Thursday, January 31, 2013

සුදු මල්ලී...

බෑග් මල්ල කරට බරදී
පිටුපසින් දෙකට නැමී
අජටාකාශගාමියෙක් බස්රියේ එල්ලී
සඳ තරණයට යනවාලු

පොත් දෙක කිහිලි ගසා 
ගුරු පාරේ පිම්මේ දිවගොස් 
අඹ ගෙඩියට පොරකා
අඹ යාළුවන් වූ කාලය දැන් ගෙවිලලු

කොම්පීතර යුගයෙට
හැල්මේ දිවයන්න
ආදරයෙන් වැලඳගන්න
අපේ මල්ලි ලෑස්තිලු

ක්‍රිකට් පිත්ත එල්ලෙ පොල්ල
දොරමුල්ලේ දූවිලි කයි
ඒවගේ දුක නිවාලන්න
අපේ මල්ලිට කෝ වෙලාව

උදේ ඉඳන් රෑ වෙනකම් 
රැයේ ඉඳන් එළිවෙනකම්
ටියුෂන්..ටියුෂන්..ටියුෂන්
ජීවිතේම දියවෙලා
පොතින් මොහොතකට මිදෙන්න
නිසංසලේ හුස්ම ගන්න
හමන පවන් රැල් විඳින්න
මල්ලිට අමතක වූ හැටි

වෙල් එළියේ දුවල පැනල
සරුංගලේ එක්ක දුවල
හිනාවෙන්න, දඟ කරන්න 
අපෙ මල්ලිට දැන් බැහැයිලු

ගණිතය,විජ්ජාව සමඟ
සිංහල ඉංග්‍රීසි එක්ක
අපේ මල්ලි බරටම වැඩ
ගෙදර ආපු වෙලේ ඉඳන්
අපිත් එක්ක හිනාවෙලා
ආගිය තොරතුරු කියන්න
එයාට දැන් කොයි වෙලාව
හැම තිස්සෙම වැඩ වැඩ වැඩ

අනේ අම්මෙ අනේ තාත්තෙ
අයියෙ අක්කෙ නැන්දෙ මාමෙ
හිනාවෙන්න දඟ කරන්න කියාදෙන්න
ටියුෂන් පන්තියක් දාන්න

පින්තූර අනුග්‍රහය: http://www.istockphoto.com, http://languagetrace.blogspot.com/,http://studentlanka.com

66 comments:

  1. ගොඩ කාලෙකට කලින් ලියපු පද පේලියක්...
    ඉස්කෝලෙ යන පොඩ්ඩො ගැන ලිපි කීපයක් කියෙව්වම මේක මට ආයෙත් මතක් වුනා..

    ReplyDelete
  2. Replies
    1. ස්තුතියි සංජය..

      Delete
  3. හරි අපූරු පද ටිකක්නේ... :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ශම්මි..
      මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා..

      Delete
  4. මමත් මේ අරුතින්ම ලමා ගීයක් ලිව්වා මිට කලකට ඉහතදී. එඩ්වඩ්ගේ සංගිතයට මට ඒ ගිතය මතකයට නැගුණා. මෙහි අරුතත් ඒ ලමා ගීයේ අරුතත් දෙකම එක සමානයි.

    අපේ යුගයේ තිබුණ නිදහසත් ප්‍රීතියත් දැන් ළමුන්ට නෑ. අවාසනාවට ළමයි යාන්ත්‍රික බවට පත්වෙලා.

    ReplyDelete
    Replies
    1. අස්වැන්නේ ඊළඟ ලිපියෙන් ඒ ගීතය ගැන ලියන්න කියලා ඉල්ලීමක් කලොත් අසාධාරණයි කියලා හිතෙයිද දන්නෑ ඔයාට..

      කොහොම වුනත් ඒ සින්දුව අපිත් එක්ක බෙදාගන්න තියනවා නම් හරි අගෙයි..

      Delete
  5. මටත් ඉස්කෝලෙ කාලෙ මතක් වුණා...

    ReplyDelete
    Replies
    1. ඔව් ලහිරු..ඇත්තම කියනවා නම් මමත් ඔය පරම්පරාවට අයිතියි..

      අඹ යහළුවෝ වගේ චරිත අපි දැක්කෙ රූපවාහිනියෙන් විතරයි

      Delete
  6. පොඩි ළමයි උදේ ගියාම හවසට එන්නේ හොඳටම හෙම්බත් වෙලා. ගෙදරදී කරගෙන එන්න දෙන වැඩ ටික කරන්නෙත් කවුරු හරි වැඩිහිටියෙක්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත චන්දන..
      කොච්චර ලිපි ලීවත් වැඩසටහන් ප්‍රචාරය වුනත් තරඟයට ළමයා දුවවන එක තාම අඩුවෙලා නෑ..

      Delete
  7. කාලීන මාතෘකාවක් ගැන ලියල තියෙන්නේ....

    කිව්වට අමනාප වෙන්න එපා.. මේ ගැන රූට මීට වඩා හුඟාක් ලස්සනට ලියන්න පුළුවන්.. මම රුගෙ පරණ පොස්ට් එක්ක සසඳලා කියන්නේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිරිගැන්වීමට මී ගොඩයා..

      මේ ලේබල් එකෙන් එන පෝස්ටුවල පිටුපස කතාවක් තියනවා...තව ටික කාලයකින් ඒ කතාව බෙදාගද්දි ඒ ගැන කියන්නම්..

      Delete
  8. හ්ම්ම්ම්ම්...
    පවු ඉතිං මොනා කරන්නද???????

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට අපිට කරන්න දේවල් තිබිලත් ඒවා කරන්නෑනේ තරියා..

      Delete
  9. පව් පොඩ්ඩෝ ටික. ලස්සන කවි පද වැලක් රූ...

    සුදු නංගිලා ටිකට මොකද උනේ? :D

    ReplyDelete
    Replies
    1. ම්..නංගිලා ගැන අහද්දි මතක් වුනේ මම ඒ ගැනත් ලියලා තියනවා කියලා..
      ඇයි මතක නැද්ද එයා බංගලාවේ වැඩ..

      Delete
  10. හරිම ලස්සන පද පෙළක් රූ. පව්, ඇත්තටම දුක හිතෙනවා ළමා කාළය රසවිඳින්න ඉඩක් නොලැබෙන පොඩි එවුන් ගැන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිත්තමී..
      මෙහෙම දේවල් සිද්දවෙන්න දෙන්න ඕනද කියන එක අම්මලා තාත්තලා වගකීමෙන් ගන්න ඕන තීරණයක්..

      Delete
  11. අපිත් එක්ක හිනාවෙලා
    ආගිය තොරතුරු කියන්න
    එයාට දැන් කොයි වෙලාව
    හැම තිස්සෙම වැඩ වැඩ වැඩ

    මේ කවි පෙලෙන් මගේ හිතට වැදිච්චම කවිය මේක. රස්සාවට ගියපු මුල්ම දවස්වල අපේ අම්මටයි අප්පච්චිටයි මෙහෙම හිතෙන්න ඇති. ඇයි ඉතින් අටාමාරට ගෙදර ඇවිදින් මූන හෝදගෙන දනි පනි ගාලා කෑම ටික කෑවට පස්සේ කොම්පීතරේ ඉදලා එකොලහ වෙද්දි නිදියනවා. ආයෙම පාන්දර පහට නැගිටිනවා නෙහ්. ඉතින් ගෙදර ඈයෝ එක්ක කතා කරන්න වෙලාවක් තියෙනවා යෑ.

    ඔන්න ඒ නිසා මම් ටික ගෙදර ඇවිදින් කොම්පීතරේ ඉස්සරහා ඉන්න එක නවත්තලා දැම්මා.දැන් ගෙදර අය එක්ක යාං හෑල්ල (එදිනෙදා වෙච්ච දේවල්) කියවන්ඩ වෙලාව තියෙනවා.

    ලස්සන කවි සිතුවිල්ලක් රූ අක්කේ !!!!
    ඔයැයිට අනාගතේට මේ කවි ටික ඕන වෙයි මහිතේ :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධු මලේ එකතු කිරීමට..
      ම්..මම මේ කල්පනා කරන්නෙ බ්ලොග් එක ලියන්නෙත් නැතුව අතුරුදහන් වුනේ මොකද කියලා..

      දැන්නෙ වැඩේ තේරුනේ..කොහොම වුනත් අම්මලා තාත්තලා එක්ක එදිනෙදා විස්තර කතා කරන එක කොයි වයසටත් ගැලපෙනවා..

      අන්තිම ටික ගැන නම් කියන්න වෙන්නෙ හීන දකින්නෙ පරිස්සමෙන් කියලා තමා..හික්ස්..

      Delete
    2. ඔන්න මම නම් හීන දැක්කේ නෑ. මං කිව්වේ මෑත අනාගතේ වෙන්න පුළුවං දෙයක්. හික්ස් :)

      Delete
    3. ම්..ඒකනෙ කියන්නෙ මලේ..ඔයා පිළිගන්නෙම නෑ හීන දකිනවා කියලා..හික්ස්..

      Delete
    4. හෑ.... එතකොට ඒක හීනයක්ම පමණක් ද ? සැබෑවක් නැද්ද ? සැබෑ වන දිනයක් ඇත්තෙම නැද්ද ?
      (විහිලු ඈ.)

      Delete
  12. තව අවුරුදු විස්සකින් මේ කවි පෙල ලියවුනොත් ඒක කොහොම එකක් වේවිද රූ? අනිවාර්යයෙන්ම ඔය අද ළමයි ගතකරන ජීවිතය ගැන අතීත කාමයෙන් ලියපු එකක් වේවි නේද?

    ReplyDelete
    Replies
    1. ම්..එහෙම වෙනවා නම් මම කැමතියි ඩූඩ්..හැබැයි ඒ අනාගතේ ළමයින්ට මීට වැඩිය හුස්ම ගන්න ලැබෙනවා නම් විතරක්..

      ස්තුතියි අදහසට..

      Delete
  13. අදකාලෙ බහුතරයක් පීඩිත පොඩිඋන්ගෙ සැබෑ කථාව තමයි මේ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සිරා..නොදරුවන් එයාලට නොදැනීම රොබෝවරු වෙලා..

      Delete
  14. අනර්ඝයි නිර්මාණය .....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලීන්..

      Delete
  15. නියමයි.. කවි නොකියවන මමත් කියෙව්වා ඔන්න...

    පව් පොඩි උන් අපේ එකාගෙ එකත් දවසින් දවස් බර වෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා..ඔයා කවි වලට කැමති නෑ කියලා මම දන්නවා..

      පොඩ්ඩන්ගේ ඉස්කෝල ක්‍රමයෙත් වැරැද්දක් තියනවා සෙන්නා..ඒත් ඒක කොහොම වෙනස් වෙන්න ඕනද කියන එක ගැන නම් මට එච්චර තේරුමක් නෑ..

      Delete
    2. මෙහෙම වෙනස් වුනොත් කොහොමද ?

      Delete
    3. පිරිවෙන් අධ්‍යාපනයෙත් ගත යුත්තක් තියනවා වුනත් ඒක 100%ක් ආපහු ඇදලා ගන්න එක නම් ප්‍රායෝගික නැහැ..

      එක එක ළමයාට තමන්ගේ දක්ෂතාවය ඉස්මතු කරගන්න පුළුවන් විදිහේ වෙනසකට මම කැමතියි..ස්තුතියි සෙන්නා ලින්කුවට..

      Delete
  16. //හිනාවෙන්න දඟ කරන්න කියාදෙන්න
    ටියුෂන් පන්තියක් දාන්න//

    ඇත්තටම... සාමාන්‍ය දැනීම පංති වලින් ඉගෙන ගන්නව වගේ ඉස්සරහට මේකත් සිද්ධවෙයි..

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය දැනීම පන්තියකින් කියලා දුන්නට කොමන් සෙන්ස් පොවන්න බැහැනේ තිසර..කොහොම වුනත් මේ යන විදිහට ඔයා කිව්වා වගේ එකී මෙකී නොකී සියල්ලටම පන්ති බිහිවේවි..

      Delete
  17. අනේ අම්මෙ අනේ තාත්තෙ
    අයියෙ අක්කෙ නැන්දෙ මාමෙ
    හිනාවෙන්න දඟ කරන්න කියාදෙන්න
    ටියුෂන් පන්තියක් දාන්න//

    කවදා ලිවුවත් ඒක හොඳට හිතට දැනුනා රූ. ඇත්තමයි......

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට අපේ කණ්නාඩි තුලින් ලෝකය දකින්න පොඩි අයට පුරුදු කරන්නෙ අපිමයි නේද?

      Delete
  18. හඳට යන ගගනගාමියෙක් වගේ 1 වසරට යන්නේ.

    නියමයි කවි ටික.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අසරණයා...
      සමහර වෙලාවට මේ ගැන නම් දෙමව්පියොත් අසරණයි..

      Delete
  19. ඔන්න අද කාලයේ පොඩි එවුන්ගේ ඉරණම!
    අපි ඒ කාලෙ හිටිය හැටි මතක් වෙනකොට මෙවුන් ගැන දුකයි.
    බුද්ධිමත් අම්මලා තාත්තලා ඉන්න ඈයො නම් ටිකක් හරි මේ දුකෙන් මිදෙනවා ඇති.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ගිමන්..
      ඒත් සමහර වෙලාවට අම්මලා තාත්තලාත් අසරණයි මේ අනවශ්‍ය තරඟය ගැන..
      හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම කැමතියි තමන්ගේ දරුවට හොඳම දේ දෙන්න..

      Delete
  20. ඉස්සර අපිත් ඔහොමයි.. අපිට වැඩිය ලොකුයි බෑග් එක...

    ReplyDelete
    Replies
    1. හික්ස්..මටත් ඒ කාලේ මතක් වුනා..

      Delete
  21. ලස්සන පද පෙලක් අක්කේ.. ඒ දවස් මතක් උනා..

    ReplyDelete
  22. සෙල්ලම් වගේද අප්පා විභාග.. අරයාගේ ළමයාට වඩා අපේ ළමයා අඩු ලකුණු ගත්තොත් පාරක බැහැලා යන්න පුළුවන්ද අප්පා?

    මමත් මුල් කාලෙ ගගනගාමියා වගේ තමා ගියේ.. ඒකටත් එක්ක ඒ ලෙවල් කාලෙ.. බෑග් එකක් තිබ්බෙත් නෑ.. පොත් දෙකක් අතේ අරන් ගියා.. නැත්නම් හාෆ්ශීට් මිටියක් අරන් ගියා..

    ReplyDelete
    Replies
    1. ම්..අඩු ලකුණු ගන්න අයව කොන් කරන කාලය වෙනස් කරන්න ඕන හරී..හැම ළමයෙක් තුලම සැඟවුනු හැකියාවන් තියනවා..ඒවා ඉස්මතු කරගන්න පුළුවන් නම්?

      මේ එකම අච්චුවේ අධ්‍යාපනයෙන් කාටවත් සෙතක් නෑ..

      Delete
  23. හොද ලිපියක්.අපේ පැත්තෙත් එන්න http://sinhapedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තෙ ආවාට යසිරු..

      Delete
  24. ලස්සන කවි පෙල අක්කෙ!! ඉස්කෝලෙ කාලෙ මතක් වුනා... :(

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිතූ..

      Delete
  25. ඕක තමයි අද ළමයින්ගෙ ජීවිතේ... මම ඉස්කෝලෙ ගිය කාලෙත් අනිත් ළමයි පොඩි පන්තිවල ඉඳන්, ඒ කියන්නෙ හයේ හතේ පන්තිවල ඉඳන් පණ යනකම් ටියුෂන් යද්දි මං අවාරෙට පොල් වැටෙන්නැහේ ගියේ ඉංග්‍රීසි පන්තියකට විතරයි.... ටියුෂන් යනව කියල හරියකට ගියේ ඒ ලෙවල් කරද්දි... අපේ ගෙදර තුන්දෙනාම එහෙමයි.... ඒ නිසා මට ලස්සන පුංචි කාලයක් තිබුණා... ඔය අත්දැකීම නිසා මට ඕන උනේ මගේ දරුවොත් ලොකු පන්තිවලට යනකම් ඔය රේස් එකට නොදමා තියාගන්න... ඒත් අද ලංකාවෙ තියෙන තරගෙ හැටියට ළමයින්ට එහෙම නොකර බැරි තත්ත්වයකුත් තියෙනවනෙ... පව්... මගේ දරුවො බේරුනා අපි මෙහේ ආව හින්දා... අද වෙනකම් එයාල එකම ටියුෂන් පන්තියකටවත් ගිහින් නෑ... ඉස්කෝලෙන් ගෙදර වැඩ කියල එවන්න පටන් ගත්තෙත් ලොකු දුව අටේ පන්තියට ගියාට පස්සෙ...

    ReplyDelete
    Replies
    1. මියුරු ඒ අතින් වාසනාවන්තයි..ඔයාට ලස්සන පොඩි කාලයක් තිබුන නිසා තමයි අපි ඔයාගෙ බ්ලොග් එකට ඔච්චර ආස..

      අනිත් අතට ඔයා වගේ අම්මා කෙනක් ඉන්න එක පොඩ්ඩොන්ගෙ වාසනාව..මෙහේ ඉන්න අම්මලා තමන්ට ලස්සන පොඩි කාලයක් තිබුනත් තමන්ගේ පොඩ්ඩොන්ට ඒක දෙන්න බැරුව කොච්චර හිතෙන් දුක් විඳිනවා ඇද්ද?

      ස්තුතියි මියුරු අදහසට..

      Delete
  26. ඇත්තටම මට නම් හුගක් දුකයි, මේ පොඩි පැටව් ගැන. මගෙ පොඩි මුණුබුරු පැටියටත් මේ විදිහට ඉන්න වේවි. අපේ පුතාලට නම් මට වගේම නැති උනත් යම් තරමින් අනෙක් අයට වඩා ලමා කාලයක් තිබ්බා. ඒ නිසා දරුවො සංවේදීව හොඳට හැදුනා. ඒ ගැන මට සතුටුයි. පොඩි පැටියගෙ කාලෙ වෙනස්. එයාට දැන්මම තාත්තා පොඩි ට්වී ඉගැන්නුම් මාලවක් අරන්. මම හිනා උනා දැක්කම. එයා කියනවා බබාට අවුරුද්දෙ ඉදන්ම පාට ශබ්ද වචන ඇහෙන්න ඕනෙලු. ඔන්න තත්වෙ.

    ReplyDelete
    Replies
    1. මේ කියන තරඟකාරීත්වය කොහෙන් නවතීද කියලා හිතාගන්නවත් බෑ චාන්දි..ඒත් කාරණා කාරණා තේරෙන දෙමව්පියොත් රැල්ලට අහුවෙන එක ගැන දුකයි..

      Delete
  27. අද තත්වය නියමෙට කියලා තියෙනවා රූ..දුකයි ඒත් එහෙමයි..

    ReplyDelete
    Replies
    1. අපිම ඇති කරපු තත්වයක් නේද වෙනී..ඒක නිසා දුකයි කියලා විතරක් කියන්න අමාරුයි..

      Delete
  28. කවි පෙල පිලිබද කෙහෙල්කොටුවේ චුටි මහත්තයාගේ බලවත් ප්‍රිතිය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චූටි මහත්තයෝ!!

      Delete
  29. අපිත් පොඩි කාලේ නීල් ආම්ස්ට්‍රෝන් වෙන්න ගියාට ලොකු වෙද්දී ගගන ගාමී බෑග් එකේ පොත් ටික ඉස්කෝලේ හලලා එන්න පුරුදු වුණා. විශේෂයෙන්ම මගේ ඕ ලෙවල් කාලේ ගණන් අච්චු පොත් එකක්වත් ඉස්කෝලේ අරගෙන ආවේ නැහැ. ඒවා පරිස්සමට තිබුණා ගෙදර තියලා :P

    අපේ කොල්ලෝ සෙට් එක ටැමිල් ක්ලාස් එකකින් ගණන් පොතක් උස්සලා තිබුණා. එකෙන් තමා ගණන් ගොඩ දාගත්තේ.

    ඔය බෑග් හුටපටේ නිසා තමා නියමිත ප්‍රමිතියට තියෙන අවසර ලත් බෑග් නිෂ්පාදනයක් පහුගිය අවුරුද්දක් පටන් ගත්තේ. වැඩේ දැන් නම් හබක් මම හිතන විදිහට

    ReplyDelete
    Replies
    1. හික්ස් උසස් පෙළට පොත් ගේන හැටි මතක් වුනාම හිනාත් යනවා..

      බෑග් හුටපටේ ගැන නම් කියන්න තියෙන්නෙ හිසරදේට කොට්ටෙ මාරු කරන එකේ ඵලක් නෑ කියලා තමයි..
      ළමයින්ට පොත් ඉස්කෝලෙ තියලා එන්න විදිහක් හැදුවා නම් තමයි වටින්නෙ..

      Delete
  30. ඩූඩ් කිව්ව වගේ අතීත කාමය වෙන්න පුලුවන්.
    ඒත් මිනිස්සු එන්න එන්න නිදහස් වෙනව කියල කිව්වට හිර වේගනනෙ යන්නෙ..පොඩි ඈයොත් හිරකරල විතරක්ද ලෙඩ්ඩුත් කරල,පොලවෙ පයගහන්න බැරි පිරිසක්ද මේ නිර්මාණය වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. වීයා මතුකරලා තියන ප්‍රශ්නෙ අද ඉන්න අම්මලා තාත්තලා ගුරුවරුන්ට ටිකක් හරි ඔළුවට දාගන්න පුළුවන් නම් සමහර විට අනාගතේ මේ කතාවේ ලස්සන අවසානයක් දකින්න පුළුවන් වේවි..

      Delete