Wednesday, October 5, 2011

නංගි බැහැගන්නවද?

මේ පළවෙනිදා ඉදලා සීට් බෙල්ට් අනිවාර්යයි කියලා නීතිය ආපු එක ගැන තිබුන පෝස්ටුවක තිබුනා මහජනතාවගේ ආරක්ශාව ගැන ඔච්චරටම වද වෙනවනම් බස්වල ෆුට් බෝඩ් එල්ලිලා යන මිනිස්සුන්ටත් මොනවා හරි පිළියමක් යොදන්න කියලා. ඒ එක්කම කියවුනු තවත් අදහසක් තමයි මේ නීතිය ගොඩක් රටවල්වල ක්‍රියාත්මක වෙනවා කියන එක.
ඒත් ඉතින් ඔය සීට් බෙල්ට් අනිවාර්ය ගොඩක් රටවල්වල බස්වල යන මිනිස්සු ෆුට්බෝඩ්වල යන්නෙත් නෑනෙ කියලා මට මතක් වුනේ තවත් පෝස්ටුවක් ලියන්න පරණ මතක අවුස්සද්දි.
ලංකාවෙ බස්වල ගමන් කරන ජනයා වෙනම උප සංස්කෘතියකට අයිති වෙනවා. ඉතින් මේ බස්වල සිද්ධවෙන දේවල් ගොඩක් රසවත් වෙන්නෙත් (තිත්ත වෙන්නෙත්) ඔය සාංස්කෘතික ලක්ෂන නිසා කියලයි රූට නම් හිතෙන්නෙ. (මේ දවස්වල රූ මහත්තයා යන CTB බස් එකේ සීට් වලට අයිති කාරයෝ ඉන්නවලු. ඒක නිසා අළුත් කෙනෙක් ඇවිත් වෙන් කරපු ආසනේක වාඩිවුනොත් සොරිලු.මේ වගේ බස්වල යන නිසාම උරුම කරුම වෙන ලක්ෂන ගොඩයි.)


ඉතින් මේ ලෑස්තිවෙන්නෙ ශ්‍රී ලාංකික අපටම ආවේණික වෙච්ච බස් උප-සංස්කෘතියේ ලස්සන දේවල් ටිකක් බෙදා ගන්න.



කතා අංක 1:
ඔන්න දවසක් මම යාළුවෙකුගෙ ගෙදර යන්න බස් එකක් එනකම් බලාන ඉන්නවා. කොළඹ අවට වුනත් ඒ පැත්තට යන්න ගොඩක් බස් නෑ. ඉතින් මේ වගේ බස්වලට නගින ගොඩක් අය ගමනාන්තයට ළංවෙලා බහින අය. මම නගිද්දි බස් එක කොටුවෙන් අද්දලා ටික දුරක් ඇවිල්ලා තිබුනු නිසා ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ තිබුනෙ නෑ. ඒත් ඒ පැත්තට යන බස් වලම වැඩ කරලා කොන්දොස්තර අයියට සාඩින් පැක් කිරිල්ල ගැන තිබුනු මනා පළපුරුද්දක් පාවිච්චි කරලා මාවත් බස් එකට නංග ගත්තා .(ඔබා ගත්තා කිවුවොත් හරි)
යාළුවගේ ගෙදර ඊට කලින් ගිහිල්ලා තිබුනත් මට බහින තැන එච්චර ශුවර් නෑ. ගොඩක් හවස් වෙලා තිබුන නිසා මට සෑහෙන්න විශ්වාසයි මම බෙල් කරලා බැස්සොත් කිලෝමීටර් ගානක් පයින් එන්න වෙනවා කියලා. මේ ඔක්කොම කල්පනා කරගෙන එනකොට බස්එකේ සෙනඟ සෑහෙන්න අඩුවෙලා මටත් වාඩිවෙන්න ලැබිලයි තිබුනෙ. කොන්දොස්තරත් හැමදාම එන අයත් එක්ක හොඳ කාථාවකට සෙට් වෙලා හිටියෙ.
කථාවට මැදින් පනින්න ගිහින් බැනුම් අහන්න වෙයිද කියලා දන්නෙ නැතිව මමත් නැගිටලා ගිහිල්ලා හෙමින් සැරේ ඇහුවා.
“අයියෙ, මාව එකේ කණුව ගාවින් බස්සනවද කියලා?“
කොන්දොස්තර කරකර හිටිය කථාව නවත්තලා මං දිහා නෝන්ඩියට බලලා මුළු බස් එකටම ඇහෙන්න කියපි
“අනේ නංගි, තරහා වෙන්න නම් එපා. මම ඩ්රයිවර්ට කියලා බස් එක නතර කරලා දෙන්නම්. ඔයා තනියම බැහැගන්නවද?“


(හොඳ වෙලාවට එකේ කණුව තිබුනෙ ඊළඟ හෝල්ට් එකේ. අහපු මෝඩකම කියලා මම තනියම බැහැගත්තා).


කථා අංක 2

බස් වල නිදාගන්න පුරුද්ද අපි ගොඩක් අයට තියනවා. අපේ මල්ලි නම් කියන්නෙ එයාට බස් එකක් හෝල්ට් එකේ නවත්තලා තියනවා දැක්කත් නිදිමත එනවා කියලා.මේ සිද්දිය වුනේ අපි කස්ටිය කන්ද පාමුල සරසවියෙ ඉගෙන ගන්න කාලෙදි.
අපි final year project එක කරන කාලෙ අපේ යාළුවෙක්  එයාගෙ project එක supervisor කරන මැඩම් එක්ක  උදේම නුවර ටවුන් එකට ගියා විස්තර වගයක් එකතු කරගෙන එන්න. කොහොම හරි අපිත් යාළුවොත් එක්ක ලැබ් එකේ වැඩ කරකර ඉද්දි හවස් වෙලා මැඩම් එනවා ටිකක් කලබල වෙලා. අපි මොකද කියලා ඇහුවම මැඩම් කියනවා.
“මාර වැඩේ රූ, මම ඔයාලගේ යාළුවත් එක්ක ගම්පල බස් එකට නැංගා. සෙනඟ ගොඩක් නිසා මට එයාව මඟ ඇරුනා. කමක් නෑ හොල්ට් එකෙන් බහියිනෙ හිතලා මමත් එයාව බලන්නෙ නැතිව ඉක්මනට හෝල්ට් එකෙන් බැස්සා. ඒත් මනුස්සයා බැස්සෙ නෑනෙ. කලින් බහින කථාවක් කිවුවෙත් නෑ.,“


“අපි කෝල් කරලා බලමු මැඩම්“ කියලා අපි හෑන්ඩ් ෆෝන් එකට ට්‍රයි කරනවා.


ප්‍රතිචාරයක්වත් චාරයක්වත් නෑ. පැය බාගයක් විතර ගියා ඒත් මනුස්සයා නෑ. අපි ඉතින් හොස්ටල් එකෙයි කැන්ටින් වලයි හොයනවා ඒත් නෑ. මැඩමුත් බයවෙලා මොකද ගෑනු ළමයෙක්නේ කරදරයක්ද දන්නෑ කියලා.
මෙන්න පැය එකහමාරකට විතර පස්සෙ මනුස්සයා වැනිවැනි ඇවිත් අපිට කියනවා.
“මාර වැඩේ, මට හොඳටම නින්ද ගියානෙ. ගම්පලදි තමා කොන්දොස්තර කථා කරලා ඇහැරුවේ කියලා.“
මේ වගේ නින්ද යෑමේ පුරුද්ද නිසා ගමනාන්ත දෙක අතර කිහිප වාරයක් දෝලනය වුනු යාළුවො කීපදෙනෙක් මට ඉන්නවා.


කථා අංක 3
ගිය සතියෙ දවසක ටිකක් දුර පළාතක සයිට් එකකට යන්න වුනා. සයිට් එකේ වැඩ තාම ඉවර නැති නිසා මාත් එක්ක ගියපු අය නැවතුනා. හැමෝම එකට සබන් නැතිව නාගන්න ඕනි නැති නිසා එයාලට නාගන්න කියලා මම හවස් වෙලා කොළඹ එන්න බස් එකක නැංගා. වාඩිවෙන්න ඉඩ තිබුනු නැති නිසා මම හිටියෙ රියදුරුගෙ පැත්තට වෙන්න හිට ගෙන. ටික වෙලාවක් යද්දි මෙන්න එහාපැත්තෙ වාහන යන මංතීරුව පේන්නැතිව ගියා. 
බස් එක කොළඹට එනකම්ම වම් පැත්තෙන් ආවෙ අනිත් පැත්තෙන් වාහනයක් ආවාමම විතරයි. මට තේරුන විදිහට මේ CTB රියදුරු මහත්තයා දකුණු පැත්තෙන් වාහන එලවන රටක වැඩකරපු කෙනෙක් වගේ. කොහොම හරි මහත්තයෙක් ඉදිරිපත් වෙලා මට සීට් එකක් දුන්න නිසා මමත් හොඳටම නිදා ගත්තා (නැත්නම් පැය 4-5ක් රියදුරු දෑතට දෙවි පිහිටයි කියලා මතුර මතුර ඉන්නයි වෙන්නෙ)
“දඩා..ස්“ කියලා සද්දෙකුත් එක්ක සැර බ්‍රේක් පාරක් වැදුන නිසා මම ඔළුව ඉස්සුවෙ මොන පොලිසිය ගාවටද යන්න ඕනි කියලා බලන්න. 
දෙවියන්ගේ පිහිටෙන් accident එකක් වෙලා නෑ. බස් එක ඇතුලේ ගෑනු මනුස්සයෙක් වැටිලා. එයාගෙ ඇඟ උඩ එයාගෙ පුතා. ලොරියක් ඉස්සර කරන්න ගිහිල්ලා වැරදුනු පාරට රියදුරු මහත්තයා බ්‍රේක් කරලා. පිටිපස්ස සීට් එකේ හිටපු අය අඩි ගානක් බස් එකේ ඉස්සරහට ලිස්සලා ඇවිත්.
කොහොම හරි බස්එකේ කට්ටිය එකතුවෙලා වැටුනු අයට උදව් කලා.
මේක දැක්ක මට හොඳ නැති වුනත් හිනා ගියෙ මගේ යාළුවෙක් කියපු කථාවක් මතක් වෙලා.


“මම දවසක් TATA  දිග බස් එකේ පිටිපස්සෙ සීට් එකේ වාඩි වෙන්න හම්බවුනා.  බස් එකේ හිටගෙන කවුරුත් හිටියෙ නෑ. එකපාරටම වැදුන හොඳ බ්‍රේක් පාරට මම වීසි වෙලා ගිහිල්ලා නැවතුනේ ඩ්ර්යිවර්ගේ සීට් එක ගාව. නිකම් ගියපු එකේ නිකම් එන්න හොඳ නැති නිසා ඩ්ර්යිවර්ට හොඳ දෙකක් කථා කරලා හොඳ කුණුහරපයක් කියලත් ආවෙ.“


ප.ලි.
මේ කථා ටික අකුරු කරන්න හිතුවෙ ලංකාවෙ ප්‍රවාහන සේවය ගැන කවුරුත් පැහැදීමකින් කථා කරන්නැති නිසා. තත්ත්ව කළමනාකරනය හැම තැනකම තිබුනත් අඩුම ගානෙ බස් සේවකයින්ට නිල ඇඳුමක්වත් හරියට නෑ. බොහෝ කළමනාකරණ විෂයන්වල කියැවෙන අභිප්‍රේරණය (Motivation) , පාරිභොගික සැලකිල්ල (customer care), මුදල් කළමනාකරනය වගේ දේවල් මෙයාලා අහලවත් නෑ. කොච්චර පරණ ක්ෂේත්‍රයක් වුනත් අයිතිකාරයො තට්ටු පිට තට්ටු ගෙවල් ගැහුවත් මේ බස් සේවාව තාමත් තියෙන්නෙ ගෘහාශ්‍රිත කර්මාන්ත මට්ටමේ. ව්‍යාපාර කළමණාකරනය මේ  අයට ග්‍රීක් වගේ. මොන ලාභ ලබන ව්‍යාපාරයක් වුනත් තමන්ගෙ පාරිභොගිකයන්ට සලකන්නෙ රජෙකුට වගේ. නමුත් මේ සේවාවෙ පාරිභොගිකයො මග ඉන්න කෑලි බවට පත්වෙලා.


මේ යන විදිහ වෙනස් කරන්න පුළුවන් විදිහක් තියනවද?

10 comments:

  1. බස් කතා නම් එමටයි :D

    ReplyDelete
  2. හික්... :D . පළවෙනි කතාව මරු. කොන්දා ඈත්තනේ කියලා තියෙන්නේ. සීට් බෙල්ට් අනිවාර්ය 1 නම් හොදයි. හැබැයි ට්‍රැපික් මහත්තුරුන්ට තමා වාසි. මොන හරකද 3000ක් දෙන්නේ. 500න් ෂේප් වෙන්නේ නැතුව.

    ReplyDelete
  3. නියමයි අක්කේ කතා ටික.... මරු....

    බොරු කියන්නේ නැතුව කියන්න එදා ඔයාගේ ඔලුවත් වැදුන නේද දඩස් ගාලා...

    ReplyDelete
  4. හික්ස්!කියනවනම් මටත් කතා තියනවා එමට..මාත් දැකල තියනව අක්කලා ‍ෆ්‍රී රයිඩ් එකක් යනව පිටිපස්සේම සීට් එකේ ඉඳන් මැදක් හරියට :)

    ReplyDelete
  5. මේ කතා ටික කියෙව්වම මටත් කතාවක් කියන්න හිතුනා.
    අපේ යාළුවෙක් දවසක් අනුරාධපුර බස් එහෙක කුරුනෑගල යනවලු. එතකොට එහා පැත්තේ හිටපු එකා කිව්වලු "මාව කුරුනෑගල හරියට ආවම ඇහැරවන්න." කියලා. ඕක කියලා ටික වෙලාවකින් ආයෙම ඒකම කිව්වලු.

    ඊට පස්සේ ටිකක් නිදාගෙන ආයෙම අරහෙම ඇහැරවන්න කිව්වලු. තව ටිකක් නිදාගෙන ආයෙත් පරණ වාක්කියම කිව්වලු.

    මූටත් බැරිම තන "අයියා අදමද කුරුනෑගල යන්නේ ?" කියලා ඇහුවලු.
    "නෑ මල්ලි මම් හැමදාම කුරුනෑගල වැඩට යන්නේ. බස් එකේදි හැමදාම නින්ද ගිහින් ඇහැරෙන්නේ ගල්ගමුව දිහෑවේ.ආයේ කුරුනෑගල බස් එහෙක එන්න වෙනවා." කියලා කිව්වලු.

    ප.ලි. - ඔයත් කන්ද පාමුල කැම්පස් එකේද. මාත් ඒකෙමයි. අඳුනා ගන්න ලැබීම සතුටක්. දිගටම එන්නම්.

    ReplyDelete
  6. @..ChAnDiKa..
    හ්ම්..ඒකනේ කියන්නේ

    @KC
    මමත් හිතන්නේ මේක පොලිසියට ගාන කඩාගන්න කරපු වැඩක් වගේ කියලා

    @මාළුවෝ,
    ෂ්..ෂ්..ෂ්ෂ්ෂ්...කට කට

    @Sabatha
    ඔයා එදැ බස්එකේ හිටියෙ නෑ නේද?

    @මධුරංග
    තැන්කූ වේවා ආවාට
    ඔයාගෙ කථාව නම් මරු
    මම නම් ඔයපැත්තේ නිතරම එනවා.

    ReplyDelete
  7. රූ සිරි බලන්න අදයි ආවෙ. ලස්සන කතා ටික.
    මැණික්

    ReplyDelete
  8. හපොයි ටාටා බස් එකේ කථාවටනම් බකස් ගාලා හිනා ගියා...
    මට මැවිලා පෙනුනා ඒක...
    ඊට හපන් "නිකන් ගිය එකේ දෙකක් කියලත් ආවා" එක...
    හනේ ඇත්තටම උප සංස්කෘතියක්ම තමා...
    මරු කථා අහුර...

    ReplyDelete
  9. @මැණික්,
    තැන්කූ වේවා මේ පැත්තේ ආවාට

    @තිස්ස,
    තැන්කූ තැන්කූ..වැලි කතරේ නම් මොන බස්ද නේද?

    ReplyDelete
  10. මටත් ඔය බස්වල නින්ද යන ලෙඩේ සැරටම තියෙනවා.lectures වලදිත් මට නින්ද යනවා. ඕන් ජීවිතේ :((

    ReplyDelete