Thursday, January 19, 2012

කඳු කතා 1: කන ළඟින් කෝච්චිය යෑම..

පේරාදෙනිය සරසවි ජීවිතේ එහේ ඉගෙන ගත්ත කාටවත් අමතක නොවෙන දෙයක්. ලස්සන පරිසරය වගේම සීතල දේශගුණය අපි කාගෙත් හිත්වල නැවුම් බවක් ඇති කලා. රූගෙ සරසවි ජීවිතේ ලෙංගතු නවාතැනක් වුනේ සරසවි ගවේශකයන්ගේ ඇසුර. ගඟේ වම් ඉවුරෙ ඉගෙන ගත්තත් ලැබුනු හැම ඇසිල්ලකම රූ දුවගෙන ගිහිල්ලා නතර වුනේ දකුණු ඉවුරෙ තිබුනු ගවේශකයන්ගේ තිප්පලවල්වල. හැමෝම දන්න WUS වල, විද්‍යා පීඨෙ පඩිපෙල, පිට්ටනිය ඒවයින්  කීපයක්. හැම සති අන්තයකම කොහේ හරි කන්දක් බඩ ගෑවත් තාමත් රූට ගහක් කොළක් සතෙක් සිව්පාවෙක් අඳුර ගන්න නම් බෑ. (ඉදහිට කපුටෙක් වගේ සතෙක් කෑ ගැහුවොත් මිසක්). ඒත් මේ   කඳු බඩගෑම් වලින් රූ බලාපොරොත්තු වුනේ මිතුරු කම් හා ලංකාවෙ ලස්සන බලාගන්න එක විතරයි. ගවේශකයන් එක්ක තිබුන මේ ඇසුර නිසා තවත් බ්ලොග් එකක් ලියන්න තරම් කතා ගොඩක් අපේ මතක වල ඉතුරු වෙලා තියනවා කියලා දැනුනෙ මේ ළඟදි දවසක ඔවුන් එක්ක ඒකාත්මික වෙන්න අවස්ථාවක් ලැබුන නිසා. දැන් ගවේශක සංගමය කරගෙන යන නංගිලා මල්ලිලා කිහිප දෙනෙක් එක්ක ආපහු කතා කරන්න,හිනාවෙන්න ලැබුන නිසා රූ ගෙ හිත ආපහු අතීතයට ගියා.

මේ තමා ග්‍රේට් වෙස්ටන් කන්ද...පින්තූරෙ සොරාගත්තෙ ගවේශක සංගමේ මූනු පොතේ  ගෘප් එකෙන්.
අහන් නැතිව ගත්තත් චානක මල්ලි තරහ වෙන්නෑ නේද? 

           මීට අවුරුදු ගානකට කලින් දවසක ගවේශන සංගමේ අපි කීපදෙනෙක් (20-30ක් විතර) කැම්පස් එකේ WUS වලට (වල කියන්නෙ මේකෙ නාට්‍ය පුරුදු වෙන්න උත්සව තියන්න රැස්වීම් තියන්න පොඩි වේදිකාවක් හදලා තියන නිසා.) එකතු වුනේ රෑ 8ට විතර. ඒ නානුඔය පැත්තෙ තියන ග්‍රේට් වෙස්ටන් (Great Western) කන්ද නගින්න. රෑ 10ට සරසවි උයන ස්ටේශන් එකට එන බදුල්ල තැපැල් කෝච්චියෙ නැගලා අපි නානු ඔයෙන් බහිද්දි පාන්දර 3ට විතර ඇති. නානු ඔයෙන් ග්‍රේට් වෙස්ටර්න් කන්ද පාමුල තියන ග්‍රේට් වෙස්ටන් ස්ටේශන් යන්න තියන ඊළඟ කෝච්චිය එන්නෙ උදේ 7කුත් ගානට නිසා අපි හැමෝම ස්ටේසමේ ඉඩ තිබුන තැන්වල ඇල වුනේ සීතලෙන් ගැහි ගැහි. අපි ගෑනු ළමයි සේරම කාන්තා විවේකාගාරය කියලා කැඩිච්ච පුටු දෙකකුයි මේසයකුයි දාලා තියන කාමරේ ඇතුලට ගියා. කැඩිච්ච පුටු දෙකේ නිදා ගන්න බැරි නිසා. අපි තීරණය කලා මේසෙ උඩ නිදා ගන්න. ඊළඟ කෝච්චි වල ආව ගෑනු උදවිය ටොයිලට් යන්න රෙස්ට් රූම් එකට ඇවිත් අපි පහු කරගෙන යද්දි කම්මුලේ අතතියා ගත්ත කියලයි නින්ද ගියෙ නැති කස්ටිය කිව්වෙ.


කොහොමින් කොහොම හරි අපි වෙලාවට මූණ කට සෝදලා 7කුත් ගානට තියන කෝච්චිය එනකම් බලාන හිටියා. කවදාවත් නැතුව කෝච්චිය වෙලාවටම ආපු නිසා අපි අතරමං වෙයි කියල බයට දඩි බිඩි ගාලා කෝච්චියට නැගගත්තා. කෝච්චිය හූවක් එහෙම කියලා පිටත් වුනාමයි අපි හොයල බැලුවෙ කට්ටිය හරිද කියලා. පීඨ කීපයකින්ම කඳු බඩගාන්න කට්ටිය එන නිසා මග ඇරෙන්න තියන ඉඩ වැඩියි. කොහොමින් කොහොම හරි අපි ටිකවෙලාවකින් හොයාගත්තා දෙන්නෙක් අඩුයි කියලා. කැම්පස් එකේ රැග්වෙන උදවිය කතා කරන්නෙ කාඩ් එකෙන් නිසා මේ මග ඇරුන අයගෙ ඇත්ත නම් කවුරුත් දැනං හිටියෙ නෑ. බලං ගිහාම නැතිවෙලා තියෙන්නෙ කැසා යි ඔසාමයි. දැන් මොකෝ කරන්නෙ. අපේ කට්ටිය කෝච්ච්යෙ පෙට්ටි ගානෙ හොයනවා ඔසාමා කෝ කැසා කෝ කියලා. ඔය දවස් වල ඇෆ්ගනිස්තානෙ යුද්ධෙ ජයටම කෙරීගෙන යන කාලෙ. අපි රතු පාට ටී ෂර්ට් (සංගමේ ජ්‍යෙශ්ඨ සාමාජිකයින් ඇන්දෙ මෙරුන් පාට ටී ෂර්ට් එකක්) ඇඳගෙන ඔසාමා හොයනවා කියලා මුළු කෝච්චියම කලබල වුනා. ඇන්ටිලා කිහිපදෙනෙක් අපෙන් බයෙන් වගේ ඇහුවා මොකද වෙලා තියෙන්නෙ කියලත්. අපි සීන් එක විස්තර කලාම තමයි එයාලගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ. ඔය අතරෙ අපේ අය බෑග් රැක් වලයි එන්ජින් රූම් එකෙයි සමහරු කෝච්චියෙ දොරේ එල්ලිලා කෝච්චිය යටයි හැමතැනම ඔසාමයි කැසායි හෙව්වා. ඒත් උන්දෙන්නා කෝච්චියෙ හිටියෙ නෑ අපි ග්‍රේට් වෙස්ටර්න් ස්ටේසමේ බහින කොටත්.


ස්ටේසමෙන් බැස්ස ගමන් අපේ නඩේ ගුරා වෙච්ච අයියා ස්ටේශන් මාස්ටර්ට සිද්දිය කියලා උපදෙස් පැතුවා. ස්ටේශන් මාස්ටර් කාමරේට ගිහින් නානු ඔය ස්ටේසමේ නොම්බරේ කරකවලා ටෙලිපොන් කරන්න හදලා ඇහුවා මග ඇරුන දෙන්නගේ නම්. මල කෙළියයි! අපි කවුරුත් උන් දෙන්නගෙ ඇත්ත නම් දන්නෑ. ඒක කිව්වොත් මාස්ටර්ගෙන් බැනුම් අහනවා පලු යන්න. කොහොම හරි උන් දෙන්නාගෙ බැච් එකේ එකෙකුට නම මතක තිබිලා කිව්වාම අපිට දැන ගන්න ලැබුනා උන් දෙන්නා නානු ඔය ස්ටේසමේ බංකුවක නිදාන ඉදලා දැන් ඇහැරුනා කියලා.


හපොයි...උන්ට එන්න ඊළඟ කෝච්චිය තියෙන්නෙ පැය ගානකින් කියලත් ආරංචිය ආවාම අපිට හිනා. (හැබැයි අපි හැමෝටම එතකොටයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ)  ග්‍රේට් වෙස්ටර්න් ස්ටේසමේ ස්ටේෂන් මාස්ටර්ගෙ කුස්සියෙ ඉදන් අපි ගෙනාපු බඩු වලින් තේ හදලා ස්ටේසන් මාස්ටර්ටත් දීලා අපිත් තේ බීලා කන්ද නගින්න පිටත් වුනා. කන්ද නගින්න තියන පාර තියෙන්නෙ ආපහු නානු ඔය පැත්තට කිලොමීටර් දෙකක් විතර යද්දි. මේ ටික අපි යන්නෙ රේල් පාර දිගේ. සිල්පර කොටන් උඩින් පැන පැන අපි කන්ද නගින්න තියන පාර ගාවට එද්දි උදේ 9 ට විතර ඇති. එතකොට ඈත ඉදන් ජායාවක් වගේ දෙන්නෙක් එනවා පේනවා කෝච්චි පාර දිගේ. හිතාගන්න පුළුවන්නෙ කවුද කියලා. අපි ඉතින් හොඳ වචන වලින් සංග්‍රහ කරන්න මග රැකගෙන බලාගෙන හිටියා. පව්නෙ අතරමං වෙච්ච උන්නෙ! අන්තිමට අපි ළඟට එනකොට උන්ගෙ අතේ කැරට් මිටි!


උන්  දෙන්න ඇහැරවපු ගාඩ් උන්නැහේ  අපි ගියා කියලා කිව්වාම  මුන් දෙන්නා කෝච්චි පාරෙම මේ පැත්තට එන්න පිටත් වෙලා. උදේට මොකුත් කාලා තිබුනෙ නැති නිසා වටේ තිබුන කැරට් පාත්ති වලින් කැරට් ගලවගෙන කකා ඇවිල්ලා.


මුන් දෙන්න නිසා ලේ පුච්චගත්ත අපි ඇහුවෙ එකම එක ප්‍රශ්නයයි.


“උඹලා දෙන්නට කෝච්චියෙ සද්දෙ ඇහුන්නැත්තෙ මොකද? කොහෙද උඹලා නිදාගෙන හිටියෙ?“


“නෑ මචංලා අපි නිදාගෙන හිටියෙ කෝච්චිය පිටත් වුනු ප්ලැට්ෆෝම් එකේමයි. කෝචිචිය මිස් වෙයි කියලයි අපි එතනම නිදා ගත්තෙ“


කෝච්චිය අරහෙම හූ කියාගෙන ඇවිල්ලා හූ කියාගෙන යනකොටත් මුන් දෙන්න ගොබිලො වගේ ඒ ප්ලැට්ෆෝම් එකේම නිදාගෙන තියෙන්නෙ!!!
 මේ පින්තූරෙ නම් ඔසාමයි කැසයි දෙන්නම ඉන්නවා
 මොකද මේක ගත්තෙ කන්ද නැගලා බැස්සටත් පස්සෙ නිසා.

ඊට පස්සෙ වුනු දේවල් එක්කො ඕනෙ නෑ.

ප/ලි
මේ විශ්ව විද්‍යාලීය ගවේශන සංගමේ වෙබ් අඩවිය : http://www.peraexplorers.org/

33 comments:

  1. හැම සති අන්තයකම වගේ ගවේෂකයන්ගේ කණ්ඩායම යන ට්‍රිප් නම් මරු !!!
    මේ වගේ කතා සෙට් එකක් ලියමු අක්කා !!

    ReplyDelete
    Replies
    1. මල්ලිත් මේ ට්‍රිප් ගිහිල්ලා තියනවකද?

      Delete
  2. ඔය කැසා chemistry special කරපු කෙනෙක්ද, ඔසාමා geo හරිද?
    මේ අය මිලේනියම් batch එකේ නේද?

    ReplyDelete
    Replies
    1. මිලෙනියම් බැච් එකේ දෙන්නෙකුටත් මේ වැඩේ වෙලා තියනවද?

      Delete
  3. එළ එළ අපිත් සෙට් වෙලා ලෝකාන්තේ ගියා පයින් ඔහියෙන් බැහැලා...ඒක මතක් උනා..ඊට පස්සේ වෙච්ච ඒවා කියන්නේ නැද්ද...

    ReplyDelete
    Replies
    1. ඔහියෙ ඉදන් ලෝකාන්තෙට ගොඩක් දුරයි නේද?
      අපිත් කිරිගල්පොත්ත කන්ද නගින්න ඔහියෙන් බැහැලා CTB බාග බස්එකක ගියා.ඒ වුනාට ගමනෙන් බාගයක් කලේ බස් එක තල්ලු කරපු එක. හික්ස්
      ස්තුතිය් මේ පැත්තෙ ආවාට..

      Delete
  4. තව මේ වගේ කතා ලියමු අක්කේ... මොනවා උනත් අර දෙන්නට තිබිලා තියෙන්නේ හොද නින්දක්නේ...

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්
      ඊට පස්සෙ ගිය හැම ට්‍රිප් එකකදිම අපි උන්දෙන්නා ගැන විශේශයෙන් හොයලා බැළුවා..හික්ස්..

      Delete
  5. ප්‍රීතියෙන් ගත කරපු කාලයක් වගේ පේනවා. මරු දෙන්නෙක්නේ කන ලඟ කෝච්චි යනකල් නිදාගන්නේ. තාමත් එයාලා එහෙමද දන්නේ නෑ නේද? :D

    ReplyDelete
    Replies
    1. ම්...ම්..ඇත්තටම පොඩී..අද වුනත් ජීවත් වෙන්න පුළුවන් තරම් ආදරනීය මතක ටිකක් එකතු වෙලා තියනවා..මෙයාලා දැන්නම් එහෙම නිදා ගන්නැතුව ඇති මොකද වැදගත් තැන්වලනේ වැඩ කරන්නනේ..හික්ස්

      Delete
  6. හෆොයි පිස්සු කෝචිචියක් .. :)

    ReplyDelete
    Replies
    1. හිකස්..සහතික ඇත්ත...

      Delete
  7. මාත් ඔය ජාතියේ තමා :)

    ReplyDelete
    Replies
    1. ඒ කතා ටිකක් කියවමුකෝ සබිත් අපිටත් හිනා වෙන්න පුළුවන්..

      Delete
  8. අනේ ඊටපස්සේ උණු දේවලුත් ඕනා :/

    ReplyDelete
    Replies
    1. !@#@#@$බීප්..$@$බීප්..
      ඔය වගේ දන්න ලස්සන වචන ඔක්කොම වලින් උන්දෙන්නව බයිට් කර කර..ඊළඟ හයික් සීසන් එක ඉවරවෙනකනුත් බයිට් කර කර තමා අපි එයාලට සැලකුවේ..

      Delete
  9. Replies
    1. සිද්දිය ලයිව් දකින එකත් ඒ වගේමයි..

      Delete
  10. මං එක්ප්ලෝලර්ස් එකට සෙට් වුනේ තුන්වෙන වසරේ අග හරියේ විතර. ඊලඟ අවුරුද්දේ අසුපිනි ඇල්ල සහ අලගල්ල ගිය ගමන් මට තාම මතකයි.

    වසර අවසානයේ සර්වරාත්‍රීක කෑම්ප් එකක් තිබ්බා දුම්බර!

    මතකයන් අවදිකළාට ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. ගවේශන සංගමේ වැඩ කරන්න නම් ඔබට වෙලාව නැතිවෙන්න ඇති කියලා මට නම් කල්පනා වුනා කලා කවයෙ ඉද්දි කතන්දර කරපු වැඩ දැකලා..!!
      දුම්බර කදු වැටිය තරණය කරන්න ගමන මමත් ගියා අපි පලමු වසර අග ඉද්දි..ඒවයෙත් ලස්සන මතක ඉස්සරහට බෙදා ගන්නම්..

      Delete
  11. අනේ කියවද්දි ආසාවේ බෑ අප්පා අර ඩබල පුදුම නිදිකුම්බර දෙන්නෙක් හි හි හොඳට සප්පායම් වෙලා ඉන්නැති මයෙ හිතේ....මැවිලා පෙනුනා දෙන්නෙක් කැරට් කකා රේල් පාරේ එන හැටි...තව ලස්සන අත්දැකීම් දාමු අක්කේ කැම්පස් නොගිය අයට ඒ අත්දැකීම් බෙදලා දෙන්න

    ReplyDelete
    Replies
    1. හික්ස්..අනිවා තවත් කතා බෙදාගන්නම්..ඒත් කැම්පස් නොගියා කියලා ඒක අඩුපාඩුවක් කියලා හිතන්නනම් එපා

      Delete
  12. උපරිමයි.තවම ඔහොම ගමනක් යන්න බැරිවුනා. හැබැයි මෙන්න මෙහෙම ගමනක්නම් අපි ගියා.
    http://locolanka.blogspot.com/2012/02/blog-post.html

    ReplyDelete
    Replies
    1. ග්‍රේට් වෙස්ටර්න් මම ආසම දුම්රිය ස්ථානයක් මාරම ලස්සනයි...
      ඔයාගෙ සටහනත් ඒ දවස්වලම කියෙව්වා..
      ස්තුතියි චන්දික මේ පැත්තෙ ආවාට..

      Delete
  13. ෂාහ් මේ වගේ නම් adventure hikes උපරිමයි. scouting කරන කාලේ නම් මේ වගේ ගමන් යන්න පුලුවන් වුණාට කාලෙකින් නම් එහෙම ගමනක් යන්න වුනේ නැහැ :(

    ReplyDelete
    Replies
    1. මම නම් ඇතිතරං මේ වගේ හයික් ගිහිල්ලා තියනවා..දැන්නම් ආයෙත් යන්න පුළුවන් වෙයි කියලා හිතන්න බෑ දැන් ඉතින් වයසක උදවියනේ..

      Delete
  14. අනේ බං මම ඔසාමාවත් කැසාවත් නෙමෙයි. ඒත් දවුල්, බෙර දාහක් හඩවලා සක් දාහක් පිම්බත් මටත් ඕනම පිහිතලයක් උඩ හරි නිදාගන්න පුළුවන්. පේරා ගැන කියනකොට, එක සැරයක් ඔය ගැටඹේ පිට්ටනියේ තිබ්බ නාමල්=රූකාන්ත කොකාකෝලා මහා සංගීත රාත්‍රියේ, ඉස්සරහම පුටුවක්උඩ (අමුවෙන්ම).........

    ReplyDelete
    Replies
    1. හපොයි දෙයියනේ.මම මේ කල්පනා කරන්නෙ අනේ මේ රූකාන්තයි නාමලුයි තාම සින්දු කියනවනෙ මෙහෙම ප්‍රතිචාර ලැබිලත්..මම නම් සින්දු කියන එක අතෑරලා ගෙදර ගිහිල්ලා පාන් කාලක් කාලා නිදා ගන්නවා..

      Delete
  15. අන්න ජීවිතය විඳපු කශ්ටිය!!
    henryblogwalker the Dude

    ReplyDelete
  16. වාව්...! Explorers' Club එකේ පරණ කතා... නියමයි නියමයි...!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..මේ පැත්තෙ ආවාට
      ඇයි ඔයත් ලියන්නැත්තෙ ඒ ගැන..
      කටුසු කොන්දෙ පින්තූරයක් නේද ප්‍රොෆයිල් පික්චර් එක..

      Delete