Monday, July 30, 2012

පුස් තකා 5: සමුගැන්ම..

     තමාට වැදගත් වූ තැන්වලදී පා සටහන් සදාකාලිකවම තබා යෑමට මිනිසාට බැරි ඇයි?
         දුයිෂෙන් සහ මා කඳුකරයේ සිට ආ ඒ අඩි පාර සොයා ගන්නට හැකි නම්, ගැරුතුමාගේ පා සටහන් සොයා ඒවා සිපගැනීමට මා සූදානම්ය. ඒ අඩිපාර සියළුම මාර්ග හා මාවත්වලට වඩා මට අගනේය. මා යළි ජීවිතයට ගෙනැවිත් මට අළුත් විශ්වාසයක් දී අළුත් බලාපොරොත්තු සහ ආලෝකය ලබාදුන් ඒ දවසටත් අඩිපාරට සහ මාවතටත් දේවාශිර්වාද ලැබේවා. එදා පෑවු ඉරටත් එදා පැවති කාළගුණයටත් කෘතඥතාවය හිමි වේවා.
        දවස් දෙකකට පසු දුයිෂෙන් මා දුම්රිය පොළට කැඳවාගෙන ගියේය. එම සිද්ධියෙන් ඉක්බිතිව අයිලයේ නැවතී සිටීම නුවණට හුරුනැති බව පෙණිණි. අළුත් ජීවිතයක් පටන් ගත යුත්තේ අළුත් තැනතිනි. මගේ තීරණය නිවැරදි බව ජනතාව කීහ. මා සමඟ දුම්රියපළට ගිය අනිත් දෙදෙනා සයිකාල් හා කරකේය.

Thursday, July 26, 2012

මම නොදන්නවා නොවෙයි දන්නවා..නොදන්නවා වගේ ඉන්නවා..


  Tharu Pata - Dushan Jayathilake & Uresha Ravihari by user7461189


“අයියෝ අද හොඳටම පරක්කුයිනෙ ..“ සෙනුරි හිතුවෙ අත බැඳි ඔරලෝසුව දෙස තරහින් බලමින්. 
            උදේ හතරේ ඉඳන් එන මේ ගමන තවමත් නිමාවක් නෑ. සුධර්මාරාමයේ රසායනික විද්‍යා පන්තියේ ඉස්සරහ පේලියක් අල්ලගන්න හැම ඉරිදම විඳින වදේ දන්නෙ සෙනුරි විතරමයි.
            සුපුරුදු යාළුවන්ගෙ කච කචේ ඕපාදූප මලු මගෑරලා සෙනුරි හැමදාම පන්තියට උදෙන්ම එන්නෙ ඉස්සරහ පේළිවල වාඩි වුනේ නැත්නම් පාඩමට අවධානය යොමු කරන්න අමාරු බව දන්න නිසා. ඒත් අද නම් සෙනුරි පරක්කුයි. හතරේ ඉඳන් බස්හෝල්ට් එකේ ඉඳලා නැග ගත්ත බස්එක පැය ගානක් ගාටනවා දැනුනම සෙනුරිට දැනුනෙ ඉවසන්න බැරි කේනතියක්. එත් කරන්න වෙන දෙයක් නැති කමට බස් එකේ පන්තිය ගාවට ආව සෙනුරි ත්‍රිත්ව විද්‍යාලය ගාව බස්හෝල්ට් එකේ බැහැගත්තා. බස්එකේ සෙනඟ අතර තෙරපිලා සිටි සෙනුරිට බස් එකෙන් බැස්ස එකම අස්වැසිල්ලක් ගෙනාවා.
           සුධර්මාරාමයේ කන්ද පාමුල ඉඳන් සෙනුරි හීල්ලුවෙ කොච්චර හයියෙන් ගියත් අද නම් පිටිපස්සෙ පේළි ඇරෙන්න වෙන පේලියක් ලැබෙන්නැති බව දන්න නිසා. සුළඟට පාවුන සුසුම නිසා හෑල්ලු වෙච්ච සෙනුරි අළුත් හිනාවක් මූණට අරන් සුධර්මාරාමයේ කන්ද නගින්න පටන් ගත්තා.

Thursday, July 5, 2012

බංගලාවට ගිය නංගී...

නෙතේ කඳුළ දැළි කුණු ළඟ                        නැවතිලා.
පුංචි හිතේ පීදුනු මල් සතුට නැතුව                 මැලවිලා
කොණ්ඩ කරල් දෙකේ තිවුන පීත්ත පටි         ගැලවිලා
පුංචි නගේ නුඹ දා බිදු බංගලවෙ                    නැවතිලා


නුපුරුදු සැර ඇණුම් බැණුම් පුංචි සිතේ          සැඟවිලා
පුංචි කඳුළු මුතු කැටයක් නෙතින් පනියි         දඟලලා
දැළි කුණු වැකි කඩමාල්ල ලපටි සිරුර          හැඩකලා
පුංචි නගේ නුඹෙ දා බිදු බංගලාවෙ               නැවතිලා


අම්මා ගියා පිටරටකට යලි එනවයි              කියාලා
දෑ අවුරුදු ගතව ගිහින් තාමත් නෑ                ඇවිල්ලා
පුංචි බේබි නලවගන්න නැළවිලි ගී              කියාලා
පුංචි නගේ නුඹෙ දා බිඳු බංගලාවෙ                නැවතිලා


අඳුර අරන් ආ පුන්සඳ කවුළු දොරින්          බලාලා
කිරිපැණි ගෙන ආවෙ නැතිද වලා ගැබට    මුවාවෙලා
කිරිත් පැණිත් එපා අනේ මව් උණුසුම       සොයාලා
අරන් එන්න නගා ළඟට මව්ගෙ සුවඳ        දවටලා


තැනින් තැනින් සිදුරු වෙච්ච කඩමාල්ලෙ  ඇලවිලා
පුංචි නඟා ඉකි බිඳිනා හඬට තරුමල්         ඇහැරිලා
සෙමෙන් සෙමෙන් එබී බලයි සීත සුළං     ගෙනල්ලා
තරුමල් ඇඬුවා රහසින් නුඹේ කඳුළු         සඟවලා


පින්තූරය: http://www.instablogs.com/entry/hey-we-are-civilised-and-educated/

Monday, July 2, 2012

ඊයා මේ මොනවද මේ..!!

“අක්කෙ අපි xxxx ශිෂ්‍ය සංගමෙන්. අපේ සාහිත්‍ය උළෙලට පොඩි උදව්වක් කරන්න.“
     සපත්තු කුට්ටමක් ගැනීමේ පරම චේතනාවෙන් නුගේගොඩ හන්දියේ කඩවල රස්තියාදු වෙද්දි ඉස්සරහට ආපු මල්ලි කෙනෙක් පාර හරස් කලා. එයාගෙ අතේ තිබුනෙ පොත් සලකුණු මිටියක්.
“කවද්ද මල්ලි උත්සවේ තියෙන්නෙ? “
අහන ගමන් මම බෑග් එක පීරුවෙ පර්ස් එක හොයාගන්න වගේම අතීත සිද්දියක් මතක්වෙලා ආපු හිනාව වහගන්න.අතේ තිබුන ලොකුම කොලේ මල්ලිට දීලා බුක් මාක් එකක් නොගෙනම මම ආපහු රස්තියාදුව ඇරඹුවෙ අර කියපු සිද්ධියේ මතක සටහන එක්කයි. මේ වගේ පාරට බැහැලා සල්ලි එකතු කරපු නැත්නම් හොස්ටල්වල කාමර ගානෙ ගිහින් බුක්මාක් එකක් හරි පින්තූර පොස්ට් කාඩ් එකක් විකුණුලා සල්ලි හොයපු සුන්දර සරසවි ජීවිතේ මොහොතකට මගේ මතකය ඇදිලා ගියේ නොදැනුවත්වම.
*****