Tuesday, April 17, 2012

සිහිනය සැබෑ කරගත් කුකුල් කේන්තිකාරයා 5

කලින් ලිපියෙන් අපි  කතා කලේ වරප්‍රසාද් තම සිහිනය ඉන්දියාවේදී පණ ගැන්වූ ආකාරයයි. අපි අද වරප්‍රසාද් තමන්ට අවැසි තාක්ෂණය සොයා ගිය හැටි ගැන කතා කරමු. 
ශාන්තා බයෝටෙක් අද..

                මෙතුවක් කල් දුරකථනයෙන් පැවැත්වූ සබඳකම් වලට නව මානයක් ගෙනෙමින් 1993 මුලදී වරප්‍රසාද්ට ආචාර්ය ගුන්තක මුණ ගැසීමට අවස්ථාව උදාවිය. ව්‍යාපාරයේ විස්තර ඇසූ ආචාර්ය ගුන්තක ඒ ගැන කෙතරම් පැහැදුනේද යත් ඔහුට තව තවත් උදව් කිරීමට පොරොන්දු විය. මොහොතකට සිතන්න ජීවතාක්ෂනය හෝ ඖෂධ නිපදවීම ගැන මළපොතේ අකුරක් නොදත් වරප්‍රසාද්ට ලෝකයේ පිළිගත් නොබෙල් ත්‍යාග තේරීම් කමිටු සාමජික විද්‍යාඥයකුගේ පැහැදීමට ලක්වීම තරම් පුදුමයක්! ආචාර්ය ගුන්තක වරප්‍රසාද්ගේ කටයුතු සඳහා කොලොම්බියාවේ ඔහුගේ විද්‍යාගාරයේ පහසුකම් ලබාදුන්නේය.
               1993 අගෝස්තුවේදී ආචාර්ය ගීතා ඔස්මනියා විශ්ව විද්‍යාලයෙන් නිවාඩුගෙන ආචාර්ය ගුන්තකගේ විද්‍යාගාරය බලා පිටත් වූවාය. ඇය හෙපටයිටිස් බී වෛරසයේ මතුපිට වසා ගන්නා කවරය නිර්මාණයට දායක වන ප්‍රතිදේහය (Surface Antigen) වෙන්කර ගැනීමට තම පර්යේෂන කටයුතු මෙහෙය වූවාය. ඇය මෙවැන්නක් කවදාවත් කර නොතිබූ අතර අනිත් අතට වරප්‍රසාද් ඇය කෙරෙහි පූර්ණ විශ්වාසය තැබුවේය.
               සාමාන්‍යයයෙන් සියළුම එන්නත් තුල මෙම ජානය අඩංගු වූ අතර ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෛරසය විනාශ කිරීමට පණ ගැන්වූයේ මෙම ජානයේ බලපෑම මගිනි. මෙහිදී අභියෝගය වන්නේ මෙම ප්‍රතිදේහ ජනකය වෛරසයෙන් වෙන් කරගෙන වෙනත් ජීව වස්තුවක රෝපණය කිරීමයි. මෙම රෝපණයේදී වෛරසය නොමැතිව ප්‍රතිදේහ ජනකය පමණක් නිපදවිය යුතු වීමයි. මෙමගින් ශරීරය තුල ඇති පදම් ප්‍රතිදේහ නිපදවීමට උත්තේජනය කරන අතර පසුකලෙක හෙපටයිටිස් බී වෛරසය සිරුරට ඇතුළු වූවොත් ඒවා විනාශ කරනු ඇත.මෙම තාක්ෂණයේදී ජීව වස්තු දෙකක- දායකයකයා හා බැක්ටීරියාවක ජාන (DNA) එකතු කිරීම මගින් බැක්ටීරියාවට අළුතෙන් ජාන ගුණාංගයක් ලැබෙන අතර ඒ වෛරසය වෙනුවෙන් මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණයක් ගොඩ නැගේ. 
             අළුතෙන් සොයාගත් තාක්ෂනයක් වූ මේ සඳහා කෙරී ඇති පර්යේෂන අවම මට්ටමේ පැවතීම අභියෝගයක් නොවූවා නොවේ. මෙවන් ඖෂධයක් නිපදවීම සඳහා තියරිය දැන සිටියද, සැබෑ නිශ්පාදන ක්‍රියාවලිය තවමත් රහසකි.
               මාස හතරක් ගෙවී ගියේය. ප්‍රතිදේහ ජනකය වෛරසයෙන් වෙන් කර ගත් අතර 1993 දෙසැම්බර් මසදී ආචාර්ය ගීතා නැවත ඉන්දියාවට පැමිණියාය.
අළුත් දෙයක්  ප්‍රතිඵල ක්ෂණික ආප්ප මෙන් පණ ගැන්වෙන්නේ නැත. කල් ගත වන විට මුලදී තිබූ ජවය රැක ගැනීමටද අපහසුය. වරප්‍රසාද්ට ඒ මන්දෝත්සාහීබවට එරෙහිවද සටන් කිරීමට සිදුවිය
               වරප්‍රසාද්ට නම් පර්යේෂන එහි වාඩුව ගනිමින් සිටියා මෙන් දැනී තිබුනේය. වසර දෙකක් ගතවුවද අතැති මුදල් දියවී ගියද තමන්ගේ පියාගේ ඉඩම් එකිනෙක විකිණුනද කාලයද මුදල්ද තවත් මදිපාඩුය. මුදල් සොයා වරප්‍රසාද් තැනින් තැනට ගියේය.ඒ වන විට කිසිම ඉන්දියානු බැංකුවක් ජීවතාක්ෂනය යනු සුදුද කලුද කියාවත් දැනගෙන නොසිටියහ. එක් ජාතික බැංකුවක සභාපතිවරයෙකු 
 “මගේ කාලය නාස්ති නොකර තොලොංචිවෙයන්“
            යැයි කීවේය. ප්‍රාග්ධන ජාවාරම්කරුවෝ ව්‍යාපාරයේ ලොකු හිමිකම් ඉල්ලූ අතර එයට එකඟ වූවානම් වරප්‍රසාද්ට පඩි ලබන සේවකයකුට වඩා වැඩි දෙයක් නොලැබෙන්නට ඉඩ තිබිණි. සෑම දොරක්ම වැසී ඇති බව වරප්‍රසාද්ට දැනුනද ඊළඟ පියවර සඳහා ජීවාණුහරණය කරන ලද කාමර,අධිතාක්ෂණික උපකරණ හා විද්‍යාගාරයක් සඳහා අවශ්‍යව තිබුනි.
             සියල්ලම සිසිර සෘතුවේ මීදුම මෙන් නොපැහැදිලි වන්නට පටන් ගත්තේය. මෙතරම් උත්සාහ කලද වරප්‍රසාද් සහ ඔහුගේ ව්‍යාපෘතිය අමාරුවේ වැටී ඇත. එහෙත් සාමාන්‍යයයෙන් සිදුවන පරිදි නොසිතූ තැනකින් උදව් ලැබුනේය. ඕමානයේ විදේශ ඇමතිවරයා ආයෝජනය කිරීම සඳහා ව්‍යාපාර අවස්ථා සොයන්නට වූ අතර ඔහුගේ නියෝජිතයා වූ කලීල් මහතාට වරප්‍රසාද්ගේ සිහිනය ගැන ආරංචි වී තිබුනි. ඔවුන් මුම්බායේදී මුණ ගැසුනහ. සමාජ මෙහෙවරක් සඳහා වරප්‍රසාද්ගේ කැපවීම කලීල්ගේ සිත් ඇදගත්තේය.
             තමන්ගේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා වරප්‍රසාද් මෙතුවක් කල් කල කී දෑ හා ඒවායේ ගුණාත්මක තත්වය ගැනද කලීල් පැහැදුනේය. ඕමාන් විදේශ ඇමතිවරයා රුපියල් ලක්ෂ 190ක් ආයෝජනය කල අතර ඕමානයේ බැංකුවෙන් ලිහිල් කොන්දේසි මත ණය ආධාරයක්ද සූදානම් කර දුන්නේය. වරප්‍රසාද් තම උපරිම වේගයෙන් ක්‍රියාත්මක වූ බැවින් මුදල් ඔහු වෙත ගලා ආවේය.



වරප්‍රසාද් වැනි විප්ලවීය සොයාගැනීම් කරන්න් සෑම දොරකටම තට්ටු කරති;විශ්වයේ කුඩා වෙනසක් කිරීම වෙනුවෙන් මිනිසුන් හමුවී ඔවුන් පොළඹවා ගන්නට පහදවා ගන්නට උත්සාහ කරති. එයින්ම ගතිබලය (momentum) ඇතිවන අතර නොහැකි දේවල් සිදුවීමට පටන් ගනී. සමහරුන්ට එය අහම්බයක් ලෙස හෝ වාසනාව ලෙස පෙනීමට ඉඩ ඇත.

             නිදා සිටියදී දකින සිහින රෝස මල් යහනාවකින් කෙළවර වුවද සැබෑ ලොවේදී එසේ වන්නේ නැත. වරප්‍රසාද්ට අවැසි මුදල් ලැබුනද එක් රැයකින් සිහිනය එළිවුනේ නැත අපි ඒ ගැන ඊළඟ කොටසෙන් කියවමු.

පින්තූරු අනුග්‍රහය: http://www.nature.com/nbt/journal/v25/n4/full/nbt0407-403.html

Monday, April 16, 2012

සිහිනය සැබෑ කරගත් කුකුල් කේන්තිකාරයා 4

කලින් ලිපියෙන් අපි වරප්‍රසාද් තමන්ගේ සිහින ගොඩ නගන්නට ගඩොල් එකතු කල සැටි අපි දුටුවෙමු. අද පෝස්ටුව ඔහු තම සිහිනය ඉන්දියාවට රැගෙන ඒම ගැනයි.

           වරප්‍රසාද් නැවත ඉන්දියාවට පැමිණියේ කුඩා මුදලක් හා ලොකු සිහිනයක් අතැතිවය. මෙම සිහිනය සැබෑ කරගැනීමට හැකි මිනිසුන් සෙවීම ඊළඟ අභියෝගයයි. මීට කලින් මේ ගැන සිතා වත් නැති දෙයක් කිරීමට මිනිසුන් එකතු  කරන්නේ කෙසේද? තමන්ගේ සිහිනය සඳහා ඔවුන්ගේ ශ්‍රමය මිලට ගන්නේ කෙසේද? මේ ගැන පුහුණු වූවන් සිටින එක ගැන පවා සැක සහිතය. ඔහු ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවරයෙකි. ජීවතාක්ෂණය ගැන අකුරක්වත් ඔහු දැන සිටියේ නැත. එහෙත් එය ඔහු නවතාලූයේද නැත.
            ඔහු මේ ගැන දන්නා මිනිසුන් හා ආයතන සොයා රට වටේ ගියේය. හයිඩ්‍රාබාද් හි ඔස්මනියා විශ්ව විද්‍යාලයට ඔහු ගොඩ වැදුනේ මේ එක ගමනකදීය. එහි උපකුලපති ආචාරය මල්ලා රද්දි ඔහුගේ සිහිනයට, ලාලසාවට ජවයට වශී විය. වරප්‍රසාද්ට අවශ්‍ය පර්යේෂණ පැවැත්වීම සඳහා විශ්ව විද්‍යාල රසායනාගාර භාවිත කිරීමට ඔහුට අවසර ලැබිණ. ඒ සඳහා වරප්‍රසාද් ලක්ෂ 5ක් යොදවා විද්‍යාගාරය දියුණු කළ යුතු විය. ප්‍රතිලාභ වශයෙන් මුළු විද්‍යාගාරයේම පහසුකම් භාවිතා කිරීමට ඉඩ ලැබිනි. මසකට රුපියල් 20,000ක් පමණ වැය කල යුතු වූ ආයෝජනයක ප්‍රතිලාභ එක්වර ලක්ෂ පහක් පමණක් වියදම් කිරීමෙන් වරප්‍රසාද්ට ලබා ගත හැකි විය. 
ඔස්මනියා විශ්ව විද්‍යාලය
            ඔස්මනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂන කරමින් සිටි ආචාර්ය ගීතා ෂර්මා වරප්‍රසාද්ට මුණ ගැසුනේ මේ අතරය. ඇයට මින් පෙර නිව්යෝක් හි රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් හා ආචාර්යවරුන් සමඟ එකට පර්යේෂන කොට අත්දැකීම් තිබිණි. ඇගේ පර්යේෂන පදනම් වී තිබුනේ මිනිස් සිරුර තුල වෛරස සෛල ගුණනය වීම අඩපණ කරනා ප්‍රෝටීනයක් පිළිබඳවය. එමගින් ශරීරයේ ප්‍රතිශක්තීකරණ හැකියාව ඉහල නැංවීමට හැකි විය. ඇය මේ ගැන වරප්‍රසාද්ට කීවේ ඔහුගේ සිහිනය සැබෑ කරගැනීමට මෙම උපක්‍රමය භාවිත කල හැකි බව විශ්වාස කරමිනි.   
            එදින සාකච්ජාව නිමවුනේ හෙපටයිටිස් බී සුවකිරීම සඳහා ඉහත කී ප්‍රෝටීනය භාවිතා කල හැකිද යන්න සෙවීමට ව්‍යාපෘතියක් ඇරඹිමෙනි. ඇයට අවශ්‍ය සහාය ලබා දීමට වරප්‍රසාද් එකඟ විය. ආචාර්ය ගීතා වරප්‍රසාද් විසින් ඇරඹු විද්‍යාගාර කාර්යයන් අධීක්ෂනය කලාය.
             ආචාර්ය ගීතා වරප්‍රසාද්ට හමුවූ පළමු හා වඩාත්ම කැපවුණු සහයට ඩැනී බව අවිවාදිතය. ඇගේ සහාය මේ ව්‍යවසායකයාට ලැබුනේ ඔවුන් දෙදෙනාගේම සිහින මෙම ව්‍යාපෘතිය මගින් සාධනය කොටගත හැකි වූ නිසාය.





ආචාර්ය ගීතාට තමන්ගේ සිහිනය සාධනයට අවැසි නිදහස ලබා දුන් බැවින් වරප්‍රසාද්ට ඔහුගේ සිහිනය සැබෑ කර ගැනීමට ඇගේ සහය ලැබුනි. වරප්‍රසාද් සහවක සබඳතාවයක් නිර්මාණය කලේය. විප්ලවාදී සොයාගැනීම් කරන්න් මෙම සහජීවී සම්බන්ධතා නිර්මාණය කරගන්නේ සහායකයින් ආකර්ෂනය කර ගැනීමටය. ඔවුන් අන් මිනිසුන්ගේ සිහින තමන්ගේ සිහින සමඟම සැබෑවෙන ලෙස ක්‍රම සහ විදි නිර්මාණය කරයි. ඔවුන්ගේ සිහිනය සැබෑවන අයුරු පෙන්වා දුනහොත්  ඒ මිනිසුන් තමන්ගේ සිහිනය සැබෑ කරගැනීම සඳහා ඔබ සමඟ ලෝකාන්තයට හෝ ගමන් කරනු ඇත.
                    ආචාර්ය ගීතා විද්‍යාගාර සේවය සඳයා විද්‍යාඥයින් හා ජීව තාක්ෂනවේදීන් බඳවා ගත්තාය. අවශ්‍ය උපකරණ සඳහා ලැයිස්තු සෑදුවාය. අවශ්‍ය යන්ත්‍ර එකින්එක පැමිණයද කණ්ඩායමට උදව් හා මාර්ගෝපදේශ අවශ්‍යව පැවතින. වසර 1992 අග භාගය වෙද්දී තමන්ගේ ඥාති සහෝදරයන්ගේ උදව්වෙන් වරප්‍රසාද් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ විශිෂ්ඨ ජීව තාක්ෂණ විද්‍යාඥයකු වූ ආචාර්ය ගුන්තක රාමි රද්දි දැන හඳුනා ගත්තේය. ඔහු හා ටෙලිෆෝනයෙන් කතා කල වරප්‍රසාද් ඉන්දියාවේ පර්යේෂන කණ්ඩායම සඳහා උදව් කිරීමට කැමති කරවා ගත්තේය. ඔහුගේ උදව් හා කැපවීම කොතෙක්ද යත් ආචාර්ය ගුන්තකගේ බිරිඳ ඉන්දියාවට ගන්නා ලද ඇමතුම් සඳහා වන ගාස්තු ගැන වරප්‍රසාද් සමඟ නිතර මැසිවිලි නැගුවාය.
               වරප්‍රසාද්ගේ සහයට එකින් එකා එකතු විය. ඔහුගේ දැක්මේ ඇති සුවිශේෂි නිර්භීත බව හා කැපවීම මිනිසුන්ගේ ගෞරවයට පාත්‍රවිය. ශාන්තා බයෝටෙක්නික් 1993 වන විට තමන්ගේ දෙපයින් නැගී සිටීම ආරම්භ කලේය. ව්‍යාපාරයේ නම තබනු ලැබූයේ සමාජ මෙහෙවරක් ඉටු කල හැකි ව්‍යාපාරයක් සඳහා සෑම විටම වරප්‍රසාද් ධෛර්යයමත් කල ඔහුගේ මව සිහි වීමටය
              සිත ඇති මිනිසෙකුව අන් සියල්ල ඉටු කර ගත නොහැකි දේවල් නොවේ. වරප්‍රසාද් තමන්ට අවැසි තාක්ෂණය සොයාගත්තේ කෙසේද? අපි ඊළඟ ලිපියෙන් ඒ ගැන කතා කරමු. 

පින්තූරු අනුග්‍රහය: http://www.skyscrapercity.com/showthread.php?t=444913

Sunday, April 15, 2012

සිහිනය සැබෑ කරගත් කුකුල් කේන්තිකාරයා 3

පූර්විකාවට

කලින් පෝස්ටුවේ අපි කතා කලේ වරප්‍රසාද්ගේ සිහිනය ඉපදුනු හැටියි. ඔහු ඉන්පසු ක්‍රියා කල හැටි අපි අද කතා කරමු.


          වරප්‍රසාද් හෙපටයිටිස් බී ගැන මුල්වරට ඇසුවේද ජිනීවා වලදීය. ආපසු ඉන්දියාවට පැමිණෙන ඔහු රෝගයේ බරපතල බව ගැන කරුණු රැස් කලේය. රැස් කල කරුණු අනුව හෙපටයිටිස් බී එන්නත ඉන්දියාවේ සෑදීමට ඔහු තීරණය කලේය. ඒ සඳහා ලේසිම හා පහසුම ක්‍රමය වූයේ තාක්ෂන හුවමාරු වැඩපිළිවෙලකි. ආපසු ඇමරිකාවේ ජීවත් වූ තමන්ගේ ඥාති සොයුරන් නැවත හමුවූ ඔහු මේ සඳහා ආයතනයක් සොයා දෙන්නැයි ඉල්ලුවේය.ඔවුන් ඔහුව බටහිර කැලිෆෝනියාවේ තිබූ ප්‍රසිද්ධ ජාන ඉංජිනේරු ආයතනයකට යොමු කර වූහ.
        වරප්‍රසාද් එහි ගියමුත්, සුපුරුදු පරිදි ඔහුට බටහිර ඇමරිකාවේදී රතු ඉන්දියානුවන් හමුවූයේ නැත. එහෙත් මේ තාක්ෂනය ඉන්දියානුවන්ට ඉගෙන ගැනීමට බැරි තරම් සංකීර්ණ දරා ගැනීමට බැරි තරම් මුදල් වැයවෙන්නක් බව කීවෙකු ඔහුට හමුවිය. 
“ඔයා ඔච්චර දඟලන්නෙ ඇයි? මිනිසුන් කීපදෙනෙකුගේ මරණය ඉන්දියාවට එතරම් දෙයක් වෙන්න බෑ.“
          ඔහු තවදුරටත් කීවේය. වරප්‍රසාද් කලින් වූ සිදුවීමට කේන්ති ගොස් සිටියේ නම් මේ සිදුවීම මල පැනීමක් බවට පත්ව තිබුනි. කනින් දුම් දාමින් නැගිට සිටි ඔහු තමන් වසර දෙකක් ඇතුලත ඉන්දියාවේදී එන්නතක් නිපදවා ඉන්දියානුවන්ට ඉන්දියාවේදී කල හැකි දෑ පෙන්වන බව ඔහුට කීවේය.
          නැවතත් නිව් ජර්සි බලා ගිය ඔහු තම යහළුවන්ගෙන් හා ඥාති සොයුරන්ගෙන් ඉල්වූයේ ඇමරිකාවේ සේවය කරන ජීව තාක්ෂණය අකුරක් හෝ දන්නා ඉන්දියානුවන් මුණගස්වන ලෙසය. ඔවුන් ඔහුගේ ඉල්ලීම ඉටුකලහ. තිහක් හෝ හතලිහකින් සමන්විත වූ මේ රැස්වීමේදී තමන් මේ ව්‍යාපෘතිය සඳහා වෙහෙසෙන්නේ ඇයි දැයි අවංකව පැහැදිලි කල වරප්‍රසාද් ඉන්දියාවේ ඉතිහාසය වෙනස් කිරීමට දායක වන්නැයි රැස්ව සිටි පිරිසෙන් කාරුණිකව ආයාචනය කලේය. ඔහුට ඉන්දියාවෙන් හෙපටයිටිස් බී වසංගතය තුරන් කිරීමට අවශ්‍ය වී තිබුනි.
           ඔහුගේ කාරුණික ආයාචනය බොහො දෙනෙකුගේ සිත් ඇද ගැනීමට සමත් වුවද වරප්‍රසාද් ඉන්දියාවේදී අධි තාක්ෂනික r-DNA අඩංගු එන්නතක් නිපදවීමට බලාපොරොත්තු වන බව ඇසූවිට සැවොම සිනා සීමට පටන් ගත්තෝය. ඒ සිනහව ඇසූ වරප්‍රසාද්ට යක්ෂයා ආරූඬ විය.
“තමුසෙලා මොන වගේ ඉන්දියානුවොද? තමුසෙලා ඉන්දියාවෙ ඉගෙන ගෙන තාමත් තමන්ගෙ ඕනෑ එපාකම් ඉන්දියාවෙන්ම බලාපොරොත්තුවෙනවා. ඇයි තමුසෙලා තමන්ගෙ රටට මොනවා හරි දෙන්න උත්සාහ කරන්නැත්තෙ? ඉන්දියාවෙන් තමුසෙලට ඕනෙ අච්චාරුයි චටිනියි විතරද?“
         මෙය ඇසූ සැවොම තමන්ගේ අසුන් වලින් උඩ විසිවී නැගී සිටියහ. මෙසේ රටක් ලෙස ඉන්දියාව ජීව තාක්ෂණ යුගයට පිය නැගුවේය. 
 




විප්ලවකාරී සොයාගැනීම් කරන්නෙකුගේ මූලික ලක්ෂණයක් වනුයේ මිනිසුන්ගේ හැඟීම් වලට සිතුම් පැතුම් වලට ඇමතීමට ඇති හැකියාවයි. එනයින් තමන්ගේ අරමුණ කරා යාමට ඔවුන්ගේ සහය ලැබීමට ඇති හැකියාවයි. ඔහු මිනිසුන්ගේ තර්කානුකූල බුද්ධිය අභිබවා ගොස් හැඟීම් වලට ආයාචනා කරයි. වරප්‍රසාද් මෙසේ කරද්දී ස්ටීව් ජොබ්ස්ද වෙනත් ආකාරයකට මෙය ක්‍රියාවකට නැගුවේය. ජොන් ස්කලීගේ ප්‍රශ්නයකට පිළිතුරු ප්‍රශ්නයක් අසමින් ස්ටීව් ජොබ්ස් මෙසේ කීවේය. ඔබට සීනි කවලං වතුර විකුණමින් සැමදා ඉන්නවාද නැත්නම් ලෝකය වෙනස් කිරීමට අවශ්‍යද?


        මෙසේ රැස්වීමට එකතු වූ විද්‍යාඥයන් වරප්‍රසාද්ගේ කතාවෙන් ධෛර්යයමත් වූ අතර ඔවුන් වරප්‍රසාද්ගේ සිහිනය වූ හෙපටයිටිස් බී ඉන්දියාවෙන් තුරන් කිරීම සඳහා සහය දීමට පොරොන්දු වූහ.  ඉන්දියාවෙන් එකතු වූ කණ්ඩාමයක් පුහුණු කිරීමට හැකියාව ඇත්තවුන් ඇමරිකාවෙන් සොයා ගැනීමට ඔවුන් කටයුතු කලහ. ඊට අමතරව වරප්‍රසාද් හට ඔවුන්ගෙන් රුපියල් ලක්ෂ 120ක් එකතු කරගැනීමටද හැකිවිය. යහපත් අරමුණක් වෙනුවෙන් සිත් රැසක් එක්සත් විය.  




වරප්‍රසාද් තම සිහිනය සුළුවට සිතුවේ නැත. මුළු හදින්ම ඒ ගැන සිතද්දී ඔහුගේ මොළය ඒ සිහනය වෙනුවෙන් කැපවුනේය. තමත් සිත් කිහිපයක්ම තම යහපත් අරමුණ වෙත නම්මා ගැනීමට ඔහුට හැකි වූයේ ඒ නිසාය. අනික් අතට ගත් කල අපි බොහෝ දෙනෙක් අපේ සිහින ගැන ලොකුවට සිතමු. එහෙත් එය ටික කාලයක් ගතවෙද්දී පරණව උක් දණ්ඩක් සේ වියළී යයි. බිත්තියේ තවත් එක් ගඩොලක් පමණක්ම වෙයි.
  • ඔබගේ සිහිනය කොහෙද?
  •  ඔබගේ ආශාව මොකද්ද?එය තවමත් පවතිනවාද?
  • ඔබ ඒ ගැන සිතමින් ක්‍රියාත්මක වෙනවාද?

         වරප්‍රසාද් තම සිහින ප්‍රාසාදයේ පදනම දමා ගඩොලින් ගඩොල බිත්ති බැඳීම ඇරඹුවේ මින් පසුවයි. ඒ ගැන අපි ඊළඟ කොටසින් කියවමු.

පින්තූර අනුග්‍රහය: http://beauty-healthcare.blogspot.com/2011/01/hepatitis-b-treatments-hepatitis-b-cure.html

Saturday, April 14, 2012

සිහිනය සැබෑ කරගත් කුකුල් කේන්තිකාරයා 2

පූර්විකාවට..
පළමු කොටසට..
        විය නොහැකි යමක් සිදු කිරීමට නම් ඒ ගැන මනා චිත්ත ශක්තියක් තිබිය යුතුය. 1991 දී වරප්‍රසාද් තමන්ගේ සිත තුල ග්‍රහණය කරගත් අදහස ක්‍රියාත්මක කිරීමට පටන් ගනිද්දී ඉන්දියාව සිටියේ පසුගාමී අවදියකය. නරසිංහ රාඕ ඉන්දියානු ආර්ථිකය විවෘත කලා පමණි. එහෙත් නුවමනා අටෝරාසියක් නීති රෙගුලාසි, දුප්පත්කම, සම්පත් ඌනතාවය සහ බංකොලොත්බාවය කරපින්නාගත් ඉන්දියාව කාගේවත් විශ්වාසයට ලක් නොවිනි. එහෙත් උත්සාහවත් ධෛර්යමයත් මිනිසුන් පිරිසක් අඬගාගත් වරප්‍රසාද් අධි තාක්ෂණික එන්නතක් නිපදවා,විය නොහැකි ඉන්ද්‍රජාල පණ ගැන්වූයේය. ඉන්දියාව මුළු ජීව තාක්ෂණ ලෝකයම හෙල්ලුවේය. එහෙත් සියල්ල ඇරඹුනේ වරප්‍රසාද් ගේ කේන්තියත් සමගය.
සැබෑවන සිහිනයක් අභියස
           තම ඥාති සොයුරකු සමග කාලය ගත කිරීමට වරප්‍රසාද් ඇමරිකාවේ නිව් ජර්සි සඳහා පියාඹන විට ඔහුට අමුතුවෙන් කේන්ති ගැනීමට දෙයක් නොතිබිනී. ඒ ඔහුගේ ව්‍යාපර හවුල් කරු ඔහුට වංචා කර තිබූ බැවිනි. ඒ ගැන සිත හදා ගන්නට ඔහු නිව් ජර්සි යෑමට තීරණය කර තිබුනේය. ඔහුගේ ඥාති සොයුරා ජීනිවා වල තිබු සෞඛ්‍ය සම්මන්ත්‍රණයකට සහභාගී වීමට නියමිත බැව් ඇසූ වරප්‍රසාද් ඔහුගේ පස්සෙන් ඈඳුනේ ඇල්ප්ස් කඳුවැටිය බලා ගැනීමටය.
         එහෙත් ඔහු කවදාහෝ ඇල්ප්ස් කඳුවැටිය දුටුවාදැයි කියන්නට මම නොදනිමි. එහෙත් ඔහු සම්මන්ත්‍රණයේදි දුටු යම් කිසිවක් ඔහුගේ කේනතිය ඇවිස්සීමට සමත්ව තිබූ බව කියන්නට නම් මම දනිමි. ඉන්දියාවට එන්නත් අවශ්‍යතාව තදින් දැනුනද ඒ සඳහා අවශ්‍ය ඩොලර් ඔවුන් අත නොවූ බැවින් ඉන්දියානු දොස්තරවරු මෙම සම්මන්ත්‍රණ නොමිලේ හෝ සහන මිලට එන්නත් ආධාර ඉල්ලීම සඳහා අවස්ථාවක් කොටගෙන තිබුණි. එහෙත් බටහිරයන්ගේ තාඩන පීඩන කෙනෙහිලිකම් වලින් අඩුවක් නොවිනි. ඔවුන් නිතරම මදි පුංචිකම් වලින් අපව පාගාගෙන සිටියහ.
          “ආ ඔය එන්නෙ දකුණු ආසියාතිකයො හිඟන පාත්තරේ අරගෙන. උන්ගෙ පැටව් ගහන ජනගනයට බෙහෙත් දීලා කොච්චර කල් අපි මේ බර අදින්නද?“
          ඔවුන් මෙසේ පවසද්දී අපට කල හැකිවූ කිසිවක් නොවු බව සහතිකය. ඒත් වරප්‍රසාද් මේ ගැන බොහෝ කේන්ති ගත්තේය.
“මම මේක වෙනස් කරනවා“. ඔහු සිතුවේ එලෙසය. ඔහුගේ සිහිනය ඉපදුනේ එලෙසය.




අනෙක් තුන්වැනි ලෝකයේ රටවල් බටහිර ජාතින්ගේ මෙවන් කුරිරු වදන් වලට පුරුදු වූහ.කවුරුවත් ඒ පිළිබඳ කනගාටු වූයේ නැත. එහෙත් රැළට පිටින් ආ එක් මිනිසෙක් තම සගයන්ට සලකන ආකාරය ගැන කෝප වූයේය. තමන්ව පහතට හෙලා කතා කිරීම ඔහුට කිසිසේත්ම රිස්සුවේ නැත. විප්ලවකාරී සොයාගැනීම් කරන්නන් සතු එක ගුණාංගයක් වන්නේ සියල්ල පුද්ගලිකව සැලකීමය. එනිසා ඒ ගැන ඔවුන් මොනවා හෝ පියවරක් ගැනීමට පසුබට නොවේ. මේක මේ ක්‍රමේ වැරැද්ද යයි කියා ශේප් වීම ඔවුන්ගේ සිරිත නොවේ. ඔබ ඔබේ ආයතනව ලැන චෝදනා කට කතා ඇසෙන විට කරන්නේ කුමක්ද? හැමදාම චෝදනා කරනවා යැයි කියා උරහිස සොලවීමද නැත්නම් ඒ ගැන කුමක් හෝ කිරීමට තරම් කේන්ති ගැනීමද?

සිහිනයක් ඉපදීමම සැබෑ වීමක් නොවේ.ඒ තුල ජීවත් වීම අනිවාර්ය වේ. ඔහු සිහිනය තිර කර ගත්තේ කෙසේද? අපි ඊළඟ කොටසින් බලමු. 

පින්තූර අනුග්‍රහය: http://archives.digitaltoday.in/businesstoday/20010806/feature3.html

Friday, April 13, 2012

සිහිනය සැබෑ කරගත් කුකුල් කේන්තිකාරයා 1

පූර්විකාවට..
           නව සොයාගැනීම් බොහෝවිට සොයාගත්තේ වෙළඳපල පිළිබඳ හැදෑරීම් වලින් නොව හිත අවුල් වූ අවස්ථා වලදීය. මම එසේ කියන්නේ ඇයි
  • සෝවියටය ලෝකයේ මුලින්ම අභ්‍යවකාශ ගතවූ විට කෙනඩිට තරහ ගියේය;
  • මැරිට්ස්බර්ග් දුම්රිය පොළේදී දුම්රියෙන් විසි වූ විට ගාන්ධිට තරහ ගියේය;
  • ඉන්දියානුවන් පහත්කොට සලකනු ලැබූ විට ජේ එන් ටාටාට තරහා ගියේය;
ඉන්පසු
  • මිනිසුන් හඳට ගියෝය
  • අළුත් රටක් ඉපදුනේය
  • ඉන්දියොවේ යකඩ හා හෝටල් ක්ෂේත්‍ර අවධිය ආරම්භ විය.
       එසේම වර ප්‍රසාද් රද්දි ද කුකුල් කෙන්ති කාරයෙකි. හොස්ස ළඟින් මැස්සෙක් ගියොත් ඉවරය. ඒත් ඔහු එසේ කේන්ති ගත් එක හොඳය. මක්නිසාද යත් ඔහුගේ කේන්තිය ඉන්දියාවේ ජීවතාක්ෂණයේ (BioTechnology) විප්ලවයක් ඇති කල බැවිනි.
       1991දී 340,000කට ආසන්න ඉන්දියනුවන් සංඛ්‍යාවක් මියගියේ හෙපටිටිස් බී (Hepatitis B) සුව නොවීම නිසාවෙනි. ඒ හෙපටයිටිස් බී සඳහා වන එක එන්නත් වේලක් රුපියල්  750ක් වූ  නිසාත් එන්නත් වේල් තුනක් සහිත මුළු බෙහෙත් වඩියම රුපියල් 2250ක් වූ නිසාත්ය. එය බොහො සාමාන්‍ය ඉන්දියානුවන්ට දැරිය හැක්කක් නොවිනි. බටහිර ලෝකයේ බොහෝ රටවල් හෙපටයිටිස් බී සුව කිරීමට සඳහා එන්නත් යොදාගනිද්දී අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එය මැඩලිය නොහැකි දුෂ්කර කාර්යයක් විය.
       ඉන්දියාව වැනි රටවල් සඳහා බටහිර ලෝකයට අවශ්‍ය ප්‍රමාණයට වඩා එන්නත් ප්‍රමාණයක් අවශ්‍යව තිබුනි. එහෙත් එය මිල කර තිබුනේ බොහො තෙවැනි ලොව රටවල්වලට මිලදී ගත නොහෙන තරම් ඉහලනි. මේ දුක්බර සත්‍යය දශකයකට වැඩි කාලයක් තිස්සේ දෝලනය වෙමින් පැවති අතර වානිජ වශයෙන් නිශ්පාදනය වන මෙවන් බෙහෙතක් තවත් ඉදිරි දශකයකටද එවන් මිලකට අලෙවි වීමට නියමිතව තිබිණි. 
වරප්‍රසාද් රද්දි

       එහෙත් එක මිනිසෙක්, එක් සිතුවිල්ලක් මේ දුක්බර තිත්ත ඇත්ත වෙනස් කලේය. එන්නත් ගැන නොව බැටරි සහ ඉලෙක්ට්‍රොනික පරිපථ ගැන පළපුරුද්දක් තිබූ මිනිසෙක් රුපියල් 750ට තිබූ එන්නතක මිල හත කපා දමා රුපියල් 50ක් කලේය. ඒ අනුව මුළු බෙහෙත් වේලම රුපියල් 2250කට නොව රුපියල් 150කට මිල කලේය! එනයින්ම නොනැවතී ලොකයේම මිල අඩුවන විට ඔහු එය රුපියල් 15කට බැස්සූයේය. 1991දී 80,000 ක්ව පැවති එන්නත්  වාර්ෂික අලෙවිය වසර 2008 වන විට මිලියන 100 පැන තිබිණි.
       වරප්‍රසාද් ඔහුගේ සිහින සැබෑකර ගත් ගමන් මග දැවැන්ත බහුජාතික යෝධයන් හෙල්ලීමට සමත් වූ අතරම ලෝකයේම හෙපටයිටිස් බී එන්නතෙහි මිල සීඝ්‍රයෙන් පහත බැස්සේය. 

වරප්‍රසාද්ගේ සිහිනය ඉපදුනේ කෙසේද? අපි  ඊළඟ කොටසින් බලමු.

පින්තූරු අනුග්‍රහය : http://biospectrumindia.ciol.com/content/BSTOP20/11006148.asp

Thursday, April 12, 2012

සිහිනය සැබෑ කරගත් කුකුල්කේන්තිකාරයා: පූර්විකාව


“දැන් මේක කියවේවෙ නැත්තන් අපේ මේ සැරේ සේල්ස් කමිශන් එක නැතිවෙනවද?“
        ප්‍රසන්න ශෆාක්ගෙන් ඇහුවෙ විහිළුවට වගේ. දවස් කීපයක් තිබුනු අලෙවිකරණ හමුව ඉවර වෙලා අපි හැමෝම ලස්සන රූෆ්ටොප් ඩිනර් එකකට ලෑස්ති වෙලයි හිටියෙ. ඒ අතරෙ මේ හමුව සංවිධානය කරන්න සම්පූර්ණ වගකීම දරපු ශෆාක් අපි හැමෝම ළඟට ඇවිත් පොතක් ගානෙ බෙදල දුන්නා. ඉලක්ක, අලෙවිකරණ උපක්‍රම, වෙළඳපල ගාහනය (Market Penetration) ගැන වාද විවාද කරමින් ගෙවුන පහුගිය දින කිහිපය නිසා ප්‍රසන්න උඩින් අහපු ප්‍රශ්නෙ අමුත්තක් මට දැනුනෙ නෑ. අපි කරන සැලසුම්, සාධනය, වෙළඳපල ආවරණය කියන හැමදේම අවුරුද්ද අන්තිමට හම්බවෙන කොමිශන් එකට බලපාන බව අපි හැමෝම හිත යටින් දැනගෙන හිටියා. ඉතින් මේ හමුව අලෙවිකරණ කණ්ඩායමේ අපිට නම් සේල්ස් කමිශන් එක ගැන තියන හමුවක්.

“අපොයි නෑ. ඒත් මේක වෙනස් පොතක් කියවලා බලන්නකෝ.“
http://gnlogic.blogspot.com
         ශෆාක් හිනාවෙවී කිව්වෙ අපි කාටත් ඇහෙන්න. මගේ වයසෙම වුනත් ආයතනයේ අළුත්ම අලෙවිකරණ උපායමාර්ගය ඉදිරියට ගෙනයන්න අපි හැමෝම එක ඉලක්කයකට ගොනු කරලා අළුත් වෙළඳපලවල් හොයා යන්න ඇයව පත් කරලා තිබුනෙ හේතුවක් ඇතිවයි. ඒ ඇගේ ශක්තිමත් නායකත්ව හැකියාව නිසා. මේ පොතත් ඇගේ තේරීමක් බව නම් පැහැදිලියි.
        දවස් ගානක් ගෙවපු ඒ ලස්සන පූනා (Pune) නගරයෙන් සමුගෙන මම කොළඹ බලා එන්න ගුවන්තොටුපලට ඇදුනෙ ඉන්දියාවෙ අනිත් නගර කරා යන අනිත් යාළුවන්ට අතවනමින්. ඒ අතරෙ ශෆාක් දුන්න පොත මගේ ඇඳුම් බෑගයේත් මගේ කියවීම් ලැයිස්තුවෙත් උඩින්ම රැඳිලා තිබුනා.
පෝරස් මුන්ෂි
         අද මේ පොස්ටුව ලියැවෙන්නෙ අළුත් සොයාගැනීම් වෙනුවෙන් අළුත්ම විදිහට ලෝකය දැකපු ඉන්දියානුවෙක් ගැන විස්තර බෙදාගන්න. ඒරේවන් ඉනොවේෂන් කන්සල්ටින් පදනමේ අධ්‍යක‍්ෂ පෝරස් මුන්ෂි විසින් ලියපු Making breakthrough Innovation Happen – How 11 Indians pulled off the impossible පොතේ මා සිත් ගත් පරිජ්චේදයක පරිවර්තනය අදත් ඉදිරියට දින කිහිපයකුත් ඔයාලට කියවන්න ලැබේවි.
       කළමණාකරනය ගැන හදාරන  ඒ අංශයේ රැකියාව කරන හැමෝම ආදර්ශයට ගන්න පුරුදුවෙලා හිටියෙ මයිකොසොෆ්ට්, ඇපල්, වොල්මාට් ඉදිරියට ගියපු උපක්‍රම ඒවා මෙහෙයවපු නායකයින් ගැන. අද දවස වෙද්දි වෙළඳ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම ඉන්න ඉන්දියානුවො චීන්නු ගැන අපි තාමත් කතා කරන්නෙ නෑ.
        ඉතින් ඉදිරි දින කිහිපයේදි තමන්ගෙ හිතේ තියන තරහව කෝපය රටකට කීර්තියක් ගෙන දෙන්න පුළුවන් තරම් නිශ්පාදනයකට මුල පුරන්න හැකියාව තිබුනු කුකුල් කේන්තිකාර වරප්‍රසාද් රද්දි (Varaprasad Reddy) ඔයාලත් එක්ක ඉදිවි. 

පළමු කොටසට..

ප/ලි
ලබන්නාවූ අළුත් අවුරුද්ද ඔබගේ සිහින සැබෑ කර ගැනීමට අවැසි ශක්තිය සිත තුල පොදි ගැසෙන ලස්සන අළුත් අවුරුද්දක් වේවා..





 

Saturday, April 7, 2012

සාමාන්‍ය බුද්ධිය ගැන ‘ලු‘ කතන්දර දහයක් සහ තවත් කතාවක්..

පළවැනි කතන්දරය
මේ  දිනවල සිංහල බ්ලොග් අවකාශයේ වැඩි පුර කතාවෙන්නේ බිග් මෑඩ් පිල් ගැජට් එක ගැනය. ඒ ගැන කිව්වාට යුරෝ දෙකේ වීරයාට බොහෝ පින්ය. ඒ ගැජමැටික් එකෙන් අපි කියන දේවල් ටයිප් කරලා දෙනවාය. ඊට එහාට ගොස් අපි කියන ඒවා කරලා දෙන ගැජමැටික් වලට අපි කියන්නේ රොබෝ බබලා කියාය. ඒත් අපිට කරන්න දේවල් කියලා දෙන ගැජමැටික්ද දැන් දැන් ජනප්‍රිය වී ඇත. පාර හොයාගන්න සොෆ්ට්වෙයා හාඩ්වෙයා වැඩකෑලි දැන් මේ පුංචි මුතු ඇටයේද ප්‍රසිද්ධය. මේ ළඟදී රූගේ යාළුවෙකු අවුරුදු විසිගාණක්ම තිස්සේම විඩින් විඩේ ගිය තම මහගෙදරට යන පාර සුවර් කර ගත්තේ ගූග්ල් මැප් වලට පින්සිදු වන්නටය. මීට අමතරව අතේ ගෙනයා හැකි හෝ වාහනේට සවිකරගත හැකි සැටලයිට් නැවිගේශන් සිස්ටම් හා එකී මෙකී නොකී ගැජමැටික් අටෝ රාසියක් ඇත. ඒ අපේ ජීවතේ පහසු කරදෙන්නටය. මේ වගේ ගැජමැටික් නිසා මිනිස්සු මොළයෙන් කියන දේට වඩා ගැජමැටික් කියන දේ ගැන විශ්වාස කරන්නට ගොස් අමාරුවේ වැටෙති. පහළ තියන කතන්දර ඒ අමාරුවේ වැටීම් ගැන මට ආපු මේල් එකකින් කොපි කර පරිවර්තනය කරපු ඒවාය. මේවා කතන්දර පමණක් බැව් කරුණාවෙන් සලකන්න.