පළමු කොටසට
පසුගිය කොටසින් ග්ලෝරියාගේ අම්මා රොබීව පන්නන්න කුමන්ත්‍රණ කලා අපි දැක්කා. ඒත් ග්ලෝරියාගේ තාත්තා වූ වෙස්ටන් මහතා නම් ඒ ගැන වැඩි එකඟතාවයක් පල කලේ නැහැ. අද එතැන් සිට..
තමන්ගේ උත්සාහය ව්‍යර්ත වූ තැන මිසිස් වෙස්ටන් ආපසු වෙස්ටන් මහතා සමඟ මේ ගැන කතා කිරීමට මඟක් පාදා ගැනීමට නැවත උත්සාහ කලාය. ඇගේ උත්සාහය සාර්ථක වූයේ දෙදවසක් ගතවූ තැන නානකාමරයේ දොර අසලදීය. වෙස්ටන් මහතා දොර ගාවින් මතුවද්දී මිසිස් වෙස්ටන් නැවත තම හඬ අවදි කලාය.
“ඔයාට මම කියන දේ අහන්නම වෙනවා ජෝජ්. මේ දවස්වල වටේ පිටේ අය නරක ආරංචියක් ගෙනියනවා“
“නරක ආරංචියක්? මොකක් ගැනද?“
වෙස්ටන් මහතා ඇසුවේය. එහෙත් උත්තරය ලැබීමට පෙර ඔහු වතුර පහරකින් මුහුණ තෙමාගත්තෙන් උත්තරය නෑසී ගියේය. එහෙත් මිසිස් වෙස්ට් පසු නොබැස්සාය. වෙස්ටන් මහතාගේ අවධානය නැවත ලැබුනු විගස ඈ උත්තර බැන්දාය.
“රොබී ගැන“
තුවායෙන් මුහුණ පිසදාගත් වෙස්ටන් මහතා නාන කාමරයෙන් පිටතට ආවේ කෝපයෙන් රතුවූ මුහුණින් යුතුවය.
“මොන පිස්සුවක්ද ඔයා මේ දොඩවන්නෙ?“
“මේක එන්න එන්නම වැඩිවෙනවා ජෝජ්. මම ඒත් ගණන් නොගෙන ඉන්නයි බැලුවෙ එත් දැන් මට ඉවසලා ඇති වෙලා. අහල පහල ගොඩක් අය රොබී අනතුරුදායකයි කියලයි හිතන් ඉන්නෙ. ඒක නිසා එයාලගෙ ළමයි රොබී ළඟටවත් එන්න දෙන්නෙ නෑ.“
“ඒත් අපි අපේ ළමයා එයාට බාර දීලා තියෙන්නෙ.“
“එත් ඔයා දන්නවනේ මිනිස්සු මේවගේ දේවල් දිහා බලන හැටි ඒ නිසා“
“එහෙනම් එයාලට ඕන කුදයක් ගහගන්න කියන්න!“
“එහෙම කියලා ප්‍රශ්න විසඳන්න බෑනෙ ජෝජ්. අපිත් එයාලත් එක්ක ජීවත් වෙන්න ඕනි. මට සුපර් මාකට් එකට ගිහින් නිදහසේ ෂොපින් කරන්න ඕන. අනිත් එක නගරේ මේ දවස්වල රොබෝලා ගැන තියෙන්නෙ හොඳ ආකල්පයක් නෙවි. ඔයා දන්නවද නිව්යෝක් වල පනතක් පාස් කරලා තියනවා දවල් කාලේ රොබෝලා පාරවල් වලින් ඈත් කරලා තියන්න“
“හරි. ඒත් එයාලට බෑනෙ අපේ රොබෝව අපේ ගෙදරින් එළවන්න.- ග්‍රේස් මේක ඔයාගේ කුමන්ත්‍රණයක් කියලා මම නොදන්නවයි කියලා හිතනවද? ඒත් වැඩක් නෑ මම තාම කැමති නෑ. අපි රොබීව අයින් කරන්නෑ. මම කිව්වොත් කිව්වා ඔන්න“
**********************
එහෙත් ජෝජ් වෙස්ටන් තමන්ගේ බිරිඳට බොහෝ සේ ආදරය කල බව මම පෙරත් කීවා ඔබට මතක ඇතැයි සිතමි. වඩා නරකම දෙය වූයේ ග්‍රේස් වෙස්ටන් මේ බව දැන සිටීමයි. අවසාන වශයෙන් ගත් කල ඔහු ද අනෙක් බොහෝ ස්වාමි පුරුශයන් මෙන් අසරණ විය.මායම් හැට හතර තවත් හැට හතරකින්ම වැඩි කර එවා මනා සේ යෙදවීමෙන් තමන්ගේ අදහස මුදුන් පත් කරවා ගැනීමට ඔහුගේ බිරිඳ වගබලා ගත්තාය. “අපි රොබීව තියාගන්නවා ඒත තමයි අන්තිම උත්තරේ!“
ඊළඟ සතියේ ජෝජ් වෙස්ටන්ට මෙම කතාව දහසැරයක් කීමට සිදුවු අතර යටි ගිරියෙන් කෑ ගැසීම අන්තිම වටය දක්වා ඒමේදී කෙඳිරිල්ලක් බවට පත්ව තිබූ බව කණගාටුවෙන් යුතුව කිව යුතුමය.
අවසන වෙස්ටන් මහතා ඉතා අකමැත්තෙන් ග්ලෝරියා වෙත පැමිණ “ලස්සන“ විසිවොක්ස් එකක් (සිනමා විත්‍රපටයක් ) බැලීමට යෑමට යෝජනා කැර සිටියේය. ග්ලෝරියා සතුටින් අත්පුඩි ගැසුවාය.
“රොබීටත් යන්න පුළුවන්ද?“
“බෑ වස්තුවේ“ වේදනාවෙන් යුතුව පැවසූ වෙස්ටන් මහතා.
“ එයාලා රෙබෝලව ඇතුලට ගන්නෙ නෑනෙ ඒත් ඔයා ගෙදර ආවාම ඔක්කොම එයාට කියන්න“
පැකිලීමෙන් යුතුව අවසන් වචන එකතු කලේය. ඔහුට තමන්ගේ දියණිය ගේ ප්‍රීතිමත් දෑස දෙස කෙලින් බැලිය හැකි වූයේ නැත. විසිවොක්ස් එක බැලීමෙන් අනතුරුව ග්ලෝරියා පැමිණියේ සතුටින් ඉපිලෙමිනි. ඇත්ත වශයෙන්ම විසිවොක්ස් එක සතුටුදායක අත්දැකීමක වී තිබිණි.
පියා ජෙට් කාරය ගරාජය තුල නවත්වන තුරු ග්ලෝරියා නොයිවසිල්ලෙන් බලා සිටියාය.
“බලන්නකෝ ඩැඩී, රොබී මේකට හැම එකටම වඩා කැමතිවෙයි. මට ඉවසිල්ලක් නෑ එයාට ඔක්කොම කියනකම්. අර ෆ්‍රැන්සිස් ෆ්‍රෑන් හිමින් සීරුවේ කිට්ටු කරලා ලෙපඩ් මෑන් ඉස්සරහටම පනිනකොට එයාට දුවන් ඉඩ නැතිවෙච්ච එක.“ ඇය නැවතත් සිනාසුනාය.
“ඩැඩී, ඇත්තටම හඳේ ලෙපඩ් මෑන්ලා ඉන්නවද?“
“මම හිතන්නෑ වස්තුවේ“ වෙස්ටන් මහතා උත්තර දුන්නද සිටියේ වෙන කල්පනාවකය.
“ඒක අපිව රවට්ටන්න විහිළුවට හදපු එකක්“
කොපමණ ගරාජය තුල පරක්කු වූවද අවසානයේදී සත්‍යයට මුහුණ දිය යුතු බව වෙස්ටන් මහතා අකමැත්තෙන් සිහිකලේය. තණ තීරුව දිගේ දිවගිය ග්ලෝරියා රොබීට අඬ ගැසුවාය.
“රොබී..රොබී..“
ඈ එක් වරම නැවතුනේ ලස්සන කෝලී බල්ලෙකුගේ ජායාව දැකීමෙනි. ග්ලෝරියා දුටු ඌ සතුටින් නගුට වනමින් ඈ පිළිගත්තේය.
“ෂා..ලස්සන බල්ලෙක්නෙ“ පඩිපෙල නැග ඌ වෙත ආ ග්ලෝරියා උගේ හිස අතගා සුරතල් කලාය.
“මෙයා මගේද ඩැඩී?“
“ඔව් වස්තුවේ ඌ ඔයාගේ තමයි. බලන්නෙකා උගේ සිනිඳු ලෝම දිහා. ඌ හරිම හොඳයි. ගෑනු ළමයන්ට හරි කැමතියි“
ග්ලෝරියාගේ මව පිළින දුන්නේ නිවසේ සිට එළියට එමිනි.
“එයාට සෙල්ලම් කරන්නත් පුළුවන්ද?“
“ඔව්. මොකද බැරි? එයාට ගොඩක් දේවල් පුළුවන් ඔයා බලන්න කැමතිද?“
“ෂා මාරයිනේ අපි දැන්මම බලමු. පොඩ්ඩක් ඉන්න රොබීත් කැමතිවෙයි.
රොබී...රොබී..“
ග්ලෝරියා අවිශ්වාසයෙන් යුතුව කෑ ගෑවාය. තරහින් මුහුන කළු කරගත් ඈ මෙසේ කීවේ පියා දෙසට සිඟිති ඇඟිල්ල දික්කරමිනි.
“ මම දන්නවා ශුවර් එකට රොබී මාත් එක්ක තරහා ගිහින් කාමරේ ඇති. එයාව විසිවොක්ස් එකට එක්කං ගියේ නෑනෙ. තාත්තෙ ඔන්න මම නම් දන්නෑ. ඔයාට තමයි එයාට තේරුම් කරලා දෙන්න වෙන්නෙ. එයා මම කියන අහන්නෑ. ඔයා කිව්වොත් නම් හරි තමයි. “
වෙස්ටන් මහතා ගේ දෙතොල් තද විය. ඔහු බිරිඳ දෙස බැලූවද ඈ ඉවත බලා ගත්තාය. ග්ලෝරියා ආපහු හැරී ඉක්මනින් යට තට්ටුව වෙත පිය නැගුවේ කෑ ගසමිනි.
“රොබී..අනේ එන්නකෝ ඇවිත් බලන්න මමීයි ඩැඩීයි මොනවද මට ගෙනත් තියෙන්නෙ කියලා. එයාලා මට බල්ලෙක් ගෙන්නලා රොබී“
ඊළඟ මිනිත්තුවේදී ඈ ආපසු ආවේ බියමුසු දෑසකිනි.
“මමා රොබී කාමරේ නෑනේ. එයා කොහෙද ගියේ? “
ඈට උත්තර කාගෙන්වත් ලැබුනේ නැත. ජෝජ් වෙස්ටන් හදිසියේ ආ කැස්සක් නිසා ඈත තියන වලාකුලක් දෙස අරමුණකින් තොරව බලා සිටින්නට විය. ග්ලෝරයාගේ ස්වරය හැඬුමට ආසන්න වී තිබුනි.
“මමා රොබී කොහේද?“
මිසිස් වෙස්ටන් ග්ලෝරියාගේ මුහුණ තම මුහුණ හා එක මට්ටමට සිටින තෙක් වාඩි වී ඇගේ ඔළුව පිරිමැද්දාය.
“තරහා වෙන්න එපා ග්ලෝරියා. රොබී යන්න ගිහින් මම හිතන්නෙ“
“යන්න ගිහින් ? කොහෙද? එයා කොහෙද ගියේ මමී?“
“කවුරුත් දන්නෙ නෑ වස්තුවේ. එයා නිකංම යන්න ගිහින්. අපි එයාව හෙව්වා හෙව්වා එත් හම්බ වුනේ නෑ“
“ඔයා කියන්නෙ ආයෙත් එයා එන එකක් නෑ කියලද? “ ඇගේ ඇස් බියෙන් පිරී තිබිණි.
“අපිට සමහර විට එයාව ඉක්මනට හොයාගන්න පුළුවන් වේවි. අපි එයාව දිගටම හොයමු. ඒත් එතකං ඔයාට මේ ලස්සන බව්වා එක්ක සෙල්ලම් කරන්න පුළුවන්නේ. බලන්නකෝ එයා දිහා. එයාගේ නම විජ්ජු. එයාට-“
එහෙත් ග්ලෝරියාගේ දෑස් කඳුලින් පිරී තිබිණි.
“මට මේ කැත බල්ලා ඕනි නෑ. මට රොබීවයි ඕන. අනේ මට රොබීව හොයලා දෙන්න“
ඇගේ සිතුවිලි වචන වලට හරවන්න බැරිතරම් ගැඹුරු වූ බැවින් ඈ ඉකිගසමින් වැලපෙන්නට වූවාය.
ඊළඟට මොකද වුනේ? මිසිස් වෙස්ටන් මොකද කරන්නෙ? අපි ඊළඟ කොටසින් බලමු.
පින්තූරය : http://robotics.youngester.com/2011_12_08_archive.html







