Showing posts with label සුරඟන කතා. Show all posts
Showing posts with label සුරඟන කතා. Show all posts

Tuesday, December 27, 2011

සුරඟන කතා: සතුටු කුමරු සහ ගිනි නැති මකරා- කතුවරයා ගැන..

ආචාර්ය අයිසැක් ඇසිමොව්
“මනාව දියුණු කරන ලද විද්‍යාව ඉන්ද්‍රජාලයෙන් වෙන්කොට හඳුනා ගත නොහැකි වනු ඇත.“
             ආතර් සී ක්ලාක් මහතා වරක් කියා තිබෙන බව මම දුටුවේ A5 තරමේ පොතක පිටකවරයේ සටහනකිනි. මහජන පුස්තකාලයේ රාක්ක අතර එහා මෙහා දෝලනය වෙමින් කියවීමට පොතක් සෙවූ මා අවසන උත්සාහ අතහැර දැමුයෙමි. ආපසු එන්නට හැරෙන විට රාක්කයක් පිරෙන්න තරම් පොත් කන්දක් ගොඩ ගසා තිබූ මේසයක් මා නෙත ගැටුනෙන් එන්නට ගත් පය ආපසු හරවා ගෙන පොත් කන්ද පීරන්නට වූයෙමි. කියවනන් විසින් ආපසු බාරදී රාක්ක ගත නොකල පොත් කන්දක් බව මට වැටහුනේ ටික වේලාවක් ගිය පසුවයි. අයිසැක් ඇසිමොව්ගේ Final Fantasy collection මැජික් (Magic) යනුවෙන් පොතේ මුල කවරයේ සටහන්ව තිබිනි. සාමාන්‍යයෙන් කියවීමට පෙර පොතේ උප්පැන්න සහතික පවා සොයා බලන මා මේ පොතේ පිටු පෙරලීමටවත් පමා නොවුනේ මීට පෙරද කියවන ලද ඇසිමොව්ගේ පොත් පෙළක රස සිහියට නැගුනු නිසාය.පෙර කී පසුවදන මා දුටුයේද එම පොතෙනි. 
                පුස්තකාලයේ සිට පැමිණි වහාම ඇඳුම් මාරුකිරීමටවත් පමානොවී පොත කියැවීමට පටන් ගත්තද මගේ උනන්දුව ලත්තැනම ලොප් වූයේ මුල සිට තිබූ විචාරයන් නිසාය. ඇසිමෝව්ගේ සිතිවිලි, විචාරවලින් පණ ගැනවූ පොතේ පළමු කොටස මග හැර ඊළඟ කොටසේ තිබුනේ සුරංගනා කතා පෙළකි. කුතුහලයෙන් පොත පෙරළු මාද සතුටු කුමරු මෙන් නහය හකුළුවා ගත්තේ විද්‍යා ප්‍රබන්ධ රචක අයිසැක් ඇසිමෝව් සුරංගනා කතා ලීවොත් මෙලෝ රහක් නැතිවෙතැයි සිතාය.

            පොත පසෙකින් තබා ඊළඟ සතියේ ආපසු පුස්තකාලයට යනතුරු බකන් නිලා සිටීමට වීම ගැන මම මටම සාප කරගතිමි. මම ආපසු පොත අතට ගත්තේ දින කීපයක් ගත වූ තැන පසු බකන් නිලා සිටීම ඇතිවූ පසුය.  පසුගිය දින කිහිපයේ ඔබ කියැවූයේ එම පොතේ තිබූ පළමු සුරංගනා කතාවයි.
              විද්‍යා ප්‍රබන්ධ චක්‍රවර්ති ලෙස නම් ලද අයිසැක් ඇසිමොව් යුගයේ දැවැන්ත විදු පබැදුම්කරුවන් තිදෙනාගෙන් එක් අයකු ලෙස හැඳින්වේ. අනෙක් දෙදෙනා වන්නේ රොබට් හෙයිව්ලීන් මහතා හා අප හොඳින් දන්නා ආචාර්ය ආතර් සී ක්ලාක් මහතාය. 1920 ජනවාරි 2 වන දින රුසියාවේ උපත ලද ඇසිමොව් අවුරුදු 3 දී දෙමාපියන් සමඟ ඇමරිකාවට සංක්‍රමණය වූයේය. පියාගේ විරෝධය මත වුවද විද්‍යා ප්‍රබන්ධ කියවා ඒවාට පෙම් බැදි කුඩා ඇසිමෝව් තම පළමු ප්‍රබන්ධය ලියන්නේ 1939 දී පමණය.
           ලෝ පුරා රසිකයන් පෙම් බැදි රොබොට් විදු කතා මාලාව ඇසිමොව්ගේ ගත්කරු ජීවිතයේ අග්‍රඵලයි.
           විද්‍යා ප්‍රබන්ධ හා සමානවම ඇසිමොව් ප්‍රබන්ධ (Fantasy) කතාද රාශියක් ලියා පළකොට ඇත. ලංකාවේදී ජනප්‍රිය නොවුනද මෙම අපූරු කතා ලොව පුරා  සුවහසක් පාඨක පෙළ සනසයි. විෂය ක්ෂේත්‍ර රාශියක දස්කම් දැක්වූ මේ මහා ගත්කරු බොස්ටන් විශ්ව විද්‍යාලයේ අචාර්ය උපාධියද දිනා ඇත.

ඒත් දින කිහිපයක් පුරා ඔබ හා රැදි මේ සුරඟන කතාව ඇසිමෝව් විසින් ලියන ලද අවසන් මනඃකල්පිත ප්‍රබන්ධ මාලාවේ අවසන් එකතුවෙන් උපුටා ගත්තකි. සුපුරුදු සුරංගනා කතාවලින් වෙනස්ව නවමු මානයකින් කතාව ගොතා ඇති අපූරුව ඔබද පසුගිය දින කිහිපයේදී විඳ ගන්නට ඇතැයි සිතමි.

ආශ්‍රිත මූලාශ්‍ර: http://en.wikipedia.org/wiki/Isaac_Asimov 

Monday, December 26, 2011

සුරඟන කතා: සතුටු කුමරු සහ ගිනි නැති මකරා- 9



කලින් කොටසෙ අපි නතර වුනේ කුමාරයා තමන්ගෙ අනාගත මාමණ්ඩි වුනු ෆැරඩේ රජතුමාට මකරගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන විස්තර කරද්දි...අද එතැන් සිට.


“ඒත් රජතුමනි, හීලෑ වුනු මකරෙක් මැරිච්ච එකෙකුට වැඩිය හොඳයිනෙ. ඒක වෙන්නෙ මෙන්න මෙහෙමයි. “
“හරි මම අහගෙන ඉන්නෙ.“
“ඉස්සෙල්ල මම උපකල්පනය කරනවා මේ වගේ රටකට අවට සතුරු රාජ්‍යන් සිටිය හැකි බව. සමහරවිට මේ රටවල් පරම්පරා ගාණක් තිස්සෙ යුද්ධ කරනවත් ඇති. ඔබතුමා ඒ රාජ්‍යයයෙ බිම් යටත් කරගන්නවා වගේම ඒ රටත් එහෙම කරනවා ඇති. සමහර වෙලාවට මේ තේරුමක් නැති යුද්දෙ නිසා දෙපැත්තෙම මිනිස්සු දහස්ගානක් මැරිලත් ඇති. “
“ම්... ඇත්තටම මේක ශිෂ්ඨසම්පන්න රාජ්‍යක්. ඉතින් එහෙම කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ. මේ වෙලාවෙ අර නැගෙනහිර පැත්තෙ තියන තුච්ජ කුජීත වනචර ලොතරින්ජියා රට එක්ක අපි සටන් කරනවා. “
“මේ වෙලාවෙ ඔබ ඔවුන්ට පහර දෙනවද නැත්නම් ඔවුන් ඔබට පහර දෙනවද?“
රජතුමාට කැස්සක් හැදුනා. “මේ වෙලාවෙ නම් ලොතරින්ජියා වලට පොඩි වාසියක් ලැබිලා අපේ දේශ සීමාවෙන් හැතැක්ම දහයක් ඉස්සරහට ඇවිල්ල තියෙන්නෙ. “
“ඔබතුමා කැමතිද ඔවුන්ගෙ සේනාව විනාශ කරලා ඔබතුමාට කැමති විදිහට සාමය ඇති කරන්න. “
“කවුද ඒකට අකමැති? ඒත් ඒවගේ දේකට ගොඩක් සේනාව ඕනේ.“
“ඇයි මමයි බොනීයි ඉන්නෙ“
“ලොතරින්ජියා සේනාවෙ අවිගත්ත නිර්භීත නයිට්වරු දාස් ගානක් ඉන්නවා. ඔයාගෙ මකරා කීප දෙනෙක් මරයි. ඒත් ඌ මැරෙයි. අපේ මිනිස්සු ඒකෙන් තවත් අධෛර්ය වෙයි. “
“අපි පැරදෙන්නෑ. මට මකරගෙ බෙල්ල උඩ නගින්න සැදෑලයකුයි, වැටෙන්නැතුව ඉන්න තොන් ලනුවකුයි හදලා දෙන්න.  පුරෝහිතයට කියන්න මගේ අවට වාතය පිරිසිදු කරන්න පුළුවන් හෙල්මට් එකක් හදලා දෙන්න කියලා. ඒ ඇරෙන්න මට පාර පෙන්නන්න පුළුවන් පොඩි සේනාවක් දෙන්න. “
“පොඩි සේනාවක්!“
“ඔව් එයාලට අයින් වෙන්න පුළුවන් අපි සතුරු සේනාවට ළං වුනාම. මමයි බොනීයි තනියම සතුරට මූණ දෙන්නම්. කොහොම වුනත් පැරදිලා දුවන සේනාවගෙ හිස් සිඳින්න පැත්තක ඉදන් පහර දෙන්න පුළුවන් සේනාවක් ලෑස්ති කරන්න. “
“කුමාරයට පිස්සු. ඒත් මම කියපු විදිහට කරන්නම්.කොහොමවුනත් ඔයා මකරව පැරැද්දුවනෙ. අනිත් අය බයේ පැනලා යද්දි.“ රජතුමා කිව්වා.

කුමාරයා සෑදෑලයයි, තොන් ලනුවයි ලෑස්ති කරගත්තා. පුරෝහිත කුමාරයගෙ ඔළුවට දාන්න පුළුවන් ආකාරයේ  උපකරණයක් හැදුවා.  
“මේක වාතය පිරිසිදු කරනවා. මේක ගෑස් මාස්ක් එකක්.“  ඒත් කවුරුත් එයාගෙ වචන ගනන් ගත්තෙ නෑ.
සතුටු කුමාරයි බොනීයි ලොතරින්ජියා සේනාව ඉස්සරහට ආවහම ඔවුන්ගේ හෙලි වරුසාවකට මුහුණදෙන්න සිද්ධ වුනා.  කොහොම වුනත් සේනාව මකරෙක් දැකලා බය නොවුනා කියන්නම බෑ. අර විදිහෙ අමුතු හෙල්මට් එකක් දාලා හිටිය කුමාරයා පෙනුනෙ ඊටත් වඩා භයානක විදිහට.
ලොතරින්ජියා සේනාව පොත්වලින් හරි මකරු දැකලා තිබුනට කවුරුත් ඔළුවට දාන ගෑස් මාස්ක් දැකලා තිබුනෙ නෑ.
ලොතරින්ජියා සේනාධිනායකයා නිර්භීතව කෑ ගහලා මෙහෙම කිව්ව.
“මගේ නිර්භීත සේනාවනි මේ මෘගයෙක් පිට මෘගයෙක් පමණයි. නොසැලෙන්න. මකරාව වටකර පහරදෙන්න. උගේ ගිනිදැල් වලින් බේරීමට වල්ගයට කොටන්න. ඌ එවිට පසුබසීවි.“
සේනාව සීරුවෙන් මකර ඉදිරියට එනතුරු බලා සිටියා. ඒත් ඌ ඉදිරියට එන පාටක් පෙනුනෙ නෑ.
“ඔයාට ඇහුනද උන් කියපුදේ? උන් ඔයාගෙ ලස්සන වලිගෙට වැඩක් දෙන්නයි යන්නෙ..!! “ කුමාරයා මකරට කිව්වා.
“මටත් ඇහුනෙ ඒකම තමා. නාලා එන්න වෙයි“ මකරා ගර්ජනා කලා
“ඒ වුනාට උන්ට මම හොම්බෙන් යන්න දෙන්නෙ. මොකද උන් කියපු එකට මගෙ රතු කට්ට පැන්නා. “
මකරා එයාගෙ යෝධ කට ඇරලා ගුගුරන්න පටන් ගත්තා. ඒකෙන් පිටවෙච්ච ගඳ වලාකුලක් වගේ වටේ වසා ගන්න ගියේ සුළුවෙලාවයි. ගඳ දැනුනු ලොදරින්ජියා සේනාව අවි බිම දාලා ඔළුව හැරුනු අතේ දුවන්න පටන් ගත්තා. සේනාව පසු බහිනකම් ඈතට වෙලා බලා හිටිය පොයිට්ස්මාන් සේනාව ඔවුන්ට එලව එලවා පහර දුන්නා.

“සතුටු කුමරුවනි,  මගේ ආදරණිය දූ කුමරිය ඔබට බාරයි. ෆැරඩේ රජතුමා කිව්වා. මට රට බාරදීමට පුතෙක් නැති නිසා මගෙන් පසුව මේ රටේ කිරුළත් ඔබ ජයගත්ලොතරින්ජියා රාජ්‍යත් ඔබට උරුම වනු ඇති. එසේම ඔබගේ රාජ්‍යත්. ඔබේ මකරා අපට වීරවරයෙක් වනු ඇති අතර ඔහු කැමති කාලක් මෙහි වාසය කල හැක. අපේ හොඳම ගාලෙහි ඔහුට නවාතැන් ලැබෙන අතර කෑමට කැමති ඕනෑම සතෙක් සපයනු ඇත.“
“ඌ නම් කැමති මකර කෙල්ලන්ට.“ කුමාරයා පිළිතුරු දුන්නෙ පැකිලෙමින්.
“ඒකත් සූදානම් කරන්න බැරිනෑ හැබැයි ඌට හැඟීම් පාලනය කරගන්න පුළුවන්නම් විතරක්.“

මංගල සාදයේදී සතුටු කුමාරයා වැටුනෙ දෙසැරයක් විතරයි.නැගිට්ටට පස්සෙ කුමාරයා බොනීට මෙහෙම කිව්වා.
“ඒකට කමක් නෑ. කොහොම හරි මිස්ප්‍රොප් නිසානෙ මේ හැමදේම හොඳ විදිහට සිද්ධ වුනේ. මගේ අදක්ෂකම නිසා මම උඹගේ පිට උඩට වැටුනා. උඹගෙ ගඳ නිසා යුද්ධෙ දිනන්න පුළුවන් වුනා. 

කොහොම හරි කුමාරයා මංගල රාත්‍රිය චාටර් කරගන්නැතිව සතුටින් ගත කලා කියලයි ආරංචි වුනේ.

 අන්තිමේදි හැම සුරංගනා කතාවකදිම වගේ හැමෝම සතුටින් ජීවත් වුනා. 

* මෙම සුරඟන කථාව පරිවර්තනයක් පමණි.ලෝ ප්‍රසිද්ධ මුල් රචකයා පිළිබඳව මෙම ඊළඟ කොටසේ පලවනු ඇත. ඔබට අනුමාන කල හැකි නම් පහත කොමෙන්ටුවක සටහන් කරන්න‍.......... 

Sunday, December 25, 2011

සුරඟන කතා: සතුටු කුමරු සහ ගිනි නැති මකරා- 8


කලින් කොටසෙ අපි නතර වුනේ බොනී මකරා තමන් ගිනි වෙනුවට විදින්නෙ මොනවද කියලා කුමාරයට සජීවීව පෙන්න්න ලෑස්ති වෙන එකෙන්...අද එතැන් සිට...

කුමාරයට තමන් ගිනි වෙනුවට විදින්නෙ මොනවද කියලා පෙන්නන්න ඕනි නිසා මකරා ටිකක් වෙලා කල්පනා කලා. ඊට පස්සෙ ‘හරි‘ කියලා කට ඇරලා හොඳ හුස්මක් පිට කලා. කුමාරයා ඒ එක්කම බිම වැටිලා නහල වහගත්තා. මකරගෙන් පිටවුනෙ එච්චර කාලකට ලෝකෙ තිබුනු නරකම සවුත්තුම ජරාම ජරා ගඳක්. කුමාරයාට හුස්ම හිරවෙන්න වගේ කහින්න පටන් ගත්තා.
“ආ..ගණන් ගන්න එපා..මේක එච්චර වෙලා තියෙන්නෑ..මම පොඩ්ඩක් තමයි කට ඇරියෙ.එක අතකට මෙහෙම හොඳයි. ගිනි දළුවලින් බේරුනාට මේකෙන් බේරෙන්න බෑනෙ. ඔය ඔක්කොම හාල්පාරුවො දුවනවා මගෙ හුස්මට. ඒ එක්කම ඔක්කොම මකර කෙල්ලොත්. වට් අ ලයිෆ් අප්පා.....“
මකරා දුකෙන් ඔළුව වැනුවා.
කුමාරයා අමාරුවෙන් නැගිට්ටා. වනාන්තරේ තාමත් ගඳයි. ඒත් ඒවෙලාව වෙනකොට ඒක උසුලගන්න පුළුවන් තරමට අඩුවෙලයි තිබුනෙ.
“බොනී, ඔයා කැමතිද මාත් එක්ක පොයිස්ටෙස්ම්වලට ගිහින් ෆැරඩේ රජතුමාව අඳුරගන්න“. කුමාරයා ඇහුවා.
“මොකක්..පිස්සු හැදෙන සඳ ඇයි ඔච්චර ගඳ කිව්වලු..හොඳට හිටියි ඔය නයිට්ලා කියන හාල්පාරුවො දාස්ගානක් එකතුවෙලා මට විදින්න ගත්තාම..!!“
“නෑ. එහෙම වෙන්නෙ නෑ..මම පොරාන්දුවෙනවා. ඔයාට රජෙක් වගේ සලකයි. හාවො පූසො වගේ කන්න කැමති හැමදේම ලැබෙයි. “
“ඒ කොහොමද?“
“බලන් ඉන්නකො. මාව විශ්වාස කරන්න. හැබැයි මාව පිට උඩ තියාන යන්න වෙයි මොකද දැන් මට අශ්වයෙක් නැති නිසා. “
සතුටු කුමාරයා බොනීගෙ පිට උඩ නැගලා බෙල්ල උඩ වාඩිවුනා. අඩි 30ක් උසින් වටපිටාව බලන්නත් පුළුවන් වුනා.වනාන්තරය පහු කරලා මිනිස්සු ජීවත්වෙන සීමාවට එනකොට ඉස්සෙල්ලාම ඔවුන් දුටුව හැමෝම හිස් ලූ ලූ අත දිව්වෙ යටිගිරියෙන් කෑ ගසමින්. කුමාරයා ඒ හැමෝටම ඇහෙන්න මෙහෙම කිව්වා.
“රටවැසියනි, මේ හීලෑ වෙච්ච මකරෙක්. උගෙ නම බොනී. බොනී, එයාලට කතා කරන්න.“
එතකොට මකරා කතා කරා.
“හායි, මේ මමයි මගේ ෆ්‍රෙඩායි. සතුටු කුමාරයා. “
අන්තිමට සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය ටිකක් නිර්භීත මිනිස්සු මකරගෙ වටේට ගමනට එකතු වුනා. බොනීත් පරිස්සමෙන් අඩිය තිබ්බෙ කවුරුහරි හදිසියෙ හරි පෑගුනොත් වැඩේ වරදින බව දන්න නිසා.
කුමාරයත් රජෙක් වගේ බෙල්ල උඩ ඉඳගෙන පාර දෙපැත්තෙ ඉඳගෙන ඉන්න අයට අත වැනුවා.
මේ ආරංචිය රට පුරා පැතිරගියේ ලැව් ගින්නක් වගේ. අගනගරයට යන පාර දෙපැත්තෙ මේ දෙන්නා බලන්න සෙනඟ රැස් කකා බලන් හිටියා. අන්තිමට රජමාලිගාවට එනකොට ඒ පිටිපස්සෙන් කෑ ගගහා ආපු සෙනඟ නිසා ඒක බලන අයට පෙනුනෙ පෙළපාලියක් වගේ.
“හේයි, මට පේන්නෙ මිනිස්සු එච්චරම නරක නෑ උන්ව අඳුරගත්තට පස්සෙ.“ මකරා කිව්වා.
“එයාලා සම්පූර්ණයෙන්ම වාගේ ශිෂ්ඨයි.“ කුමාරයා උත්තර දුන්නා.
එයාලා රජමාලිගාවෙ මිදුලට ආවාම ෆැරඩේ රජතුමායි ලොරෙලීන් කුමරියයි ඔවුන්ට අචාර කරන්න ඉස්සරහට ආවා.
“මගේ වීර සතුටු කුමරුට සුභ පැතුම්.“ කුමරිය සතුටින් උඩපැන්නා.
APATOSAURUS
පුරෝහිත ඉස්සරහට ඇවිත් ඇස්දෙකම හොඳට පිහදලා මෙහෙම කිව්වා. “මූ හරියට ඇපාටොසරස් කෙනෙක් වගේ.“
ඒත් එයා නිතරම පල් හෑලි කියවන නිසා කවුරුත් ඒ කතාව ගනන් ගත්තෙ නෑ.
රජමාලිගාවට පුළුවන් තරම් ඈතින් තැනක හදපු ගාලක බොනී නවත්තපු රජතුමා කුමාරයාව රාජ සභාව පැවැත්වෙන කාමරේට එකකන් ගියා.
“මම ඔයා මකරව දමනය කලා කියලා පිළිගන්නවා.එත් ඔයාට මම කිව්වෙ ඌව මරන්න මිසක් එක්කන් එන්න නෙවෙයි. “ රජතුමා කිව්වා.
“ඒත් රජතුමනි, හීලෑ වුනු මකරෙක් මැරිච්ච එකෙකුට වැඩිය හොඳයිනෙ. ඒක වෙන්නෙ මෙන්න මෙහෙමයි. “ කුමාරයා පැහැදිලි කලා.

සතුටු කුමාරයා මේ මොකද්ද මේ කරන්න යන්නේ. යාළු බොනීට කරදරයක්ද? අපි ඊළඟ කොටසින් බලමු.

* මෙම සුරඟන කථාව පරිවර්තනයක් පමණි.ලෝ ප්‍රසිද්ධ මුල් රචකයා පිළිබඳව මෙම කථාව අවසන පලවනු ඇත. ඔබට අනුමාන කල හැකි නම් පහත කොමෙන්ටුවක සටහන් කරන්න‍.......... 

Saturday, December 24, 2011

සුරඟන කතා: සතුටු කුමරු සහ ගිනි නැති මකරා- 7


කලින් පෝස්ටුවේ අපි නතරවුනේ කුමාරයා මකරව මරන්න ගිහිල්ලා අන්තිමට මකරගෙ පිටඋඩින් බිමට බැස්සා කියන තැනින්....අද එතැන් සිට..

මකරගෙන් බැහැලා ටිකෙන් ටික පස්සට ගිය කුමාරයා මෙහෙම ඇහුවා. 
“තමුසෙට විශ්වාසද මාව කන්නෑ කියලා?“

“පිස්සුද? මගෙ වචන දෙකක් නෑනෙ.මකරු කිව්වොත් කිව්වම තමයි ඔය හාල්පාරු කුමාරයො වගේ නෙවෙයි. හරිද? දැන් මොකද තමුසෙ මේ පැත්තෙ? තමුසෙලගෙ එකෙක් මගෙ නංගි මැරුවා. එකෙක් තාත්තව මැරුවා. අපි තමුසෙලට මොනවා කරලද ඕයි මෙහෙම අපිට සලකන්නෙ.“ මකර කිව්වෙ අඬන මූණකින්
“ඇයි එහෙනම් මකරු ගෑනු ළමයි කන්නෙ?“
“ඒක පට්ටපල් බොරුවක්. මම කෙල්ලෙකුට අතවත් තියන්නෑ. උන් ගාව ලාබ සෙන්ට් ගඳයි. මම පුංචි කාලෙ එකියෙක්ගෙ මූණ ඉම්බා. අපොයි පව්ඩර්. උන්ව කනවට වඩා හොඳයි..!!“
“එහෙනම් මකරු මොනවද කන්නෙ?“
“විසේසයක් නෑ. මම තණකොල, පළතුරු, ඇට, මුල් වගේ ඕනි දෙයක්. ඉදලා හිටලා පූසෙක් හරි හාවෙක් හරි ගිලිනවා. ඒත් ඒකවත් නිදහසේ කන්න නෑ තමුසෙලා හෙලි, කඩු,අශ්වයො ඒක්ක අපි පස්සෙ එනවා. අපි මොකුත් කරන්නෙත් නැතිව. “
“ඒ වුනාට හැමෝම කියනවනෙ මකරු ගෑනු ළමයින්ව කනවා කියලා. “
“අයියෝ... ඔය ගෑනුළමයි උන් වැදගත් කියලා පෙන්නන්න දාන මායම් ..ඕවා කියන්න ගියොත් පිස්සු හැදෙනව ඕයි.“
“පොඩ්ඩක් ඉන්න“ කුමාරයා පුදුමයෙන් කිව්වා. 
“කටින් ගිනි විදින්න නම් ලෑස්ති වෙන්න එපා.“
“කවුද මේ මම?“ මකරා යටිතොල පෙරළගෙන අඬන්න පටන් ගත්තා. බේසමක් පුරව ගන්න පුළුවන් තරම් කඳුළු කැට මකරගෙ ඇස්දෙකින් කඩා හැලුනා.
“අනේ මට ගිනි පිඹින්න බෑනේ.සමහරවිට මම වෙන්නැති ගිනි විදින්න බැරි එකම මකරා..!!“
“ ආ..ඒ මොකද?“
මකරා දිග සුසුමක් හෙලුවා. ටිකක් සැර ගඳක් අවට පැතිරුනා.කුමාරයා නහය හැකිලුවත් මකරාට ඒක පෙනුනෙ නෑ.
“ඒක මහ දුක හිතෙන කතාවක්.“
“ඇයි ඒක මට කියන්නැත්තෙ? ඒක නෙවි ඔයාගෙ නම මොකද්ද? “
“මගෙ නම? බර්නාඩ්. මට බොනී කියන්න. මගේ මේ කරදර සේරම පටන් ගත්තෙ බෞතීස්ම දවසෙ...“
“බෞතීස්ම දවසෙ?“ කුමාරයා මැදට පැනලා ඇහුවා. 
“හරිම පුදුමයි. මගේ කරදරත් පටන් ගත්තෙ එදාම තමා. “
“ඇත්තට? ඒ වුනාට කුමාරයෙකුට මොන කරදරද? මගේ ස්ටෝරිය මෙහෙමයි. මගේ පියතුමායි මව්තුමියිටයි ඕනෙ වුනා මට බර්නාඩ් කියලා නම තියන්න. ඒක තමා අපේ පරම්පරාවෙ ලකී නම. ඒක නිසා එයාලා රටේ ඉන්න හැම සුරංගනාවටම එන්න කියලා බුලත් දුන්නා. ඒත් ඒකට පිටරටක ඉදලත් සුරංගනාවක් ඇවිල්ල හිටියා. “
“පිටරට සුරංගනාවක්?“
“වොව්..වොව්.. වයසක ඩයල් එකක්. පස්සෙ තමයි මාත් දන්නෙ“
“එයාගෙ නම මිස්ප්‍රොප්ද?“
“ඒක තමා. තමුසෙ කොහොමද දන්නෙ?“
“එයා මගේ බෞතීස්මෙටත් ඇවිල්ල හිටියා. එයා නේද හැමදේම අවුල් කලේ?“
“වොව් වොව්..එයා තමුසෙටත් කරදර කලාද?“
“ඒක එහෙම තමයි.“
“එහෙනම් අපි දෙන්න තකට තක.. අත දෙන්න යාළුවා.“
මකරගෙ ලොකු අත ඇතුලෙ කුමාරයගෙ අත හිරවුනා.
“තමුසෙ දන්නවද එයා මොකද මට කලේ කියලා?“ මකරා ඇහුවා.
“නෑ“
“අර ඔක්කොම සුරංගනාවො මට ලොකුවෙන්න ෆයිට් කරන්න ලොකු ඇඟක් හදාගන්න පතන කොට මෙයා ඇවිල්ලා මට ගොඩක් හොඳට ගිනි විදින්න පුළුවන් වෙන්න මන්තරයක් කිව්වා. ඒත් අන්තිමට ඒක වැරදිලා ගිනි විදින්න බැරුව ගියා. “
“ඒත් මට තේරෙන්නෑ. ඔයාට ගිනි විදින්න බැරිනම් ඇයි අනිත් කුමාරවරු ඔයාට පහරදුන්නෙ නැත්තෙ? මට අනිත් අය නම් කිව්වෙ ඔයා දැක්කම  එයාලා පැනලා දිව්වා කියලා. “
“ඒක තමා දුකම කෑල්ල. කවුරුත් කැමති නෑ මා ගාව ඉන්න. අඩුම ගානෙ මකර කෙල්ලොවත්. බලනවකො ඕයි. මම කළුද? කැතද? මේ අවුරුදු හැත්තැ පහට මම ලස්සන කොල්ලෙක්නෙ? “
“ඇයි නැත්තෙ?“
“ඒ වුනාට මට තරහ ගිහාම, මට ආදරේ හිතුනම දන්නවනෙ මම කියන්නෙ මොනවද කියලා. මම ගිනි විදින්නෑ. මම විදින්නෙ වෙන දෙයක්?“
“මොනවද?“
“තමුසෙ බලන්න කැමතිද?“
“මට කරදරයක් නෑනෙ?“
“පිස්සු පීකුදු! අපෝ නෑ.“
“හරි මම දැන් තරහා ගන්න ඕනේ. “
මකරා ටිකක් වෙලා කල්පනා කලා. ඊට පස්සෙ ‘හරි‘ කියලා කට ඇරලා හොඳ හුස්මක් පිට කලා. 




මකරගෙ කටින් පිට වුනේ මොනවද? අපි ඒක ඊළඟ කොටසින් බලමු...


* මෙම සුරඟන කථාව පරිවර්තනයක් පමණි.ලෝ ප්‍රසිද්ධ මුල් රචකයා පිළිබඳව මෙම කථාව අවසන පලවනු ඇත. ඔබට අනුමාන කල හැකි නම් පහත කොමෙන්ටුවක සටහන් කරන්න‍........

Friday, December 23, 2011

සුරඟන කතා: සතුටු කුමරු සහ ගිනි නැති මකරා- 6



කලින් පෝස්ටුවේ අපි නතරවුනේ කුමාරයා මකරව මරන්න ගමන පිටත්වෙලා ගන වනාන්තරයක් මැද්දෙ ඉන්න වෙලාවෙ..අද එතැන් සිට..



ගන වනාන්තරේ මැද්දෙ නිකම් රළු ගොරවන සද්දයක් ඇහුනාම කුමාරයාගෙ කනුත් උස්වුනා. ඒ සද්දෙ හරියටම මකර දඩයක්කාරයන්ගෙ අත්පොතේ විස්තර කරලා තියන විදිහෙම සද්දයක්. ඒක මහ ගැඹුරු සද්දයක් හරියට ලොකු භයානක සතෙක් ළඟට එනවා වගේ. ඒවගේම නහය හැකිලෙන තරම් ගඳක් කුමාරයට දැනුනෙ හරියට මකරගෙ පස්ස පැත්තෙන් එනවා වගේ. ඒක එච්චර ප්‍රසන්න එකක් නම් නෙවේ.!

දැන් මොකද කරන්න ඕනි. කුමාරයා කල්පනා කලා. ගොරවන සද්දෙ එනවා කියන්නෙ මකරා දැන් නිදි කියන එකයි. අත්පොතේ තියන විදිහට උන් හරිම තදට නිදාගන්නවා වගේම ඇහැරවන්නත් අමාරුයි. කොහොමත් මකරුන්ට ස්වාභාවික සතුරො නෑනෙ ඔයා කුමාරවරු වගේ විලෝපිකයො හැරුනාම. ඉතින් මකරුන්ට කොහොමත් සැපසේ නිදාගන්න පුළුවන්.
මකරා ඇහැරවන්නැතිව සටන් කරන එක අසාධාරණ නිසා කුමාරයා කැමති වුනේ නෑ මකරා නිදාගෙන ඉද්දි මරන්න. ඒක නිසා කුමාරයා හිතුවා කලා හෙල්ලෙන් ඇනලා ඉස්සෙල්ලා මකරව ඇහැරවලා සටනට අවදියෙන්ම මුහුණ දෙන්න.
“ඒත් ඒක ඇත්තටම සාධාරණද? “කුමාරයා ආයෙත් කල්පනා කලා.
කොහොමත් මකරා ගත්තම කුමාරයයි අශ්වයයි දෙන්නටම වඩා ලොකුයි. ඊටත් හපන් උන්ට පියාඹන්නත් පුළුවන්. ගිනි විදින්නත් පුළුවන්.
“ඒ නිසා එක සාධාරණද? නෑ.“ සතුටු කුමාරයා හිතුවා.          
මකරත් ඒ ගැන ඒ තරම් හිතන්නැතිවෙයි කියල කුමාරයා හිතුවා.
තමන් ඉගෙන ගත්ත කාලෙ කරපු ලොජික් පාඩම් හොඳට හිතට ගත්ත කුමාරයා සාර්ථකව නිගමනය කලා මකරා නිදාගෙන ඉද්දි මරන එක සාධාරණයි කියලා. මොකද ඌ නිදාගෙන ඉද්දි පියාඹන්නවත් ගිනි විදින්නවත් බෑ. කුමාරයාට වැඩිය  විශාල නිසාත් ශක්තිමත් නිසාත් මකරගෙ පැත්තට කොහොමටත් වාසිය වැඩියි.
 මෙහෙම හිතලා කුමාරයා මකරා නිදාගෙන ඉන්නවා පේන තෙක්  එයාගෙ අශ්වයා දැක්කුවා. ඇත්තටම ඌ අඩි සීයක් විතර දිගයි;ගොඩක් ලොකුයි. අත්පොතේ කියලා තිබුන විදිහටම උගෙ ඇඟම තද කොරපොතුවලින් වැහිලා තිබුනා. ඒවා හෙල්ලයකින් ඇනලා සිදුරු කරන්න බැරිතරම් තදයි. ඒක නිසා මකර ඇහැටම මානනවා ඇරෙන්න කිසිම විකල්පයක් නෑ. මේ වෙලාවෙදි ඒක වැහිලා තිබුනෙ කුමාරයගෙම වෙලාවට.
හෙල්ලය හරියට මානගත්ත කුමාරයා අශ්වයාට අණ කලා ඉදිරියට දුවන්න.  අශ්වයා මකරට ළංවෙද්දි කුමාරයා උගෙ ඇහැට එල්ලය ගත්තා.
අවාසනාවට කුමාරයගෙ ඇහැ එල්ලය දිහා බලාන හිටියට එයගෙ හෙල්ලට එහෙම කරන්න බැරිවුනා.
  කුමාරයාට උපතින්ම උරුම වුනු  අදක්ෂකම නිසා හෙල්ල බිමට ඇනුනා. කුමාරයා රිටි පනිනවා වගේ අහසට විසි වුනා.
කුමාරයට තරු විසිවුනෙ තමන් තද රළු මතපිටක ගිහිල්ලා ඉන්දවුන නිසා. ඉබේම වගේ කුමාරයා තවත් වැටෙන්න කලින් ඒ මතුපිට මරබයෙන් බදාගත්තා. ටිකක් වෙලා ගිහාම කුමාරයට තේරුනා එයා බදාගෙන ඉන්නෙ මකරගෙ බෙල්ල කියලා.
මේ කලබලේට මකරා ඇහැරිලා එයාගෙ ඔළුව අඩි විස්සක් විතර ඉස්සුවා.
“හෝව් හෝව්...“කියලා කුමාරයා  කුමාරයාට ඉබේම කෑගැස්සුනා. බොහොම අමාරුවෙන් නැගිට ගත්ත මකරා තවක් අඩි දහයක් විතර ඔළුව ඉස්සුවෙ කවුද මේ කෑගහන්නෙ බලන්න.
මේ අතරෙ කුමාරයා පිට උඩ නැති නිසා එයාගෙ  අශ්වයා තීරණය කලා ගෙදර යන්න. අශ්වයා ආපසු හැරිලා එක පිම්මට පැනලා ගියා. දැන් කුමාරයා හොඳටම අතරමංවෙලා.
බෙල්ලෙ පොඩි බරක් දැනුනත් මොනවත් නොපෙනුනු නිසා මකරා ඔළුව හරවලා වටපිට බැලුවා. කොහොම වුනත් මකරටත් අංශක එකසිය අසූවක් විතර ඔළුව හරවන්න බැරි නිසා ඌ සද්දෙන් ඇහුවා.
“කවුදඩෝ...සද්දෙ දාන්නැතුව ඉස්සරහට එනවා යකෝ..!!“
මේක ඇසුනු කුමාරයා පුදුම වුනා. මකරුන්ට කතා කරන්න පුළුවන් කියලා කිසිම මකර සාහිත්‍යයයෙ කිසිම තැනක තිබුනෙ නෑ. ඒ මදිවට බජාර් එකේ බාසාව කතාකරන්න පුළුවන් මකරු!!
“ඇයි අහන්නෙ මේ මම මෙතන ඉන්නවා. මම තමා සතුටු කුමාරයා. “
“ඒයි තමුසෙ මොකද ඔතන කරන්නෙ..අයින්වෙනවා  ඕයි..“
“පිස්සුද මම දැන් බැස්සොත් උඹ මාව කනවා.මට බෑ.“
“අපෝ..මම උඹව කන්නෑ. පළවෙනි කාරණේ මට බඩගිනි නෑ. දෙවනි එක තමුසෙ හිතාන ඉන්නෙ තමුසෙ හරි රසයි කියලද? බහිනවා බහිනවා අපි මේක විසඳගමු. ඒක නෙවි තමුසෙ ගාව හෙල්ලක් නෑ නේද?“
“මගෙ හෙල්ල නැති වුනා. “
“ඕකේ එහෙනම් අපි මේක ජෙන්ටා වගේ කතා කරලා සෙට්ල් කරගම්මු.“
එහෙම කියලා මකරා ඔළුව පාත් කරා. කුමාරයා හිමින් සැරේ බිමට බැස්සා. එයාගෙ ඇඳුමෙ එක පැත්තක් මකරගෙ කොරපොතු වලට ඉරී ගිහින් තියනවා කියලා කුමාරයා දැක්කෙ පස්සෙ.


ඊළඟට මොකද වුනේ? කුමාරයා බහිනකම් ඉදලා මකරා කුමාරයාට මොකද කලේ? අපි ඊළඟ කොටසින් බලමු..


* මෙම සුරඟන කථාව පරිවර්තනයක් පමණි.ලෝ ප්‍රසිද්ධ මුල් රචකයා පිළබඳ මෙම කථාව අවසන පලවනු ඇත. ඔබට අනුමාන කල හැකි නම් පහත කොමෙන්ටුවක සටහන් කරන්න‍.

Thursday, December 22, 2011

සුරඟන කතා: සතුටු කුමරු සහ ගිනි නැති මකරා- 5


කලින් පෝස්ටුවේ අපි නතරවුනේ කුමාරයා මකරව මරන්න ගමන පිටත්වෙලා පොයිස්ටෙසම් රටට ඇතුල් වුනු තැනින්..අද එතැන් සිට..

කුමාරයගෙ ලියකියවිලි පරීක්ෂා කරපු දොරටුපාලයා කුමාරයා ගැන සෑහීමකට පත්වෙලා ඇතුල්වෙන්න අවසර දුන්නා.
“ඔබට දැන් ඇතුල් වෙන්න පුළුවන්. “
“ස්තුතියි“  කුමාරයා කිව්වෙ පොළවෙ තිවුන ගැට්ටක පය පැටලිලා වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි.
“ඔහේට මට නොම්බරයක් දෙන්න අමතක වුනා?“
“නොම්බරයක්! ඒ මොකටද කුමරුනි?“
“එතකොට මට දැනගන්න පුළුවන් මකරාව මරන්න පිටත් වෙන්න ඕනි කීවෙනියටද කියලා.“
“ආහ්..ඔබතුමාට ඕනි වෙලාවක පිටත්වෙන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් ඔබතුමා තමයි දැනට රට ඇතුලෙ ඉන්න එකම විදේශිය කුමාරයා. කොහොමත් මේ වැඩේට කුමාරවරු ඌනතාවයක් තිබුනා. “
“භයානක මකරෙක් වගෙයි පේන්නෙ.?“
“කවුද දන්නෙ බයගුල්ලො පේනතෙක් මානයට විතරක් ගිහිල්ලා පණ එපා කියලා දුවගෙන එනවා.කාටවත් බැරිවුනානෙ දුවන්න කලින් ඌව මරන්න.“
කුමාරයා “චා...චා“ කියල ඔළුවෙ අතගහගත්තෙ බයගුල්ලන්ගෙ හැසිරීම මෙච්චර නරකද කියන්නා වගේ.
“මම ඒක වෙනස් කරන්නම්. මම පොඩ්ඩක් ප්‍රමාද වෙන්නෙ රජතුමාව මුණ ගැහිලා එයාගෙ ආශීර්වාද ගන්නයි අර කියපු ලස්සන කුමාරිකාව දැකබලා ගන්නයි විතරයි. ආ..මොකද්ද එයාගෙ නම ඒක අර දැන්වීමෙ දාලා තිබුනෙ නෑ. “
“කුමරුවනි, ඇගේ නම ලොරේලීන්“
“මගේ අනාගත නැන්දම්මා දැනට ජීවතුන් අතරද?“
“ඔව් ඒත් ඒතුමිය දැන් තාපසිකාරාමයකයි ඉන්නෙ. “
“ආහ් ඒ කියන්නෙ තාපසිකාරාමය හැර අනිත් තැන් හොඳ ඇති!“
“ඔබතුමාට කියන්න තාපසිකාරාමයෙන් පැමිණිලි ගොඩයි. “
         
ෆැරඩේ රජතුමා සතුටු කුමාරයාට අචාර කරලා පිළිගත්තා වුනත් ඒච්චර විශවාසයක් තිබුනෙ නෑ. විශේෂයෙන්ම කුමාරයා පලිහ ගන්න නැමෙනකොට ඒක ලිස්සලා කුමාරයගෙ කකුල් අතරින් රොල් වෙලා ගිය නිසා.
“ඔයාට හොඳටම විශ්වාසද ඔයා මකරෙක් මරන්න දන්නවා“ කියලා රජතුමා ඇහුවෙ විහිළුවට නෙවෙයි.
“ඇත්තටම!මෙන්න මේ හෙල්ලෙන්“ කියලා කුමාරයා හෙල්ල පොඩ්ඩක් ඉහලට ඉස්සුවා. ඒ පාර කුමාරයගෙ අතින් ගිලිහුනු ඒ හෙල්ල ඉගිලිලා ගියේ මාලිගාවෙ වීදුරුවක්ද කුඩු කරගෙන.
“මට පේන්නෙ හෙල්ලට පණ ඇවිල්ල වගේ.“  ෆැරඩේ රජතුමා කිව්වෙ ඉස්සෙල්ලා අවිශ්වාසෙට තවත් වඩියක් එකතු කරගෙන. හෙල්ල අරන් එන්න රජතුමා දාසයෙක් යැව්වා.
ලොරේලීන් කුමරිය  කුමාරයා දිහා බලලා සිත් ගන්න සුළු විදිහට කුමාරයා එක්ක හිනාවුනා.
“අනේ මකරව මරන්න ගිහින් ඔයා නම් මැරෙන්න එපා“ කුමරිය කිව්වා. ඔයා මැරුනොත් මට ඉදලා වැඩක් නෑ. “
“ඔයා තමයි මාව ජීවත් කරන්න මට ලැබිල තියන එකම හේතුව“  සතුටු කුමාරයා කිව්වෙ එයාගෙ තොප්පිය ගලවලා ආචාර කරන ගමන්. තොප්පිය ගලවලා අතට ගනිද්දි ඒකෙ පිහාටු ටික රජතුමාගෙ ඇහේ වැදිලයි නතරවුනේ.
පහුවදා උදේ කුමාරයාට ෆැරඩේ රජතුමාගෙ පුරෝහිතගෙන් මංසළකුනුයි සිතියමකුයි ලැබුනා. රජතුමාටයි කුමරියටයි අත වැනූ කුමාරයා ගමනට පිටත් වුනා.
“එයා මකරව මරයි එයාගෙ පියාඹන හෙල්ලෙන් හරි අර මාරාන්තික තොප්පියෙන් හරි....!!“ රජතුමා කිවුවෙ හොඳ මුහුණකින් නම් නෙවෙයි.
“අනේ ටිකක් හිතනනකො තාත්තෙ එයා මකරව මැරුවොත් රාජධානියෙ ඉන්න ගෑනු ළමයි ඔක්කොම ආරක්ෂා වෙනවනෙ.“ ලස්සන දුඹුරු පාට කොණ්ඩයක් තියන ලොරේලීන් කුමරිය කිව්වා.
“ඒ එක්කම ඔයත්.“ රජතුමා කිව්වා.
“දැන් තාත්තේ සතුටු කුමාරයා මොකක් හිතයිද ඔයා ඔහොම කියනවා ඇහුනොත්..“කුමරිය කිව්වෙ දඟකාර සිනාවක් එකක.

මාර්ග සිතියමේ පෙන්නපු මාර්ගය දිගේ සතුටු කුමාරයා සතියකුත් දවසක් ගියා. අන්තිමට ගන වනාත්තරේක මැද්දෙ නැවතුන කුමාරයාට දැන් නම් මකර ගැවසෙන ප්‍රදේශයට ගොඩක් ළඟයි කියලා තේරුනේ අශ්වයාගෙ කන් උස්වෙලා උගෙ නහය හැකිලුනු නිසා.
නිකම් රළු ගොරවන සද්දයක් ඇහුනාම කුමාරයාගෙ කනුත් උස්වුනා. ඒ සද්දෙ හරියටම මකර දඩයක්කාරයන්ගෙ අත්පොතේ විස්තර කරලා තියන විදිහෙම සද්දයක්. ඒක මහ ගැඹුරු සද්දයක් හරියට ලොකු භයානක සතෙක් ළඟට එනවා වගේ. ඒවගේම නහය හැකිලෙන තරම් ගඳක් කුමාරයට දැනුනෙ හරයට මකරගෙ කස්තුරියෙන් එනවා වගේ. ඒක එච්චර ප්‍රසන්න එකක් නම් නෙවේ.


ම්..කුමාරයට මකරව දකින්න පුළුවන් වුනාද නැත්නම් එයත් අනිත් අය වගේ දුවන්න ගත්තද? අපි ඊළඟ කොටසින් බලමු...



* මෙම සුරඟන කථාව පරිවර්තනයක් පමණි.ලෝ ප්‍රසිද්ධ මුල් රචකයා පිළබඳ මෙම කථාව අවසන පලවනු ඇත. ඔබට අනුමාන කල හැකි නම් පහත කොමෙන්ටුවක සටහන් කරන්න‍.



Wednesday, December 21, 2011

සුරඟන කතා: සතුටු කුමරු සහ ගිනි නැති මකරා- 4

සුරංගනා කතාව පටන් ගත්ත හැටි....

කලින් පෝස්ටුවෙ අපි නතර වුනෙ බිසව සුරංගනාවට බනිනකොට රජතුමා බයවෙලා එයාට කට වහගන්න කියල කිව්ව තැනින්...අද එතැන් සිට..


“ඔය කියන මිස්ප්‍රොප් සමහරවිට පේන්නැතිව මේ වටේ සැරිසරනවා ඇති. අනිත් එක කුමාරයා නොසැලකිලිමත් වුනත් එයාගෙ අනිත් ගතිගුණ නිසා අමාරුවෙ වැටෙන්නැතිවෙයි. බයවෙන්න එපා. එයා පිට රාජ්‍යකට ගිහිල්ලා මකරෙක්ව මරලා ලස්සන කුමාරිකාවක් කසාද බඳීවි. ඊටපස්සෙ සේනා එක්ක ගිහිල්ල සටන් කරලා මාමටයි අපිටයි රාජධානිය ලොකු කරගන්න උදව් කරාවි. එයා විශිෂ්ඨ රජතුමෙක් දක්ෂ සටන්කරුවෙක් වේවි. ඔයා ඉතිහාසෙ කතා කියවලා බැලුවොත් ඒක තමයි හැමදාම වෙලා තියෙන්නෙ. “රජතුමා කිව්වා.
“ඒත් මේවා කවද වෙන වැඩද? මම දන්න විදිහට දැන් අවුරුදු ගානකින් මකරු ගැන ආරංචියක්වත් නෑ.“ බිසව පිළිතුර දුන්නා.                
“ඇත්තටම කුමාරවරුම මරලා මකරු වඳවීයන වර්ගයට අයිතිවෙලා තියෙන්නෙ. මේ දවස්වල සමහර රාජධානිවල කතාවෙනවා මීට පස්සෙ මකරු මරන එක තහනම් කරන්නත්.“
“ඒක ඔය මකරු කන්න බලාන ඉන්න ගෑනු ළමයින්ටත් හොඳ ආරංචියක් වේවි.“බිසව කිව්වෙ කුමරයා පිටත් කරන එක ගැන තරහින්.
“මකරු කනවා කියන්නෙ කන්‍යාවො විතරනෙ. කොහොමද දන්නෑ උන් කන්‍යාවො අඳුරගන්නෙ? “
“මේකනෙ කන්‍යාවන්ගේ සංගමයත් මේකට සෑහෙන්න මහන්සි වෙනවා. එයාලා මේ දවස්වල සටන් පාඨය විදිහට අරන් යන්නෙ “ඔයාලා වශී කරගන්න කැමති මකරෙක්ද කන්‍යාවක්ද කියලා.“  
මම හිතන්නෙ මීට පස්සෙ කුමාරයන්ට පුළුවන් මකරු වෙනුවට ඔය බෝදිලිමො, ගිනිහොටව් වගේ සත්තු මරන්න. ඒත් උනුත් මම හිතන්නෙ වඳවී යන වර්ගයට තමා අයිති. අපි දැන් ජීවත් වෙන්නෙ අමාරු කාලෙකනෙ. මම බලාන අපෙ පුරෝහිත කියනවා මකරු මරාදැමීමේ ගැසට් එකේ මකරු අවශ්‍ය වී ඇත කියලා දැන්වීමක් දාලා තියනවා  කියලා. පොයිස්ටෙස්ම් රාජධානියෙ මකරෙක් මරන්න ඕනි කියලා දාල තියන දැන්වීමෙ රජ කුමරියගෙ පින්තූරෙත් දාලා තියනවා. කුමාරිකාව නම් ලස්සනයි තමයි ඒත් මකරා දරුණු සතෙක් හින්දා මම හිතන්නෙ ඌව මරන්න කුමාරවරු හොයාගන්න එක ලේසිවෙන්නෑ. “
“මකරා දරුණුයි නම් මම හිතන්නෙ සතුටු කුමාරයා ජීවිතේ පරදුවට තියනඑකේ තේරුමක් නෑ. “
“ඒත් දේවිය මම කුමාරයාට කතා කලාම අර දැන්වීමෙ හිටිය කුමාරිකාවගෙ පින්තූරෙ දැකලා කැමති වුනා. එයා නොසැලකිලිමත් තමයි ඒත් ඒ වගේම නිර්භීතයි කියන එකත් අමතක කරන්න එපා. “
 “අයියෝ මම හිතන්නෙ මට පුතාව ආයෙ දකින්න ලැබෙන එකක් නෑ. මට විශ්වාසයි ඔය කියන කුමාරිකාවගෙ පිත්තූරෙ අර කොම්පීතරවලින් හදපු එකක් වෙන්නැති මගේ පුතාගෙ හිත ගන්නම..“

බිසව කොච්චර ඇඬුවක් රජ සිරිත ඉෂ්ට කරන එක අනිවාර්යයි.  කුමාරයා ගමනට ඕනි අඩුම කුඩුම සියල්ල සූදානම් කරගත්තා.  ඒ එක්කම පුරෝහිත දුන්න පොයිස්ටෙස්ම් රාජධානියෙ ප්‍රධාන මාර්ග පෙන්නන සිතියම හොඳට අධ්‍යනය කලා.  කුමාරයා අඩි දොළහේ හෙල්ල දෙකක් එයාගෙ විශ්වාසවන්ත කඩුව වගේම මළකඩ කන්නැති සැහැල්ලු යුධ සන්නාහකයත් සූදානම් කරගත්තා.පුරෝහිත නම් කිව්වෙ ඒ සන්නාහකය හදලා තියෙන්නෙ ඇලුමීනියම් කියලා මැජික් ලෝහයෙන් කියලා.

කුමාරයා ගමනට පිටත් වුනා. රජතුමාත් බිසවත් එයා නොපෙනී යනකන්ම අතවැනුවා. කුමාරයා ධෛර්යමත් කරන්න මග දෙපස ජනතාව රැස්වෙලා හිටියා.  ඒ අතරෙ පේන තෙක් මානයෙදි කුමාරයා අශ්වයගෙන් වැටෙයි කියල ඔට්ටු අල්ලපු අයත් නොහිටියාම නොවෙයි. (කුමාරයා වතාවක් දෙවතාවක් විතර වැටුනා තමයි!)

පොයිස්ටෙස්ම් රාජධානියට ළඟාවෙන්න කුමාරයාට වසරකුත් දවසක් ගතවුනා. ඔව් ඒක තමා සම්මත කාලේ කුමාරයා අතරමං වුනේ නෑ. ඇත්තටම කියනවා නම් කුමාරයා ඒ රටේ මායිම පහු කලේ සති ගානකට ඉස්සෙල්ලා. පොයිස්ටෙස්ම් රාජධානියෙ ෆැරඩේ රජතුමාගෙ මාලිගාවට එන්න තමයි ඉතිරි කාලය ගතවුනේ.

මාලිගාවෙ දොරටුපාලයා කුමාරයාගෙ හැඳුනුම් පත්‍රය හොඳට පරීක්ෂා කළා. ඊට පස්සෙ කුමාරවරුන්ගේ නාමාවලිය පරීක්ෂා කරපු දොරටුපාලයා කුමාරයගෙ මූණ දිහා බැලුවා.

ඊළඟට මොකද වුනේ? කුමාරයාට මාලිගාවට ඇතුල්වෙන්න අවසර ලැබුනද?  අපි ඊළඟ කොටසින් බලමු.



* මෙම සුරඟන කථාව පරිවර්තනයක් පමණි.ලෝ ප්‍රසිද්ධ මුල් රචකයා පිළබඳ මෙම කථාව අවසන පලවනු ඇත. ඔබට අනුමාන කල හැකි නම් පහත කොමෙන්ටුවක සටහන් කරන්න‍.