![]() |
| ආචාර්ය අයිසැක් ඇසිමොව් |
“මනාව දියුණු කරන ලද විද්‍යාව ඉන්ද්‍රජාලයෙන් වෙන්කොට හඳුනා ගත නොහැකි වනු ඇත.“
ආතර් සී ක්ලාක් මහතා වරක් කියා තිබෙන බව මම දුටුවේ A5 තරමේ පොතක පිටකවරයේ සටහනකිනි. මහජන පුස්තකාලයේ රාක්ක අතර එහා මෙහා දෝලනය වෙමින් කියවීමට පොතක් සෙවූ මා අවසන උත්සාහ අතහැර දැමුයෙමි. ආපසු එන්නට හැරෙන විට රාක්කයක් පිරෙන්න තරම් පොත් කන්දක් ගොඩ ගසා තිබූ මේසයක් මා නෙත ගැටුනෙන් එන්නට ගත් පය ආපසු හරවා ගෙන පොත් කන්ද පීරන්නට වූයෙමි. කියවනන් විසින් ආපසු බාරදී රාක්ක ගත නොකල පොත් කන්දක් බව මට වැටහුනේ ටික වේලාවක් ගිය පසුවයි. අයිසැක් ඇසිමොව්ගේ Final Fantasy collection මැජික් (Magic) යනුවෙන් පොතේ මුල කවරයේ සටහන්ව තිබිනි. සාමාන්‍යයෙන් කියවීමට පෙර පොතේ උප්පැන්න සහතික පවා සොයා බලන මා මේ පොතේ පිටු පෙරලීමටවත් පමා නොවුනේ මීට පෙරද කියවන ලද ඇසිමොව්ගේ පොත් පෙළක රස සිහියට නැගුනු නිසාය.පෙර කී පසුවදන මා දුටුයේද එම පොතෙනි.
පුස්තකාලයේ සිට පැමිණි වහාම ඇඳුම් මාරුකිරීමටවත් පමානොවී පොත කියැවීමට පටන් ගත්තද මගේ උනන්දුව ලත්තැනම ලොප් වූයේ මුල සිට තිබූ විචාරයන් නිසාය. ඇසිමෝව්ගේ සිතිවිලි, විචාරවලින් පණ ගැනවූ පොතේ පළමු කොටස මග හැර ඊළඟ කොටසේ තිබුනේ සුරංගනා කතා පෙළකි. කුතුහලයෙන් පොත පෙරළු මාද සතුටු කුමරු මෙන් නහය හකුළුවා ගත්තේ විද්‍යා ප්‍රබන්ධ රචක අයිසැක් ඇසිමෝව් සුරංගනා කතා ලීවොත් මෙලෝ රහක් නැතිවෙතැයි සිතාය.
පොත පසෙකින් තබා ඊළඟ සතියේ ආපසු පුස්තකාලයට යනතුරු බකන් නිලා සිටීමට වීම ගැන මම මටම සාප කරගතිමි. මම ආපසු පොත අතට ගත්තේ දින කීපයක් ගත වූ තැන පසු බකන් නිලා සිටීම ඇතිවූ පසුය. පසුගිය දින කිහිපයේ ඔබ කියැවූයේ එම පොතේ තිබූ පළමු සුරංගනා කතාවයි.
විද්‍යා ප්‍රබන්ධ චක්‍රවර්ති ලෙස නම් ලද අයිසැක් ඇසිමොව් යුගයේ දැවැන්ත විදු පබැදුම්කරුවන් තිදෙනාගෙන් එක් අයකු ලෙස හැඳින්වේ. අනෙක් දෙදෙනා වන්නේ රොබට් හෙයිව්ලීන් මහතා හා අප හොඳින් දන්නා ආචාර්ය ආතර් සී ක්ලාක් මහතාය. 1920 ජනවාරි 2 වන දින රුසියාවේ උපත ලද ඇසිමොව් අවුරුදු 3 දී දෙමාපියන් සමඟ ඇමරිකාවට සංක්‍රමණය වූයේය. පියාගේ විරෝධය මත වුවද විද්‍යා ප්‍රබන්ධ කියවා ඒවාට පෙම් බැදි කුඩා ඇසිමෝව් තම පළමු ප්‍රබන්ධය ලියන්නේ 1939 දී පමණය.
ලෝ පුරා රසිකයන් පෙම් බැදි රොබොට් විදු කතා මාලාව ඇසිමොව්ගේ ගත්කරු ජීවිතයේ අග්‍රඵලයි.
විද්‍යා ප්‍රබන්ධ හා සමානවම ඇසිමොව් ප්‍රබන්ධ (Fantasy) කතාද රාශියක් ලියා පළකොට ඇත. ලංකාවේදී ජනප්‍රිය නොවුනද මෙම අපූරු කතා ලොව පුරා සුවහසක් පාඨක පෙළ සනසයි. විෂය ක්ෂේත්‍ර රාශියක දස්කම් දැක්වූ මේ මහා ගත්කරු බොස්ටන් විශ්ව විද්‍යාලයේ අචාර්ය උපාධියද දිනා ඇත.
ඒත් දින කිහිපයක් පුරා ඔබ හා රැදි මේ සුරඟන කතාව ඇසිමෝව් විසින් ලියන ලද අවසන් මනඃකල්පිත ප්‍රබන්ධ මාලාවේ අවසන් එකතුවෙන් උපුටා ගත්තකි. සුපුරුදු සුරංගනා කතාවලින් වෙනස්ව නවමු මානයකින් කතාව ගොතා ඇති අපූරුව ඔබද පසුගිය දින කිහිපයේදී විඳ ගන්නට ඇතැයි සිතමි.
ආශ්‍රිත මූලාශ්‍ර: http://en.wikipedia.org/wiki/Isaac_Asimov
















