ආවරණය කරන්න ඇවිල්ලා හිටිය කැමරා අයියත් ෆ්ලෑෂ් ලයිට් එක අල්ලන එයාගෙ සහායකත් එක්ක ස්තුති කතාව පටිගත කරන්න ලෑස්ති වුනා. 
            ස්තුති කතාව පටන් අරන් විනාඩි පහක් ගතවුනා. දහයක් පහලොවක් ගතවුනා. ඒත් කතාව ඉවර නෑ. පාසල් වලින් ආපු කණ්ඩායම් ටිකෙන් ටික නැගිටලා යන්න පටන් ගත්තා. ගොඩක් දුර යන්න තියන නිසා සභාපතිතුමා එයාලට යන්න අවසර දුන්නා. කැමරා අයියත් කැමරාව අල්ලගෙන ඉන්න අමාරු නිසා කැමරාව බිමින් තියලා ඔටෝ පටිගත වෙන්න දාලා තේ එකක් බොන්න ගියා. පිට්ටනියෙ මැද ඉතුරු වෙලා හිටියෙ ස්තුති කතාව කරන ලේකම් තුමාත් ෆ්ලෑෂ් ලයිට් එක අල්ලපු කැමරා අයියගෙ සහයකයාත් විතරයි. විනාඩි හතලිස්පහකට විතර පස්සෙ කැමරාවෙ ෆ්ලෑෂ් ලයිට් එක නිවිලා ගියා. එතකොටම අපිට ඇහුනා 
“නම් වශයෙන් නොකීවත් අපිට මේ වැඩසටහන සාර්ථක කරගන්න උදව් වුනු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඔබ සැමට සුභ සන්ධ්‍යාවක්“   කියලා ලේකම්තුමා ස්තුති කතාව ඉවර කරනවා. 
        එච්චර කාලෙකට අපි හැමෝම අහපු දිගම ස්තුති කතාව ඉවර කරලා ලේකම් තුමා ආපහු එද්දි අපි ඇහුවා මෙච්චර ස්තුති කරන්න හිටියෙ කවුද කියලා. 
“උඹලට පිස්සුද ? අරූ ෆ්ලෑෂ් ලයිට් එක නිවන්නෑනෙ. මම හිතුවෙ තාම රෙකෝඩ් කරන නිසා කතාව නවත්තන එක හරි නෑ කියලා. මම හිතන්නෙ උපකුලපති තුමාට විතරක් මම හතර පස් සැරයක්ම ස්තුති කලා..!!“


ප/ලි,
එදා දවස තුල සිද්ධ වුන දේවල් එකතු කරලා හදපු වීඩියෝ සීඩී එක තාමත් මා ගාව තියනවා. ඒ සීඩී එකෙන් බාගයක්ම තියෙන්නෙ මේ ස්තුති කතාව!!

ගවේෂක සංගමේ වෙබ් අඩවිය:  www. peraexplorers.org

54 comments:

  1. ෆ්ලෑශ් ලයිට් අල්ලගෙන හිටපු කෙනා සහ සහායකයාට මහන්සි නිසා ඒක ඔෆ් කරලද ? අපොයි..ෆ්ලෑස් ලයිටුත් කොහේ හරි හයි කරලා තියලා ඒ ඩබලත් ගියා නම් එහෙම ස්තූති කතාව තව පැය දෙක තුනක් යන්නත් තිබ්බා..

    ReplyDelete
    Replies
    1. එහෙම නම් අපි තාමත් එතන..!!මනුස්සයා එහෙම කතා නවත්තන කෙනෙක් නම් නෙවි..

      Delete
  2. තව පින්තූර ටිකක් දැම්මා නම් අක්කේ සුපිරියි :)

    ReplyDelete
    Replies
    1. වෙබ් එකේ තියනවා මලේ..ගිහිල්ලා බලන්න..ඒ එක්කම මූනු පොතේ ගෘප් එකටත් එකතු වෙන්න පුළුවන්..

      එදා දවසේ පින්තූර ගොඩක් මා ගාව තිවුනා ඒත් ඒවා අම්මලාගේ ගෙදර..

      Delete
  3. අනේ පවු අප්පා කථිකයා. තමන් ගැනම ආත්ම අනුකම්පාවක් එන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අයියෝ අවාසනාවකට මනුස්සයා පස්සෙ කාලෙක මේ සිද්ධිය මාකටින් කරන්නත් පටන් ගත්තා කොච්චර වෙලා කතා කරන්න පුළුවන්ද කියලා කියන්න..

      Delete
  4. අපිත් ඔය වගේම වැල් පාලමක් හැදුවා ජූනියර් බැච් එක බකට් කරන්න. මට ඒක මතක් වුණා... මේවා මිලට ගන්න බැරි අපූරු මතකයන් තමයි!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ලහිරු..ඒ මතකයන් අමිලයි තමා...
      වැල් පාලම හදන්න ගෑල්ලමයි නම් මහන්සි වුනේ නෑ..වදයක් වුනා මිසක්..අපි හැමදාම එතනට ගිහින් ඕපාදූප කියව කියව ලියන කියන වැඩ තමයි කලේ..ඒ කාලෙ නම් හරිම සුන්දරයි..

      Delete
  5. පව් අනේ එයා.! ඔයාල හිනා උනාට මත නං හලී දුකයි අප්පා. ජය...!

    මේ ඔයා ඉන්නේ මෙහෙද..? මම කල්පනා කො‍රැව්වේ මට මග ඇරුනේ කොහොමද කියලා. අවුලක් නෑ, අද අල්ල ගත්තනේ..

    ReplyDelete
    Replies
    1. වොව් වොව් අනේ මම ඉන්නෙ මෙහේ..:D

      අපි එයැයිට හිනා වුනා කියලා මම කියලා තියනවද? ඔයාත් හිනාවෙන්න එපා..:))

      Delete
  6. අපුරු මතකක්... තව පින්තූර ටිකක් දාමුකෝ අක්කේ.. අඩුගානේ වීඩියෝ එකවත් දාමු..

    ReplyDelete
    Replies
    1. වීඩියෝ එක දැම්මාම මඩ එළිවෙනවනේ මල්ලි..;)
      මේක වුන අවුරුද්ද දැම්මෙ නැත්තෙත් ඒකයි..

      Delete
  7. අහෝ දුකකි !.. පවු අසරණයා..

    ReplyDelete
    Replies
    1. මේක අසරණයට වුනු දෙයක් නෙවි සෙන්නා..;)

      Delete
  8. මේක නිකං බාලදක්ෂ ජම්බෝරියක් වගේ වැඩක්නේ. මේවගේ වැඩසටහන් වලින් ලමයින්ගේ දැනුම, ආකල්ප, සහ කුසලතා වර්ධනය කිරීමකුත් සිද්ධවෙනවා නේද? ආ.. මදැයි ස්තූති කතාවක් ගියපු දුර. වෙලාවට ඒක නිවුනෙ නැත්නම් තවමත් කතාව යනවා

    ReplyDelete
    Replies
    1. ඔව්..අපේ බලාපොරොත්තුවත් පරිසරයට ආදරය කරන මනා පෞරුෂයකින් යුතු බාල පරපුරක් බිහිකරන්න පුළුවන් දායකත්වය දෙන්න..මේ වැඩසටහන සංවිධානය කරන්නෙ අවුරුදු 21-26 අතර සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවො කියන එකත් අමතක කරන්න නරකයි..

      කතාව නැවතුනේ නැත්නම් තාමත් අපි එතන...:D

      Delete
  9. මොනවා උනත් දක්ෂ කථිකයෙක් කියන එක නම් අවිවාදයෙන් පිළිගන්න වෙනවා අක්කේ.....

    මම ආසාවෙන් බලන කාටුන් එකකත් තිබුනා මෙහෙම කඳු නගින කේස් එකක්(NARUTO).වැස්සේ තෙමි තෙමි සිතියම් දිහා බලාගෙන කූඩාරම් අටව අටව ඒ විදියට කන්දක් නගින්න මටත් මාරම ආසාවක් තියෙන්නේ තාමත්... ඕක මහනුවර කස්ටියට විතරද???

    //මේ දවස්වල සරසවි ගැන කියැවෙන කතා යහපත් සෞඛයෙන් තොර නිසා//

    මේක ගැන කියන්න තියෙන්නේ ඉතිං සරසවිය නැමැති කිරි කලයට එක්වන දේශපාලනය නැමැති එක ගොම බිංදුවක් නිසා වෙච්චි වැඩක් කියලා.පේරාදෙණියේ ඉන්න මගෙ යාළුවො නම් කියන්නේ එහෙමයි

    ReplyDelete
    Replies
    1. දක්ෂ කථිකයෙක් බවට නම් සැකයක් නෑ මල්ලි..
      කොච්චර දක්ෂද කියනවා නම් ඊට පස්සෙ තිබුන එක වැඩසටහනකදිවත් අපි වීඩියෝ කරන්න ෆ්ලෑෂ් ලයිට් පාවිච්චි කලේ නෑ..අඩුම ගානෙ ස්තුති කතාවෙදි වත්...!!

      මේ වගේ කැලෑ පත්තර ප්‍රසිද්ධ වෙන්නෙ මේ වගේ වැඩසටහන් වලට තියන ප්‍රචාරය මදි නිසා..මේ වගේ වැඩසටහනක් ආවරණය කරන්න මාධ්‍යට එන්න කියලා කොච්චර කෝල් කරත් වැඩක් නෑ..ඒත් රණ්ඩුවක් පටිගත කරන්න නම් අසුරු සැනින් එයාලා එතන..!!

      Delete
  10. මේක අක්කා රැකියාවට කරන දෙයක්ද? නැත්නම් විනෝදාංශයක්ද?

    මටත් කන්දක් නගින්න තිබුනානම් කියලා හිතුනා..

    ReplyDelete
    Replies
    1. මේක විනෝදාංශයක් විදිහට විශ්ව විද්‍යාලයේදි කරපු දෙයක් හරී..

      කඳු නගින සංගම් නම් ගොඩක් තියනවා..ඔයාට ඔන්න නම් nadegura.com සෙට් එකත් එක්ක එකතු වෙන්න පුළුවන් වේවි..

      Delete
  11. ලස්සනයි.

    මරු අෆ්පා මාත් ආසයි. තනියම කරන්න බැරි දේවල්නේ :(

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත සෑම්..
      තනියම කරන්න පුළුවන් දේත් කට්ටිය එකතු වෙලා කරද්දි ජොලි..

      Delete
  12. එන්ට පමා උනා රූ. මම ගෙදර නෑ මේ දවස්වල.
    කඳු නගින්ට මමත් ආසයි. නියම ස්තූති කතාවක්. තාම හිනා යනවා කතාවට. :D

    ReplyDelete
    Replies
    1. ම්..ඔයත් කඳු නැගපු හැටි ලියන්නකෝ..
      අපි තාමත් එයැයිට හිනාවෙනවා කරපු කතාවට..බේරෙන්න බෑ මොකද අපි ගාව සාක්ෂි තියනවනේ..:D

      Delete
  13. පුදුම ස්තුති කතාවක් නේ !!!
    කම්පස් එක, පින්තූරෙකින් හරි දකින්න ආසයි. නිවාඩු වෙලාවක ගිහින් එන්න ඕන !!!!

    ReplyDelete
    Replies
    1. ම්..අවුට් වෙලා ගොඩක් කල් ගිහිල්ලත් තාම පින්තූර දැක්කාම සතුටු හිතෙනවා මල්ලි..

      Delete
  14. ස්තුති කතාව තම නියමම සිද්දිය. මමත් පරිසර භට කණ්ඩායමේ හිටියා එකෙත් මේ වගේ කෑම්ප් ගහගෙන දවස් 3 විතර හිටියා.

    ReplyDelete
    Replies
    1. මේක නම් එක දවසෙ වැඩක්..
      ඒ වගේ ස්තුති කතාවක් අහන්න වටිනවා අසර්..

      Delete
  15. සුන්දර මතකයක්...වැල් පාලමේ සමරුව හරිම ලස්සනයි...ඊටත් වඩා ස්තුති කතාව තිබිලා තියන හැටි තමයි නියම....

    ReplyDelete
    Replies
    1. ම්..අපි ඒක හදන්න මහන්සි වුන තරමක්..!!
      ඒ මතකයන් අදටත් සුන්දරයි..

      Delete
  16. මාර කේස් එක... ස්තූති කතාව නවතන්න ඉඳලා තියෙන්නේ ලයිට් එක නිවුවම...! ඉතිං කලින් ඒක කතා කරගන්න එපැයි...

    ReplyDelete
    Replies
    1. හදිසියට ඕවා කොහෙද මලේ මතක තියෙන්නෙ..කැමරා අයියා කලේ තැනින් තැනට පැන පැන අපි කරන දේවල් මතක තියාගත්ත එක තමා..

      Delete
  17. හිහි...ඒකනම් මරු කතාව. ලේකම් තුමා ලයිට් එක නිවනකන් බලාගෙන ඉඳල නේ.
    හැබැයි ඔහොම ඇද ඇද කතා කරන එකත් හොඳ හැකියාවක්...

    ReplyDelete
    Replies
    1. ඉලාස්ටික් කතා වලටත් හොඳ හැකියාවක් තියෙන්න ඕන තමා සයු..ඒක ඇත්ත..

      Delete
  18. අපොයි ඒතරම් දිග ස්තූති කථාවක්...වෙලාවට ලයිට් නිව්නෙ නැත්තම් ලෝකෙන්ම දිගම ස්තූති කථාවේ නිර්මාතෘ වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත..දන්නවා නම් ගිනස් පොතට දාගන්න ට්‍රයි කරන්න තිබුනා තමා..

      Delete
  19. අපොයි දෙයියනේ සම්මානයක් දෙන්න වටිනවා එච්චර වෙලා කතා කලාට..

    ReplyDelete
    Replies
    1. අපිටත් තෑග්ගක් දෙන්න වටිනවා එයා කතා කරලා ඉවරවෙනකම් පිට්ටනියට වෙලා හිටියට..

      Delete
  20. නංගි, ඔයාගෙ බ්ලොග් සටහන් දැක්කෙ අහම්බෙන්. ඔන්න මාත් එකතු උනා. ලයිට් අල්ලපු කෙනා නිසා හරිම දක්ෂ කතිකයෙක් බිහි වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කෙ මේ පැත්තෙ ආවාට..සාදරයෙන් පිළිගන්නවා..

      බුද්ධිමතුන් පිටුපස පේලිවලින් බිහිවෙනවා වගේ කථිකයෝ බිහිවෙන්නෙ ෆ්ලෑෂ් ලයිට් වලින් කියලා කියන්න පුළුවන් වෙයි නේද?

      Delete
  21. ලක්සන කථාවක් වගේම අතීතයක්....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම...
      ඒ අතීතය නම් හරිම සුන්දරයි..

      Delete
  22. niyamai niyamaii!! kawuda appa e lekam thumaa??

    ReplyDelete
    Replies
    1. ඔයා දන්න කෙනෙක් වෙන්න බෑ චලිත..ඔයාලට වඩා ගොඩක් සීනියර්..

      Delete
  23. ඔච්චරවෙලා මොනවදකතාකලේ?අනික වටේපිටේ අයගේ මුනුවලින් පෙනුනෙනැද්ද අප්පා...

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ ප්‍රශ්නෙ සාධාරණයි..
      ෆ්ලෑෂ් ලයිට් එක මූණටම අල්ලලා නිසා එයාට අනිත් අය ඉන්නවද කියලාවත් පේන්නෑ..
      ඒකයි මේච්චර මේ කතාව දික් වෙන්න හේතුව..

      Delete
  24. අනේ මමනම් ගිහිල්ලම නැත්තේ ඔය කඳු නගින්න තමයි :(

    ReplyDelete
    Replies
    1. කඳු නගින්න බැරිවුනත් පුළු පුළුවන් වෙලාවට ලංකාවෙ ලස්සන තැන් බලන්න යන්න නගේ..

      Delete
  25. ඔය වගේ දේවල් වෙද්දී මට කියවෙන්නේ අයියෝ සල්ලි කියලා. හැබැයි සමහර විට මීට පස්සේ ඒක, අයියෝ ස්තුති කතාව කියලා වෙනස් වෙන්නත් බැරි නෑ..

    මනෝ පුටුවේ වාඩි වෙලා සටහන් ලියලා හොඳ පුරුද්දක් තියෙනවා වගේ නේ අක්කාට!! :P

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. :D
      අයියෝ ස්තුති කතාව!!

      මනෝ පුටුවෙ ප්‍රයෝජන අපි හැමෝම දන්නවනේ..;)

      Delete
  26. හෙහ් හෙහ්, පට්ටයි!
    එයාට නම් සාධාරණ හේතුවක් තිබිලනෙ කතාව කරගෙන යන්න. මේ අනිත් උන් ඔහොම පැය ගනන් කතාකරන්නෙ ඇයි දන්නෙ නෑ නේද රූ?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මමත් ඕක හිතලා තියනවා ඒත් තාම සාර්ථක උත්තරයක් හම්බවුනේ නෑ..
      අහන්න කට්ටිය නැත්තම් මොකටද දිගටම කතා කරන්නෙ?
      මානසික රෝගයක් වෙන්නෝනැ..!!

      Delete
  27. හෆෝයි...අපි එහෙම කතාව යන ලග පාතක ඔච්චර වෙලා හිටියනම් මොනාගෙන් මොනා වෙයිද දන්නේ නෑ... හික්ස්...කොහොම වුනත් ෆ්ලෑෂ් ලයිට් දාලා තියෙන තැන්වල වැඩිපුර කතා කරන අය ඉන්නවානම් ශේප් එකේ ලයිට් එක ඔෆ් කරන්න තමා තියෙන්නේ...:)

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ අදහසත් නරක නෑ..ඇත්තම කියනවා නම් අපි ඔය කතාව අහගෙන හිටියා ..ටික වෙලාවක් ගිහාම අපි අපේ කතාවල් පටන් ගත්ත නිසා ඒක ඇහෙන්නැතුව ගියා..

      ස්තුතියි මේ පැත්තෙ ආවාට..

      Delete