Tuesday, May 15, 2012

දිනපොතෙන් 5: තත්පර විස්සක් ජීවිතය ගැන..

           තමන්ගේ මරණයට දින කිහිපයකට පෙර මිනිසෙක් තමන්ගේ දරුවන් ළඟට කැඳවා මෙසේ කීවේය.
“මරණය ඊළඟ ලෝකයට යෑමට ඇති එකම මාර්ගයයි. මම මැරෙද්දී අනිත් අයට උදව් කරන එක කොච්චර වැදගත්ද කියලා පෙන්නන්න සළකුණක් එවන්නම්. මම මැරුණාම ආදාහනය කරලා අළු ටික මගේ ආසම සංගීතය වාදනය කරන ගමන් ගඟේ පා කරලා හරින්න. “
            ඊට දින දෙකකට පසු ඔහු මිය ගියේය. ඔහුගේ මිනිය ආදාහනය කොට අළු බඳුනත්, සංගීත පටයත්, කැසට් රෙකෝඩරයත් රැගෙන ඔහුගේ දරුවන් ගං වෙරළට ගියහ. අළු බඳුන ඇරීමට කොපමණ තැත් කලත් එහි මූඩිය කිසිවෙකුට විවෘත කල නොහැකි විය. දරුවන් අසරණව වට පිට බලද්දී ගං ඉවුරේ ඇවිදමින් සිටි සිඟන්නෙක් ඔවුන් වෙත පැමිණියේය.
“මොනවහරි ප්‍රශ්නයක්ද?“
“අපි පියාගේ අළු ගඟේ පා කරන්න ආවේ. ඒත් මේ පියන අරින්න බෑ.“ දරුවන් අළුබඳුන දක්වමින් පැවසූහ.
ඔහු හොඳ මිනිසකු විය යුතුයි. මට මේක දැන් ලැබුනේ.
අත තිබුනු ස්කුරුප්පු නියන දක්වමින් සිඟන්නා කීවේය.


උපුටාගැනීම: http://paulocoelhoblog.com/2011/07/06/the-screwdriver/


      අප අතරින් වෙන්ව ගිය ඔබ්සර්වර් බ්ලොග් සහෘදයාට මේ සටහන උපහාරයක් වේවා.!

Saturday, May 12, 2012

පිඬු සිඟා වැඩීම හා කාලාම සූත්‍රය

        වෙනදා වගේම මම කඩේට ගොඩ වැදුනෙ ගන්න ඕන බඩු ලිස්ට් එක හිතෙන් කට පාඩම් කරමින්. වෙසක් නිවාඩුව පටන් ගන්නෙ අනිද්දා. හෙට අනිවාර්යෙන්ම ඔෆිස් එකේ වැඩ වැඩි දවසක් නිසා හෙට බඩු ටික ගන්න වෙනවා බොරු. දැනටමත් රෑ වී ඇති නිසා කඩේ ඇන්ටි කඩේ වහන්න බලන් ඉන්නවාත් සිකුරුය. හිතේ එකී මෙකී නොකී දේවල් කරනම් ගහද්දී මම කඩේ ඇතුලට ගියේ අයි ශොපින් පාරක්ද දමාගෙනය.

“ඇන්ටි අද සෙනඟ අඩුයි නේද?“
“හිටියා මිස්. මිස් ආවෙ හොඳ වෙලාවට..දැන් ඉතින් නිදහසේ බඩු ටික කිරලා දෙන්න පුළුවන්.“
        මම මිසිස් වුවද මම කවදාවත් ඇන්ටීට ඒ ගැන කියන්නට නොගියේ ඇයි කියා මම තවමත් කල්පනා කරමි. 
“මිරිස් තුනපහ කුඩු ග්‍රෑම් සීය ගානෙ ..ම්..ලුණු පැකට් එකයි...“මම බඩු ලැයිස්තුව කියාගෙන ගියෙමි. 
“මිස් පිඬු සිඟා වඩින උත්සවේට මොනවත් ගන්නැද්ද?“ මල්ලට බඩු එකතු කරන ගත්මන්ම ඇන්ටී මගෙන් ඇසුවාය. 
“මොකද්ද ඇන්ටි කිව්වෙ..මට ඇහුන්නෑ!“
    ඇන්ටී කිව්වේ මොකක්දැයි හරියටම තේරුම් ගැනීමට නම් මට නැවතත් එය ඇසිය යුතුව තිබිනි. 
“අර ලොකු නුග ගහ ගාව වංගුව ළඟ තියන පන්සලේ හාමුදුරුවරු පිඬු සිඟා වඩිනවා හෙට. උදේම වඩීවි මයෙ හිතේ. මේ හරියට එනකොට හතවිතර වෙයි. දහ නමක් වඩිනවා කියලයි කියාගෙන ගියේ.“
“ආ එහෙනම් මොනවා හරි එළවළු ටිකකුත් ගන්න වෙයි ඇන්ටි..ගෙදර තියන ඒවා මදි දහ නමකට දානෙ දෙන්න නම්. බත් උයලා එක එළවළුවක් හැදුවාම ඇති නේද ඇන්ටි.මම කවදාවත් එහෙම පිඬු  සිඟා වඩින හාමුදුරු නමකට දානෙ දීලා නෑ. “
“ආ..මොනවත් උයන්න ඕන නෑ. ඔය මොනවහරි පිරිකරට දුන්න නම් හරි. ඊටත් ඔච්චර උදෙන් උයන්න පුළුවන් කාටද? හෙට ඉතින් වැඩ කරන දවසක්නෙ. “
“ඒත් ඇන්ටි එහෙම හරි නෑනෙ. ඊටත් මම එහෙම දානයක් තනියම හරිගස්සලා නැති නිසා දුන්න නම් හොඳයි කියලා හිතෙනවා. මොනවද එළවළු තියෙන්නෙ අළුත් ඒවා?“ මම ඇසුවෙමි.
“නෑ මේකයි හාමුදුරුවො වඩින්නෙ අර ලොකු ජීප් වල පිටිපස්සෙ ඉඩ තියන එකේ පුටු දාලා වාඩි වෙලා. කොහොමත් ඒ වෙලාවට එනවුන්ස් කරගෙන යයි. හාමුදුරුවො ඔය මොනවා හරි සුළු දෙයක් නේ බලාපොරොත්තුවෙන්නෙ. සබන්, දත්බෙහෙත් තුවා වගේ මොනව හරි. කවුරුත් කෑම නම් දෙන්නෑ“. 
“ඒ වුනාට ඇන්ටි මේ පිඬු සිඟා වැඩීමක්නෙ. නමේම තියනවනේ හාමුදුරුවන් කෑම ඉල්ලනවා කියලා. එහෙනම් මේක වෙන මොකක් හරි වෙන්නැති.“
“දැන් කාලෙ කවුද මිස් පිඬු සිඟාවඩින්නෙ. ඊටත් ඔච්චර ගානකට මොනව හරි හදන එකත් ලේසිද? මම ඕක නිසාම අළුත් තුවා ටිකක් ගෙන්න ගත්තා මිස්ටත් දෙන්නද? “
“නෑ.. ඇන්ටි ඕන නෑ..මම මේ කල්පනා කලේ බුදුහාමුදුරුවො දන්නවනම් කියලා.“
“ඇයි මිස් ඒ?“
“නෑ. ඇන්ටි බණට අහලා තියනවද දන්නෑ අර දෙව්දත් හාමුදුරුවො බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ලීම් පහක් කලා සංඝ භේදය ඇති කරන්න කලින්. “
“ඔව් ඉතින්.“ කඩේ ඇන්ටී අලගු තැබුවාය. 
“ඒකෙ එකක් තියනවානෙ භික්ෂුව ජීවිතාන්තය දක්වා පිණ්ඩපාතික විය යුතුයි කියලා. ඒත් බුදුහාමුදුරුවො ඒක ප්‍රතික්ෂේප කලේ ඇයි කියලා මම තාමත් කල්පනා කරනවා.“
“බඩු ටිකේ ගාණ කීයද ඇන්ටි?“

Monday, April 30, 2012

කඳුකතා 3: පේරාදෙණිය හන්දියේ මතක


         “කෝච්චිය තාම කොටුවෙන් පිටත් වෙලා නෑ..අයියෝ දැන් වෙලාව කීයද?අද නම් අපේ ගමන යන්න වෙන්නෑ.“
          ඒ හඬ ඇසුනේ අංජුගෙන්. එදා සිකුරාදා දවසක්. හරියටම කියනවා නම් රේල් පාර දිගේ කැරට් කකා ආ ඔසාමා හා කැසාගේ කතාව සිදුවීමට හරියටම සති දෙකකට පෙර සිකුරාදා. එදාත් රෑ 7ට අපි සරසවියේ WUS වලට (වල කියන්නෙ මේකෙ නාට්‍ය පුරුදු වෙන්න උත්සව තියන්න රැස්වීම් තියන්න පොඩි වේදිකාවක් හදලා තියන නිසා.) එකතු වුනේ ග්‍රේට් වෙස්ටන් කන්ද නගින්නයි. සුපුරුදු විදිහට කොළඹ -බදුල්ල තැපැල් කෝච්චියේ නැගලා නානුඔයෙන් බහින්නයි අපේ අදහස වුනේ. පුරුදු පරිදි මමත් නීනුත් හොස්ටල් එකෙන් පැනගත්තෙ හවස 6ට විතර. සුපුරුදු විදිහට පොතේ අත්සන් කරලා සිකුරුටි අන්කල්ට බටර් පාරක් ගාලා (රෑ 6න් පස්සෙ හොස්ටල් එකෙන් එළියට යනවනම් ශාලාධිපතිතුමියගෙන් අවසර ගන්න ඕන.ඒත් අපි එළියට යන්නෙ පුරුදුවෙලා හිටියෙ මේ විදිහට) අපි දෙන්නා කතා බස්එකේ පයින්ම WUS වලට යද්ද හය හමාරට විතර ඇති. එතකොටත් කීපදෙනෙක්ම සෙට්වෙලා තේ බොනවා.

Saturday, April 21, 2012

සිහිනය සැබෑ කරගත් කුකුල් කේන්තිකාරයා -අවසන් කොටස

පූර්විකාව  
 කලින් ලිපියෙන් අපි අන්තිමට කතා කලේ වරප්‍රසාද්ගේ සිහිනය සාර්ථක වුනු හේතු ගැනයි. අද අපි මෙතෙක් දිනක් අපි සමඟ සිටි වරප්‍රසාද්ට සමුදෙමු.
         
      තමන්ගේ සිහිනය වෙනුවෙන් කැපවූ මේ අධිෂ්ඨානශිලි මිනිසා තමාගේ ලියුම්, ආයාචනා, අමතන්නට හැකි වූ ප්‍රසිද්ධ දේශන මගින් නිතරම අන් අයගේ සහය ලබා ගැනීමට සමත් වූයේය. ඔහුගේ සිහිනය දුටු සැවොම ඔහුට උදව් කිරීමට පෙළඹුනහ. ඔහු කියනා ලෙස “රට වෙනුවෙන් යමක් කිරීමට පිපාසාව තියන මිනිසුන් මට දැනෙනවා.!“
       ඔහු තම ආයතනයට සේවකයින් තෝරාගනිද්දී පළමුවෙන්ම සලකා බලන්නේ ඔවුන්ගේ ආකල්ප හා දියුණුවීමට ඇති අශාවයි. එනිසා ඔහුගේ සේවකයෝ ආයතනයේ දියුණුවෙන් වැඩි කොටසකට වග කියති. ඔහු කියනා ලෙස ඔහු ජීවතාක්ෂණඥයකු හෝ විශේෂඥයකු නොවේ. ශාන්තාහි බොස්ලා හෝ නායකයින් නැත. ඇත්තේ සමාන මිනිසුන් පමණි. ඔහුගේ සේවකයෝ එසේ කියති. සේවක කණ්ඩායම් ආයතනයේ වර්ධනයට ලාභය බෙදාගැනීමට කොටස් නිකුතුවට ක්‍රියාකාරී ලෙස දායක විය. “අප හැමෝටම සාමාජීය වගකීමක් ඇත. එය ඉටුකිරීමට අපි බැඳී සිටිමු.“ වරප්‍රසාද් එසේ කියයි. 



ශාන්තා බයෝටක්නිත් අත්දැකීම නවසොයාගැනීම් සඳහා පුරෝගාමී වීම මගින් ඔබට කියන්නේ මොනවාද?
ඔබ සේවය කරන ක්ෂේත්‍රයේ හැමෝම ‘වෙන්න බැරි යැයි සැලකෙන‘ දේවල් මොනවාද? අන් අය එසේ සිතන්නේ ඇයි? පරණ අමිහිරි අත්දැකීම් නිසාද? ඒවා කාගේ අත්දැකීම්ද? බොහෝ වෙලාවට මෙම විය නොහැකි දේවල් නිකම් හිතළු මත පදනම් වූ ඒවා මිසත සැබෑවට යමක් අත්හදා බැලීමට ගොස් ලබාගත් අත්දැකීම් මත පදනම් වූ ඒවා නොවේ. අද කාලයේ විය නොහැකි දේ යැයි යමක් තිබේද? එසේ නම් එය කිරීමට මාර්ගයක් සොයන්න. එය අදම අත්හදා බලන්න. මේ මාසය තුලදී “කළ නොහැකි“ යැයි විශ්වාස කරන දේවල් තුනක්වත් කිරීමට උත්සාහ කරන්න.

       අද වනවිට ශාන්තා බයෝටෙක්නික් ඉන්දියාවේ ජීවතාක්ෂණ ක්ෂේත්‍රය තුල නොමඳ ප්‍රශංසාවට ලක්වූ ආයතනයක් ලෙස සැලකේ. ඔවුන් නිශ්පාදන රැසක් ලොවට දායාද කල අතර තවත් ඖෂධ රාශියක් පර්යේෂණ මට්ටමේ පවතී. ඕමාන විදේශ ඇමතිවරයාගේ කොටස් මෑතකදී මේරික්ස් අලයන්ස් (Marieux Alliance) සාමාගම මිලට ගත් අතර ශාන්තා දැන් ප්‍රකට ඖෂධ නිශ්පාදන ක්‍රියාදාමයක් වූ මේරික්ස් අලයන්ස් හි සාඩම්බර සාමාජිකයෙකි. 
වරප්‍රසාද් ජනපති අතින් තිළිණ ලබමින්..
      “මේ සියල්ල ඇරඹුනේ වරප්‍රසාද් අපහසුතාවයට පත් වීම නිසාය; ඒ අපහසුකම් නැමති මඩවගුරෙහි එරී එහිම තැවි තැවී සිටීම ඔහු ප්‍රතික්ෂේප කල නිසාය.“



ඔබ මේ දක්වා කෙතරම් බැරූරුම් දේවල්වටල අපහසුතාවයන්ට  එරෙහිව සටන් කර තිබෙනවාද? ඔබ සිතාගෙන සිටි විශ්වකර්ම අදහස් කීයක් සමාජයෙන් එල්ලවන පිඩනය නිසා ඉබිකටුවට රිංගාගත්තාද? මේ පීඩනය එල්ල වුනේ කොතනින්ද? එකිනෙකාගෙන්ද?,ආයතනවලින්ද?, ක්ෂේත්‍රයෙන්ද? මුළු රටෙන්මද?  එසේත් නැත්නම් සංස්කෘතියෙන්ද?

මේක මේ ක්‍රමයේ වැරුද්දක් යැයි කනිපින්දම් කිය කියා සිටීමෙන් කිසිවකුට සත පහකවත් වැඩක් වෙන්නේ නැත. අළුත් දෙයක් සිතනා හැම විටම සමාජයෙන් පීඩනයක් එල්ල වීම ස්වාභාවිකය. එය බලාපොරොත්තු විය යුතුය. ඒ හා සටන් කිරීමට මාර්ගයක් අප සොයාගත යුතුය.

ඔබ හා ඔබේ වටිනා සිහිනයෙන් නිර්මාණය කරන්නට උත්සාහ කරන අළුත් ලෝකයත් අතර ඇත්තේ පෙර කියන ලද බල පහේ විවිධ ස්වරූපයන් වේ. මේ හා සටන් කරන්න. එවිට ඔබ පතනා සිහින ලෝකය ඉබේම සැබෑවනු ඇත. වරප්‍රසාද් සටන් කලේ මුහුණ දිය හැකි දුෂ්කරම බල දෙකක් සමගය. ඒ රටෙන් හා සංස්කෘතියෙන් එල්ලවූ පීඩනයයි.

වරප්‍රසාද්ට දිනිය හැකි වූවා නම් ඔබටද දිනන්ට හැකිය. අදම ඔබේ සිහිනය ගොඩනගන්න අරඹන්න. 

 පසුවදන:

 අද වරප්‍රසාද් කොහිද?
            කන්දක් නැග අවසාන වන විට පල්ලමක් හමුවේ. වරප්‍රසාද් කන්ද තරණය කල හැටි හා ඔහු පල්ලමේ පහසුවෙන් රූටා එද්දි අප ඔහු ගැන කතා කලෙමු. එහෙත් පල්ලමෙන් පසු නැවතත් කන්දක් හමුවන බව ස්ථිරය. අවාසනවට අපේ කතා නායකයාට එම කන්ද පහසුවෙන් තරණය කල නොහැකි විය. බහුජාතික බූවල්ලෙක් 2009 දී ශාන්තා ඩැහැගත්තේය. වරප්‍රසාද් දැන් ශානතාහි නොවන බව නම් සහතිකය. එහෙත් එතනින් එහාට  දෙයක් කීමට මමද නොදනිමි. අද (2012දී) ශාන්තා සැනොෆි නම් ප්‍රංශ බහුජාතික සමාගමේ ඉන්දියානු හස්තය ලෙස ක්‍රියා කරයි. 

වරප්‍රසාද්ගේ උත්සාහය ගැන
        කිහිපවරක් මම කොමෙන්ටුවල කියා ඇති පරිදි වරප්‍රසාද්ගේ උත්සාහයට මම අතිශය ප්‍රශංසා කරමි. ලෝකය ඉදිරියට යන්නේ ඔහු වැනි මිනිසුන් නිසාය. එහෙත් ඔහුගේ අරමුණු 100%ක්ම යහපත් යැයි කීමට මම උත්සාහ නොකරන්නේ ඔහුගේ සිහිනයේ බැරෑරුම් බව නිසාමය. ඖෂධයක් යනු තණ අග පිණි බිඳු වැනි මිනිස් ජීවිත තණ අගම රඳවා ගන්නා මැජික් යෂ්ඨියයි. මිලට වඩා එහි තත්ත්වය නිතරම පෙරට එයි. මිල අඩුවන තරමට බෙහෙතේ අගයද අඩුවන බව අපි කවුරුත් දන්නා සත්‍යයකි. එස්පීසී ලූස් පැරසිටමොල් වෙනුවට අපි කවුරුත් පැනඩෝල් ළඟ තබා ගනිමු. ඒ එස්පීසී පැරසිටමෝල් සත ගණනක් වන නිසාය. බොහෝ කල් තබාගත නොහැකි නිසාය. මෙවන් කරුණු අටෝරාසියක් නිසා වරප්‍රසාද්ගේ සිහිනය ගැන මට නම් ගැටළු ඇත. එහෙත් බොහෝ ඉන්දියානුවන් මෙන් තමන්ගේ රට ගැන ඇති ආඩම්බරය එනිසා ඔවුන් ජයගන්නා අභියෝග ගැන කීමට වචන නැත. එතරම් ප්‍රශංසනීයය.

පරිවර්තනය ගැන
       මගේ බ්ලොග් අඩවියේ ලියැවෙන්නේ මට හමුවූ ලස්සන දේ ගැනය. මගේ නිර්මාණවලට වඩා මෙහි ඇත්තේ කතෘ අගය කරමින් ලියා ඇති අනුන්ගේ නිර්මාණය. මෙම ලිපි පෙළද ඒ ගණයට අයත්වේ. මින් පෙර ලියූ සුරංගනා කතාවට ප්‍රතිචාර බොහෝ විය. එහෙත් මෙම පෝස්ටු පෙළට මෙතරම් ප්‍රතිචාර ලැබේයැයි මම සිහිනෙන් හෝ නොසිතුවෙමි. බොහෝ පින් මේ පැත්තේ ආවාට!. ඔබ සැම මෙම ලිපිපෙල කියවා ලබාගන්නා සියළු රසයන්ගේ ස්තුතිය මුල් කතෘ පොරස් මුන්ෂි වෙත ලැබිය යුතු අතර සියළු දෝශ මගේ ගිණුමට බැර විය යුතුය. මන්ද වරප්‍රසාද් මෙන් මමද ජීවතාක්ෂණය ගැන මළපොතේ අකුරක් දන්නේ නැති බැවිනි. එනිසා මෙම ලිපියේ පරිවර්තනය කරද්දී මධුර (http://maduraonline.com/dictionary/) දුන් සයෝගය ගැන ලියුවේ නැත්නම් මමද ගුණමකුවෙක් බවට පත්වේ. දිව අග තියන සිංහල තේරුම් සුවර් කර දුන්නේ ඔහු බව නම් නොකියාම බැරිය.  
 
අවුරුදු තෑග්ග
       කියවා බොහෝ කල් ගතවී තිබුනද පෝස්ටු 50 හා අවුරුදු තෑග්ග ලෙස මෙය දීමට සිතුනේ අළුත් අවුරුද්දේ ඔබ දකින සිහිනයන් නින්දේදීම අමතක වීමට නොදී සැබෑ ලොවේදී  පණ ගැන්වීමට හැකියාව ලැබෙන්නටය. 

ඉමේජ් විජට්ටුව
     [2012-04-23]මේ ලිපිපෙළට ආදාල ඉමේජ් විජට්ටුවකට ගැලපෙන ලස්සන පින්තූරයක් සාදා මා වෙත එවූ සයිබර් යායේ බුද්ධිට නොවක් ස්තුතිය. දකුණු පැත්තේ තියන විජට්ටුව මත ක්ලික් කිරීමෙන් ලිපි පෙල දිගටම කියවන්නට පුළුවනි.

ප/ලි
එන්නට ඉසිඹුවක් සොයාගැනීමට බැරිවුනත් සයිබරයේ සිහින අවුරුදු උළෙලට මගෙනුත් සුභ පැතුම්!

පින්තූර අනුග්‍රහය: http://kamyabology.com/shantha/

Friday, April 20, 2012

සිහිනය සැබෑ කරගත් කුකුල් කේන්තිකාරයා 8

පූර්විකාව  
 කලින් ලිපියෙන් අපි අන්තිමට කතා කලේ ශාන්තාහි සේවය කරන සුධීර්ට කීමට ඇති දේ ගැනයි. ඔහුගේ කතාව තවත් අවසන් නෑ. අපි ඔහුගෙන්ම අහමු.

         “මට ඒකාකාරීව වැඩ කරන එක හුස්ම හිර කරනවා වගේ වැඩක්. මම ශාන්තාහි වැඩ කිරීමට කැමති ප්‍රධාන හේතුව වන්නේ වරප්‍රසාද් නිතරම අළුත් අළුත් අභියෝග අප වෙත එවීම නිසයි. එම අභියෝග කෙතරම් ප්‍රබලද යත් අප මුළු කණ්ඩායමට ම අළුතෙන්ම සිතන්න පටන් ගන්න වෙනවා. “
      සුධීර් තවදුරටත් මෙසේ පැහැදිලි කරයි.
       “උදාහරණයකට ගත්තොත්  දිනක් ඔහුට අවශ්‍ය වුනා වෙළඳපලේ රුපියල් 2400කට විකිණෙන Interferon එකක් රුපියල් 150කට විකුණන්න. අපේ කණ්ඩායමට මුල ඉඳන් පටන් ගන්න වුනා. අපි අනවශ්‍ය ක්‍රියාවලි, අමුද්‍රව්‍ය සේරම අයින් කරන්න ගොඩක් මහන්සි වුනා ඒ නිසා අද වෙනකොට ඒ interferon එකේ මිල රුපියල් 300කට ගේන්න අපට පුළුවන් වුනා.“
            සුධිර්ව අභිප්‍රේරණය කිරීමට (motivate) මූලිකවම සමත්ව තිබෙන්නේ ශාන්තා සමාගමේ මූලික දර්ශනයයි: එනම්
 “මිනිස් සෞඛ්‍යට සම්බන්ධ නිශ්පාදන සාමාන්‍ය මිනිසාට දැරිය හැකි මිලකට අලෙවි කිරීමයි“. 
       ඉන්දියාවේ මෙම සාමාන්‍ය මිනිසා ඇමරිකාවේ සාමාන්‍ය මිනිසාට වඩා වෙනස් බවද ශාන්තා අමතක කලේ නැත. 
         ඔහු අභිප්‍රේරණය කිරීමට සමත්වූ අනිත් කරුණ වන්නේ වැඩ කිරීමට ඇති නිදහසයි. අළුත් සොයාගැනීම්, අළුත් අදහස් සඳහා ශාන්තාහි විශාල පිළිගැනීමක් හිමිවේ- වැරදීම්, අසමත්වීම් රැවුම් ගෙරවුම් වලට ලක් නොවේ. මෙය ඉතා හොඳ දෙයක් ලෙස කෙනෙකුට දිස්විය හැකි වුවත් මෙම ක්‍රමයේදී ඇත්තටම සේවකයා මත මහත් පීඩනයක් එල්ල වී ඇති බව වටහා ගත යුතුය.  සුධීර් පරණ මතකයන් අවුස්සාලමින් එක් සිද්ධියක් ගෙන හැර පෑවේය.
ශාන්තා ඇතුළත..
        “දවසක් මම පැසවන යන්ත්‍රයක් තනුක අම්ලයකින් සෝදා පිරිසිදු කළා. නමුත් මගේ අවාසනාවට ඒ ඇසිඩ් එක නිසා යන්ත්‍රයේ ඇතුළත බිත්තියේ  ලයිනර්  දියවෙන්න පටන් ගත්තා. ලක්ෂ ගාණක් වටින ඒ යන්ත්‍රයේ ගන්න දෙයක් නැතිවුනා. ඒත් අමාරුම වැඩේ තමා කවුරුත් මට බැන්නෙ නැති එක. පහුවදාම අළුත් මැෂින් එකක් ඕඩර් කලා. ඒත් එක පිටරටකින් එන්න ඕන. සති 16ක් ගියා. ඒ සති 16 තමා මගේ ජීවිතේ අමාරුම අවාසනාවන්තම කාලෙ. ඒ මැෂින් එකෙන් කරන්න ඕන වැඩ සේරම අතරමග ඇණ හිටලා තිබ්බත් කවුරුත් වචනයක්වත් මට කිව්වෙ නෑ. ඒත් එදත් එදායි මම කවදාවත් මැනුවල් එක කියවන්නැතුව කිසිම මැෂින් එකක් ක්‍රියා කරවන්න ගියේ නෑ. “
        අත්වැරදීම් කිසිවිටෙක රැවුම් ගෙරවුම් වලට ලක් නොවුනද ඒවා වාර්තා කිරීමට අසමත් වීම එසේ වුයේ නැත. වැරදි වසා ගැනීමට තැත් කිරීම නිසා අස්කර දැමූවන් බොහෝය. වැරදි වසා ගැනීම මගින් ඖෂධ භාවිතා කරන්න්ගේ ජීවිත අනතුරේ වැටේ. එය කිසිවිටෙක සාධාරණිකරණය කළ හැකි දෙයක් වූයේ නැත.
        උද්වේගකාරී හැඟීම් ආයතනයක් තුල ප්‍රධාන කර්තව්‍යක් ඉටු කරයි එසේ කියන්නේ මෙහෙයුම් අධිපති එස්. වී කොට්බගි මහතායි. ආයතනය පටන් ගත්තේ වරප්‍රසාද් සමච්චලයට ලක්වීම නිසා ඇතිවූ හැඟීම් නිසාය. ඔහුට අනුව ට්‍රාන්ස්ජීන් නම් වෙනත් ආයතනයක්ද තාක්ෂණ හුවමාරුව යටතේ ඉන්දියාවේදී හෙපටයිටිස් බී එන්නත නිෂ්පාදනය කිරීමට උත්සාහ කළද එය අසාර්ථක විය. “ට්‍රාන්ස්ජීන් හට දූරදර්ශි වැඩපිළිවෙලක් තිබුනද එය අසාර්ථක වුනා. එහෙත් ශාන්තා උද්වේගකර මාර්ගයක ගමන් ගත් බැවින් උපක්‍රම,මිනිසුන්, මෙවලම්, සම්පත් සියල්ල ඒ පසුපස ගලා ආවා.“ ඔහු කියයි.
       අද සාමාන්‍ය කම්කරුවකුට පවා තමන් කරනා කාර්යයේ වැදගත්කම නිතරම මැතිරීම මගින් අභිප්‍රෙරණය කල හැක. උදාහරණයක් ලෙස ඔවුන් ගේ කුඩා අත්වැරදීමක්, නොසැලකිලිමත් බවක් නිසා වැරදෙන ඖෂධයක් ඔහුගේම පවුලේ කෙනෙක් විසින් නැවත පාවිච්චි කිරීමට ඉඩ තිබේ. එම සදොස් ඖෂධය එහි වාඩුව ඔවුනොවුන්ගේ පවුල්වලින්ම නැවත ගනු ඇත.මෙය අවබෝධ කර දිය හැකි නම් කම්කරුවෙකු පවා ඉතා වගකීමෙන් වැඩ කරනු ඇත.
        මීට අමතරව එක් අයෙකු කාර්යයන් කිහිපයක් සඳහා පුරුදු පුහුණු කිරීමෙන් හැමදෙනාටම ආයතනය පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබෙනු ඇත. ශාන්තා හි හැම සේවකයෙකුම තමන්ගේ කාර්යයට අමතරව තවත් කාර්යයන් තුනක්වත් අවම වශයෙන් දැනගෙන සිටිය යුතුය. සමහරු තමන් සේවය කරන කොටසේ මුල සිට අග දක්වා සියලු කාර්යයන් දැන සිටිති. බොහෝ අනෙක් ආයතන මෙවන් පියවරක් සඳහා මැලිවන්නේ සේවකයින් මේ දැනුම රැගෙන ආයතනව හැරදා යතියි සිතන නිසාය. එහෙත් ශාන්තා පුද්ගලික තෘප්තිය වඩා වැදගත්ය. කොට්බාගි කියනා අන්දමට සේවකයින් තෘප්තිමත්  නැතිනම් ආයතනයකට තම කාර්යක්ෂමතාව පවත්වා ගැනීමට සම්මතකරණය, උපායෝමාර්ග වැනි දේ මත යැපෙන්නට සිදුවේ“ නමුත් ශාන්තා හි සේවකයින්ට එසේ වන්නේ නැත.
          ශාන්තා යනු වතුර මත ඇවිදිය හැකි යැයි පවා විශ්වාස කරන කැපවීමෙන් වැඩ කරන සේවකයින් සිටිනා ආයතනයකි. ඔවුන්ට මුණ ගැසෙන හෝ මුණ ගස්වන අභියෝග සමඟ හරි හරියට හැප්පීමට ඔවුන්ට හැක.




වේගවෙන් වෙනස් වන ලෝකයේ අයතන සාර්ථක වීමට නම් නිතරම නව සොයාගැනීම් කල යුතුය. එහෙත් ඔබ ළඟ එවන් දේ කල හැකි මිනිසුන් සිටිනවාද? කැපවීමෙන් වැඩ කල හැකි අධිශ්ඨාන ශිලි මිනිසුන් කීදෙනෙක් ඔබට සිටිනවාද? එවන් මිනිසුන් ගොඩක් නැත්නම් ඔබ ඒ සඳහා කරන්නට හදන්නේ මොකක්ද?


       වරප්‍රසාද්ට නම් සියල්ල ඇරඹුනේ සිදුවිය හැකි හා සිදුවිය නොයුතු දේ පිළිබඳ සිතිවිලි පොදියක් නිසාය. එය ඔහුට බොහෝ සේ බලපෑවේය. එන්නත් මිනිසුන්ගේ ජීවිත බේරාදිය යුතු වුවද බොහෝ ඖෂධ සාමාගම් තමන්ගේ ලාභය පමණක් සැලකීම නිසා එසේ සිදු නොවීය.  ඔහු ශන්වැක් රුපියල් 50කට නිපැදුවේ විශ්ව කර්ම සිදු කර නොවේ. ඒ ඔහු රුපියල් 3000ක ලාභයක් ගැනීම ප්‍රතික්ෂේප කල බැවිනි. “අපි ජිවිත බේරාගැනීමේ ව්‍යාපාරයක නිරත වී සිටින්වා මිස ලාභය සඳහා එන්නත් නිපදවීමේ ව්‍යාපාරයක නොවේ.“ ඔහු පවසයි.
      ශාන්තා පහත නිර්ණායක තුනට යටත් සියල්ල නිෂ්පාදනය කරයි;

  1. ඖෂධය පිටරටකින් ගෙන්විය යුතු වීම.
  2. සාමාන්‍ය මිනිසාගේ ජීවන තත්වය ඉහල නැංවිය යුතු වීම හා
  3. සාමාන්‍ය මිනිසෙකුට දැරීමට නොහැකි තරම් ඖෂධයේ මිල ඉහල වීම
     වරප්‍රසාද් මෙසේ විය නොහැකි දේ නිතරම කර පෙන්වූයේ කෙසේද? ඔහුට අනුව ඔහු කරනා සියළු දේ අන් අය විය නොහැකි යයි විශ්වාස කරනා දේය. ගායාත්‍රි මන්ත්‍රයෙන් (එනම් පොත) ප්‍රබෝධාත්මක වැකියක් උපුටා දක්වමින් ඔහු කියන්නේ 
“කාර්යය පටන් ගන්න එවිට අනිත් සියළු දේ හරියනු ඇත“

   “ ජීවතාක්ෂණ ක්ෂේත්‍රයේ සේවය කරන මිනිසුන් යම් දෙයක් විය නොහැකි දෙයක් වන්නේ මන්දැයි හොඳින් දනිති. එහෙත් මම එම ක්ෂේත්‍රයේ නොවන නිසා මම ඒ දේ විය නොහැක්කේ ඇයි දැයි නොදනිමි. අනික වෙනත් එන්නත් රුපියල් 15කට විකිණිමට තිබේ නම් හෙපටයිටිස් බී එන්නත ඒ වගේ තුන් ගුණයක් එනම් රුපියන් 50කට විකුණන්නට බැරි ඇයිදැයි මට තේරුම් ගත නොහැකි විය. එනිසා මම එය එසේ කරන්නට උත්සාහ කලෙමි. අවසානයේදී මට එය කළ හැකි විය.“  




වරප්‍රසාද්ගේ කතාවෙන් කියැවෙන වැදගත්ම පාඩම වනුයේ නොහැකි දේ ගැන සිහින මවා ඒ වෙනුවෙන් වෙහෙසීමයි. අපි පියනගනා සෑම අදියරකම තෝරාගැනීම් කිහිපයක් තිබිය හැක. සමහර ඒවා ප්‍රතික්ෂේප කල යුතු අතර සමහර තෝරාගැනීම් සැර බාල කොට පිළිගත යුතුය. තවත් සමහර තෝරාගැනීම් ඒ ලෙසම පිළිගත යුතුය. වරප්‍රසාද් නිතරම කළ නොහැකි යැයි සම්මතදේ කිරීමට සිහින මැවූ අතර ඒ සඳහා තම උපරිම කැපවීමෙන් වැඩ කලේය. ඔබගේ සිහිනයන් හා තෝරාගැනීම් මොනවාද? සිතා බලන්න.


කුකුල් කේන්තිකාරයාගේ කතාවේ අවසාන කොටස සමඟ හමුවෙමු.  

පින්තූර අනුග්‍රහය: http://www.ivi.org/event_news/news/popup_shanchol.html

Thursday, April 19, 2012

සිහිනය සැබෑ කරගත් කුකුල් කේන්තිකාරයා 7

පූර්විකාව  
 කලින් ලිපියෙන් අපි  කතා කලේ වරප්‍රසාද් මාකටින් මාෆියාව සමඟ සටන් කොට ජයගත්  අයුරුයි. එහිදී ඖෂධ බෙදාහැරීම් කොම්පැනියක් වරප්‍රසාද්ගේ ශන්වැක් සඳහා ආදායම් ප්‍රක්ෂේපණයක් ඉදිරිපත් කලා ඔබට මතක ඇති.

//ප්‍රධාන පෙලේ ඉන්දියානු ඖෂධ බෙදාහැරීම් සමාගම් සියල්ල පැවසුවේ බහුජාතික සමාගම් සියල්ල එන්නත රුපියල් 520ට මිල කොට ඇති බැවින් උපක්‍රමශීලීව ශන්වැක් රුපියල් 519ට මිල කල යුතු බවය. ඊළඟ අවුරුදු තුන සඳහා ප්‍රක්ෂේපණය කරන ලද විකිනුම් ආදායම වූයේ රුපියල් ලක්ෂ 50, ලක්ෂ 75 සහ එක් කෝටියකි. මෙවන් අගයකට පැමිණියේ ඇයි දැයි වරප්‍රසාද් ඇසූවිට ඔවුන්ගේ පිළිතුර වූයේ අත්දැකීම් අනුව අළුත් නිශ්පාදනයක් විකුණා ලබාගත හැකි උපරිම මුදල මෙය බවයි//
           මාකටින් මාෆියාව ජයගත් ශන්වැක් බී හි සත්‍ය  ආදායම් වාර්තා දැනගන්න ඔබ කැමතිද?               
       රුපියල් 50 බැගින් එන්නතක් විකිනු ශාන්තා බයෝටෙක් පළමු මාස හය ඇතුළතදී රුපියල් කෝටි 8ක ආදායමක් වාර්තා කළ අතර පළමු අවුරුද්ද තුල එය කෝටි 23ක් විය. දෙවන හා තෙවන අවුරුදු තුල ආදායම පිළිවෙළින් කෝටි 32ක් හා 36ක් විය. 2009 මාර්තු වන විට ඔවුන් කෝටි 210ක ආදායමක් බලාපොරොත්තු වූහ!              
           ප්‍රතිශක්තීකරණය වූ මිනිසුන් සංඛ්‍යාන 80000 සිට මිලියන 100 දක්වා ඉහල ගියේ වසරක් ඇතුලතය. ශන්වැක් බී එන්නතෙහි වර්තමාන මිල රුපියල් 15ක් බවට පත් වූයේ වරප්‍රසාද්ගේ නොනවතින සිහිනය නිසාය.





පවතින පරිසරය තුල අළුත් අදහසක් රිංගවීමට වෑයම් කරද්දී විය හැකි දේවල් දෙකක් ඇත. පවතින පරිසරය තමන්ට ගැලපෙන ලෙස අළුත් අදහස වෙනස් කිරීමයි. එයින් අදහසේ අළුත් නැවුම් බව නැතිවී යයි. අනෙක නම් නොගැලපෙන බැවින් පරිසරය අළුත් අදහස ප්‍රතික්ෂේප කිරීමයි. නමුත් අභියෝගය වන්නේ ඔබේ පවතින පරිසරය තමන්ගේ විප්ලවීය අළුත් අදහසට හැඩ ගැසීමට සැලැස්වීමයි. එය ඊළඟ පරම්පරාවේ සොයාගැනීම් වල ලක්ෂණයයි. පසුගිය අත්දැකීම් වලට අනුව බෙහෝ නව සොයාගැනීම් අසාර්ථක වන්නේ මෙම අළුත් පරම්පරාවේ සිතුවිලි එනම් අළුත් අදහසට අනුව පවතින පරිසරය වෙනස් කිරීම ගැන නොසිතීම නිසාය. මෙනිසා ඔබගේ අළුත් අදහස් මකර කටේ නතර වූ වාර ගණන කොතෙක්ද? එසේ වූයේ ඇයි? තවත් ඉදිරියට සිතුවොත් ඔබට පරිසරය වෙනස් කල හැකි විප්ලවීය සිහිනයක් ගොඩ නගා ගත හැකි වනු ඇත.


            වරප්‍රසාද් මෙසේ කියයි.“ අනිත් ඉන්දියානු ඖෂධ සමාගම් මෙන් මම පරිසරය වෙනස් කිරීම කල නොහැක්කක් යැයි සැලකුවේ නැහැ. එම නොසැලකිල්ල මගේ වාසියට හැරුනා.“
වැඩෙහි නිරතව..
          මේ වන විට ශන්වැක් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා ඇති අතර ඇමරිකාවේද විකිණෙයි. ප්‍රථම වරට ඉන්දියාවේ ඖෂධයක් ලෙස හෙපටයිටිස් බී සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත වූයේ  ශන්වැක් එන්නතයි. මේ දක්වා එලෙස සුදුසු කම් ලබා ඇත්තේද  ඖෂධ හතරක් පමණි. එකක් ඇමරිකාවෙන්ද දෙකක් කොරියාවෙන්ද අනෙක බෙල්ජියමෙන්ද නිපදවනු ලබයි. එක්තරා අවධියක යුනිසෙෆ් සඳහා අවශ්‍ය එන්නත් වලින් 52%ක් සැපයුවේ ශාන්තා මගිනි. මේ සියල්ල ගත් කල වරප්‍රසාද් දැන් වාසනාවන්ත මිනිසෙකි. ඔහු විය නොහැකි යැයි පෙනුනු අධි තාක්ෂකින එන්නතක් ඉන්දියාවේ නිපදවූවේය. එයට අමතරව එය ලෝකයේම පිළිගැනීමට ලක් විය. ඔහු බැරි යන මිත්‍යා බාධක බිඳ දමා ඉදිරයට පැමිණ ජයග්‍රහනය කලේය. මෙය හොඳින් ක්‍රියා කරන ඉන්දියාවේ කුඩා ඖෂධ සමාගම් සඳහා මනා ආදර්ශයක් සපයයි. දැන් ඉන්දියාවේ මෙම එන්නත් වේලක  මිල රුපියල් 780 සිට රුපියල් 20 දක්වා පහළ බැස තිබේ. වරප්‍රසාද් දැන් සෑහීමකට පත් විය යුතු වුවද එසේ නැත. 

 “නමුත්..මගේ අරමුණ වන්නේ හෙපටයිටිස් බී ඉන්දියාවෙන් සහමුලින්ම එළවා දැමීමයි. එය ජයගන්නා තුරු මම සෑහිමකට පත් නොවෙමි.“
          මේ අතරේ දී මේ කුකුල් කේන්තිකාරයා ඊළඟ සටනට එකතු විය. ඒ මාරාන්තික පිළිකාවට විරුද්ධවය. එම සටනේ අරමුණ වූයේ ඉන්ටෆෙරොන් එන්නත් වල මිල පහත දැමීමයි. එමගින් දැනට රුපියල් 4000ක් පමණ වන බෙහෙත් වඩිය රුපියල් 400කට අඩු කිරීමට ඔහු බලාපොරොත්තු විය. පෙර මුහුණ දුන් වර්ගයේ ගැටළු නැවත නැවතත් විසඳීමට සිදුවිය. නිල බලය, හණමිටි අදහස්, දරදඬු සිත් සහ ස්ථාපිත වෙළඳපලවල් හා හඹා එන තරඟකරුවන් සමඟ ශන්ෆෙරොන් අන්තිමේදී වෙළඳපළට නිකුත් විය.ශාන්තා සමාගමට අනුව ශන්‍‍ෆෙරොන් ලෝකයේ දැනට තිබෙන යීස්ට් මුල් කොට ගෙන නිපදවන ලද එකම එන්නත වන අතර එනිසා අනෙක් ඊ කොලයි ඖෂධ වලට සාපේක්ෂව  අතුරු ආබාධ අඩු යැයි සැලකේ.
ශාන්තා හි සාමාජිකයින්

මෙතරම් දේවල් අත් කර ගත් ශාන්තා සාමාගමේ සැකැස්ම කෙලෙසද? සමාගම මෙතරම් ඉහල තලයකට ගෙන ආ මිනිසුන් කොයි වගේද?


         උදාහරණයක් ලෙස ශාන්තාහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ කේ.වී. සුධිර් ගනිමු. ඔහු ඔස්මනියා විශ්ව විද්‍යාලයේදී ශානතා වෙත එකතු වූ පළමු විද්‍යාඥයන් හතර දෙනාගෙන් එක් අයෙකි. ජීව තාක්ෂනවේදියකු හා ආචාර්යවරයකු ලෙස බොහෝ වෙනත් අවස්ථා තිබුනද ඔහු ශාන්තා තෝරා ගත්තේය. ඔහුගේම වචන වලින් හේතු කියතොත්;
“ මම පෙරදිත් කැරළිකරුවෙක්. මට එකම ආයතනයක බොහෝ කාලයක් වැඩ කර දැතිරෝදයක දැත්තක් වී මගේ අනන්‍යතාවය නැති කරගැනීමට මට අවශ්‍ය වුයේ නෑ. එනිසයි මම ශාන්තා තෝරාගත්තේ. මට වෙනසක් කිරීමට හා වෙනසක හවුල් කරුවකු වීමට අවශ්‍ය වුනා.“
        ඔහු වැඩ ආරම්භ කරද්දී ඔහුට මගපෙන්වීමට කිසිවෙකු නොවීය. ගෙනත් තිබූ යන්ත්‍ර අධි තාක්ෂනික වර්ගයේ එවා වූ අතර කිසිවෙකු ඒවා මින් පෙර දැක තිබුනේවත් නැත. සුධීර් ඔහුගේ සගයන් සමඟ අත්පොත් කියවා එම යන්ත්‍ර ඔවුන් විසින්ම සවිකරගත්හ. සෑම දෙයක්ම බින්දුවේ සිට පටන් ගැනීමට සිදුවී තිබින.
       ශාන්තා තම නිශ්පාදන මෙහෙයුම් අරඹන විට, සම්මුඛ සාකච්ජා මගින් තෝරාගත් පළමු විද්‍යාඥයන් කණ්ඩායම වැඩ බාර ගැනීමට පැමිණියේ නැත. ඔවුන්ට ශාන්තා තමන්ගේ බලාපොරොත්තු වූ තරමට නොගැපුනා හෝ ශාන්තාහි අභියෝගය පිළිගැනීමට අකමැති වූවා හෝ වන්නට ඇත. එය නොසලකා පැමිණි සිව්දෙනා අභියෝගවලට ලැදි, නැවුම් අත්දැකීමක ආශ්වාදය සොයා පැමිණයවුන්ය. ඔවුන්ට අවැසිවූයේ “ඉන්දියාවේ මෙතෙක් නොකරපු දෙයක් කිරීමටය.“





ඔබගේ මුල්ම සහායකයින් ආධාර කරුවන් කිසිදා අවතක්සේරු නොකරන්න. ඔබ මුලින් බලාපොරොත්තු වූයේ ඔවුන් නොවන්නට පුළුවන. සමහර විට ඔවුන් ඔබගේ පළමු හෝ දෙවන තේරීමද නොවිය හැකිය. එහෙත් ඔබ යමක් ආරම්භ කරන විට ඔවුන් ඔබ කරා පැමිණියේ මහත් අවදානමක් හිතේ දරාගෙන බැවින් ඔවුන්ගේ වටිනාකම මිල කල නොහැකිය. සුපුරුදු කක්ෂයෙන් මිදී විප්ලවකාරී මඟකට යද්දී දක්ෂතාවයට වඩා අභිප්‍රාය අශාව වැදගත්වේ. බාධක කම් කටොළු ජයගැනීමට අභිප්‍රාය අත්‍යවශයය. මුල් සහායකයින් ඔබ වෙත පැමිණියේ ඔබේ සිහිනය කෙරහි ඇති අශාව අභිප්‍රාය නිසාය ඔබට ඔවුන්ගේ අභිප්‍රාය කිසිදාක වෙනත් දෙයකට හුවමාරු කරගත නොහැකි වනු ඇත. ඔවුන් දක්ෂතමයින් නොවන්නට බොහෝ ඉඩ තිබේ. එහෙත් ඔවුන් දක්ෂතමයන් සඳහා අවස්ථාව ලබා දීමට කටයුතු කරනු ඇත. ඔබට අභිප්‍රායද දක්ෂතාවයද යන දෙකෙන් එකක් තෝරාගැනීමට සිදුවුවහොත් දෙවරක් නොසිතා අභිප්‍රායතෝරාගන්න. එය ඔබට වාසනාව ගෙන දෙනු නොඅනුමානය.

           ශාන්තාහි සුධීර්ට තව කීමට ඇත්තේ මොනවාද? වරප්‍රසාද් නම් සටන් කාමියා තමන්ගේ සාර්ථකත්වය ගැන කියන්නේ මොනවාද? ඒ ගැන අපි ඊළඟ කොටසෙන් බලමු.
        අද නම් මට ඔයාලත් එක්ක රහසක් බෙදා ගන්න තියනවා. ඒ මේ කුකුල් කේන්තිකාරයා ගැන තව ලිපි දෙකක් විතරයි තියෙන්නෙ කියලා. ඔන්න කාටවත් කියන්න එපා හොඳේ :) 

පින්තූරු අනුග්‍රහය: http://indiatoday.intoday.in/story/Cancer+combat+club/1/1322.html 
http://healthandmedicines.blogspot.com/2009_07_01_archive.html

Wednesday, April 18, 2012

සිහිනය සැබෑ කරගත් කුකුල් කේන්තිකාරයා 6

කලින් ලිපියෙන් අපි  කතා කලේ වරප්‍රසාද් තම සිහිනය ගොඩ නැගූ ආකාරය ගැනයි. සැබෑලෝකය තුල සිහිනය සමඟ ජීවත් වීම පහසු දෙයක් නොවේ. අද අපි ඒ ගැන කතා කරමු. 
               ඕමානයේ විදේශ ඇමතිගෙන් මුදල් ලැබී මුල්‍යමය පැත්ත හරියාගෙන එන විට තාක්ෂණික පාර්ශවය කොර ගසමින් සිටියේය. වරප්‍රසාද් මෙතුවක් කල් වැඩකොට තිබුනේ පර්යේෂන සම්බන්ධ පළපුරුද්ද ඇති විද්‍යාඥයන් සමඟ පමණි. ඔවුන් නිශ්පාදන ක්‍රියාවලි පිළිබඳ දැන ගෙන නොසිටියහ. විද්‍යාඥයන් තමන්ගේ පර්යේෂන කටයුත සඳහා පමණක් උනන්දු වෙද්දී වරප්‍රසාද්ට විකිණිය හැකි නිශ්පාදනයක අවශ්‍යතාව තදින් දැනී තිබුනි. කාලය වේගයෙන් පියඹා ගියේය. ඔහු එන්නත් නිශ්පාදනය සඳහා අති නවීන කර්මාන්ත ශාලාවක් ඇරඹීමට තීරණය කලේය. මෙවන් කර්මාන්ත ශාලාවක් ඇරඹීම සඳහා අවැසි විශේශඥ දැනුම ඉන්දියාවේ නොතිබුනු අතර වරප්‍රසාද්ගේ නොපසුබස්නා වීර්යය නැවතත් ප්‍රතිඵල අත් කර දුන්නේය. ලෝකයේ අනිත් කෙලවරේ සිට පවා මිනිසුන් පැමිණ ඔහුට උදව් කලහ. මෙලෙස කර්මාන්ත ශාලාව ගොඩ නැගින. 

         “මම ආයාචනය කලෙමි; ලියුම් ලිවීමි; දේශන සඳහා ආරාධනා කලෙමි; මිනිසුන් හමුවී සාකච්ජා කලෙමි; එහෙත් කිසි දිනෙක මෙය අත්නොහැරියෙමි...“ පසුකලෙක මේ පිළිබඳ සාකච්ජාවකදී ඔහු අතීතය දිග හැරියේය.

             වර්ෂ 1994 අවසාන වන විට කර්මාන්ත ශාලාව ගොඩ නැගෙනවාත්  සමඟම ආචාර්ය ගීතා හා ආචාර්ය ගුන්තක අතරද නොහොඳ නෝක්කාඩුද ගොඩ නැගුනේය. ආචාර්ය ගුන්තක ඊ-කොලයි (E-coli) භාවිතය අනුමත කරද්දී ආචාර්ය ගීතාගේ අදහස වූයේ එමගින් නීතිමය ප්‍රශ්න ඇති විය හැකි බවය. එහෙත් ඒ වෙනුවෙන් ඇය වෙනත් විකල්පයක් ගෙන ඒමටද අපොහොසත් වූවාය. මෙනිසා වරප්‍රසාද් දැඩි පීඩනයකට මුහුණ පෑවේය. ඔහු ආචාර්ය ගීතා හා ආචාර්ය ගුන්තක අතර දෙපැත්තට දෝලනය වූවේය. එක් අතකට පළමුව තමන්ගේ සහයට පැමිණි ආචාර්ය ගීතා හට කෘතඥවෙද්දී අනෙක් අතට මුදල් මෙන්ම කාලයද පියඹා යමින් තිබිණ. මේ අතර ඔස්මනියා විශ්ව විද්‍යාලය ඔහුට තවදුරටත් විද්‍යාගාරය ලබා දීම ප්‍රතික්ෂේප කලේය. ඒ ඔවුන්ගේ අභ්‍යන්තර පාලක ගැටළුවක් නිසාවෙනි.
ශන්වැක් බී
             වරප්‍රසාද් මේ ගැන කරදරයෙන් සිටිද්දී ආචාර්ය ගුන්තක ඔහුව සෛලීය හා අණුක ජීව විද්‍යා මධ්‍යස්ථානය (CCMB-Centre for Cellular and Molecular Biology )වෙත යොමු කරවූවේය. CCMB ශාන්තා කර්මාන්තශාලාවේ වැඩ කටයුතු අවසන් වන තෙක් එනම් මාස දොළහක් සඳහා ඔවුන්ගේ විද්‍යාගාරය ඔහුට ලබා දීමට එකඟ විය. ආචාර්ය ගීතා දැන් ප්‍රශ්නයකට මැදිවුවාය. විසඳුම් දෙකක් ඇය ඉදිරියේ විය. එකක් විශ්ව විද්‍යාලයෙන් දීර්ඝ නිවාඩුවක් ගැනීම විය. අනෙක විශ්ව විද්‍යාලයෙන් ඉල්ලා අස්වී ශාන්තා වෙත එකතු වීමය. එහෙත් ඇයට මේ දෙකම කල හැක්කක් නොවීය. ඇය අකමැත්තෙන් තමන්ගේ වැඩ කටයුතු CCMB හි ආචාර්ය කේ.එස්.එන් ප්‍රසාද්ට භාර කලාය. 1995 ඔක්තෝබරයේදී ශාන්තා බයෝටෙක් තමන්ගෙම නිවහනකට ගොඩ වැදුනාය. CCMB ආයතනය ආචාර්ය ප්‍රසාද් ශාන්තාහි පර්යේෂන හා සංවර්ධන උපදේශක ලෙස වසරක් සේවය කිරීමට ආ යෝජනාව අනුමත කලේය.
            r-DNA පළමු එන්නත් කට්ටලය 1996 මාර්තු වන විට නිපදවා අවසන් වූවේය. සත්තු වෙනුවෙන් කල පරීක්ෂන සාර්ථකව අවසන් විය. මිනිසුන් සඳහා වන පළමු අත්හදා බැලීම සිදු කලේ හයිද්‍රාබාද් හි වෛද්‍ය විද්‍යාව සඳහා වන නිසාම් ආයතනය විසිනි. ඒ ඖෂධයේ ආරක්ෂා සහිත බව හා සහිෂ්ණුතාව (tolerability) අත්හදා බැලීමයි. 
           මේ සඳහා පළමුවෙන්ම ස්වේජ්චාවෙන් ඉදිරිපත් වූයේ අන් කවරෙකුත් නොව වරප්‍රසාද්ය. තනිවම නොව තමන්ගේ පවුල හා සමාගමේ සේවකයින් දහඅටක්ද සමඟය. මෙසේ පර්යේෂන කණ්ඩායම කෙරෙහි වරප්‍රසාද් තුල තිබූ විශ්වාසය පුදුම එළවන සුළු වූ අතර මෙවන් දේ දැකිය හැකි වූයේ සුන්දර අවසානයක් සහිත නාට්‍යවල හෝ නවකතා වල පමණි.
             1996 දෙසැම්බර් වලදී අත්හදා බැලීම්හි දෙවන අදියර ලෙස සායන පරීක්ෂා සිදුකලේ නිසාම් ආයතනය හා කිං එඩ්වඩ් අනුස්මරණ රෝහලේදීය. ඒ ඖෂධය කෙතරම් සාර්ථද යන්න බැලීමයි.
1996 අප්‍රේල් වන විට ප්‍රථිපල නිකුත් විය. ශන්වැක් (Shanvac) පරීක්ෂන වලින් ඉහලින්ම සමත් වී තිබුනි.!
           1997 අගෝස්තු 18 වනදා ශන්වැක්, ඉන්දියාවේ පළමු r-DNA එන්නත වෙළඳ පළට නිකුත් වූයේ  එවකට සෞඛ්‍ය අමාත්‍ය රේනුකා චෞද්රී අතිනි. එහෙත් සටන පටන් ගත්තේ එතැනින්ය.

වෙළඳපල සමඟ තරඟ කිරීම
            
                අසංවේදී නිලබලය සමඟ ගණුදෙනු කිරීම අමාරු කියනවා නම් අනුකම්පා විරහිත වෙළඳපල තරඟකරුවන් සමඟ තරඟ කරීම දුෂ්කර යැයි කීම සාධාරණය. විශේෂයෙන් ඔවුන් එකිනෙකා තරඟ කරන වෙළඳපලත් ඉතා කුඩා වන විට මෙය ශාන්තා ට මේ දුෂ්කරතාව වැඩි වැඩියෙන් දැනින. “දේශිය“ එන්නතකින් සිදු විය හැකි බලපෑම තේරුම් ගත් වෙළඳපලේ ඉදිරියෙන්ම සිටි බහුජාතික දැවැන්තයා තම එන්නතේ මිල රුපියල් 750 සිට රුපියල් 520 දක්වා පහත දැමුවේය. මේ අතරම දේශිය එන්නත් අනාරක්ෂිත බවට දූසමාන ආරංචි වෙළඳපල පුරා පැතිර ගියේය.
                ආර්ථිකමය බලපෑම්ද ශාන්තාට එරෙහි වී තිබින. ලොකු ලාභයන් සමඟ ඖෂධ විකුණන බහුජාතික සමාගම් වෛද්‍යවරුන්ට ලොකු කොමිස් මුදලක් ගෙවිය හැකි විය. එම වෛද්‍යවරුන් බහුජාතික සමාගම් සමග නිල නොවන කොන්තරාත්තු වලින් බැඳී සිටීම හා එම ඖෂධ නිර්දේශ කරනවාට අමතරව ශන්වැක් අනාරක්ෂිත යැයි චෝදනා කිරීමටද පටන් ගැනීම ශාන්තා බයෝටෙක් වලට වැදුන මරු පහරක් විය.
             ඖෂධ පාලන මණ්ඩලයට මේ ගැන දැන්වූවද ඔවුන්ගේ සහතිකයේද ගුණාත්මකබාවයද ප්‍රශ්නාර්ථයක් විය. සංසන්දනාත්මක පරීක්ෂන ගණනාවකින් ශන්වැක් එන්නත බහුජාතික එන්නත් වලට වඩා හොඳ ප්‍රතිථල පෙන්නූයේය. සාමාන්‍යයයෙන් එන්නතක ගුණාත්මක භාවය මනිනා සාධක දෙකකි.

  1. ප්‍රතිදේහ අනුමාපකය (Antibody Titre): එන්නත මගින් ප්‍රෙරණය කරන ප්‍රතිදේහ ප්‍රතිශතයයි. ප්‍රතිදේහ ගණන වැඩිවන විට එන්නතේ ගුණාත්මක බව වැඩි වේ.
  2. ආරක්ෂනය (Protection): මෙම එන්නත මගින් සත්‍ය ලෙසම ආරක්ෂාවන්නවුන්ගේ ප්‍රතිශතයයි. ඕනෑම එන්නතක්  එය භාවිතා කරන්නන් 100%ක් රෝගයෙන් ආරක්ෂා නොකරයි. එනිසා  එසේ ආරක්ෂා නොවන ප්‍රතිශතය හැම විටම අඩු අගයක පවත්වා ගැනීම සාර්ථක යැයි සැලකේ.
                   එන්නත් වර්ග දෙකම එකම ආරක්ෂන ප්‍රථිඵල පෙන්වූ අතර ප්‍රතිදේහ අනුමාපකයේදී ශන්වැක් ඉහල අගයක් පෙන්වූයේය. මෙම ප්‍රථිඵල ප්‍රකාශයට පත්වූ පසු වෛද්‍යවරු 200ක් පමණ ශාන්තා හා එහි නිෂ්පාදන වෙනුවෙන් එක් වූහ. සැක පහල කරන ශංශයවාදීන් නිහඬ කරමින් ලෝ ප්‍රසිද්ධ වැක්සින්  (vaccine) සඟරාව මෙම ප්‍රශ්නය හා පරීක්ෂන ප්‍රතිථල ප්‍රසිද්ධ කලේය.

මීළඟට අභියොගය අලෙවි කිරීමයි: රු. 519ට අඩුවෙන් විකිනිය නොහැකියි..!!

               ඊළඟ අභියෝගය වූයේ විකිණිමයි. ප්‍රධාන පෙලේ ඉන්දියානු ඖෂධ බෙදාහැරීම් සමාගම් සියල්ල පැවසුවේ බහුජාතික සමාගම් සියල්ල එන්නත රුපියල් 520ට මිල කොට ඇති බැවින් උපක්‍රමශීලීව ශන්වැක් රුපියල් 519ට මිල කල යුතු බවය. ඊළඟ අවුරුදු තුන සඳහා ප්‍රක්ෂේපණය කරන ලද විකිනුම් ආදායම වූයේ රුපියල් ලක්ෂ 50, ලක්ෂ 75 සහ එක් කොටියකි. මෙවන් අගයකට පැමිණියේ ඇයි දැයි වරප්‍රසාද් ඇසූවිට ඔවුන්ගේ පිළිතුර වූයේ අත්දැකීම් අනුව අළුත් නිශ්පාදනයක් විකුණා ලබාගත හැකි උපරිම මුදල මෙය බවයි.
             මෙම මිල හෝ ප්‍රක්ෂිප්ත ආදායම වරප්‍රසාද්ගේ සිහිනය හා ගැලපුනේ නැත. ඔහුගේ සිහිනය වූයේ එන්නත සාමාන්‍ය මිනිසුන්ට දැරිය හැකි වීමයි. ඔහුට මෙම එන්නත රුපියල් 50ට විකිණිමට අවශ්‍ය වූ අතර ඉන්දියාවේ ළමුන්ගෙන් 10%ක්වත් වහාම එන්නත් කොට හෙපටයිටිස් බී මගින් ගලවා ගැනීම ඔහුගේ මූලික අභිප්‍රාය විය. “මමම මේක විකුණනවා“ ඔහු තීරණය කලේය.
             ශාන්තා එන්නත් විකිණිම සඳහා අලෙවි කරුවන් බඳවා ගත්තාය. ඔවුන් තෝරා ගැනීමට එකම සුදුසු කම වූයේ දේශිය නිශ්පාදනයක් විකිණිමට ඇති අභිමානයයි (passion). ඔවුන්ව පුහුණු කිරීමට වෛද්‍යවරු යොදාගත් අතර විකිණුම් ව්‍යායාමය ආරම්භ විය. ශන්වැක් බී සඳහා ලැබූ ප්‍රසිද්ධිය නිසා මිනිසුන් මාරාන්තින හෙපටයිටිස් බී ගැන දැනුවත් වූ අතර එයින්ද වාසිය ලැබුනේ දැනට වෙළඳපල ජයගෙන සිටි බහුජාතික ඖෂධ සමාගමයි.
           එනිසා අතීතයේ බොහෝවර සිදුවුනාක් මෙන් මෙවරද නැවත නරක කලදසාවක් එළඹී තිබිණ. වෙළදාම එක තැන පල් විය. බහුජාතික සමාගම් වලින් කොමිස් කුට්ටිය කඩා ගැනීමට අමතරව සමහර වෛද්‍යවරු බහුජාතික ඖෂධයේ මිලටම ශන්වැක් බී රෝගීන්ට ලබා දුන් අතර දේශිය නිෂ්පාදනය ගුණාත්මක නැති බවටද දූසමාන ආරංචි පැතිරවූහ. මෙයට අමතරව රුපියල් 50ට මිල කර තිබුනද සුපිරි ගබඩාකරුවන්, ගබඩාකරුවන් සිල්ලර වෙළෙන්දන්ගේ සහ වෛද්‍යවරුන්ගේ කොමිස් එක එකතු කර පසු විකිණුම් මිල වූයේ රුපියල් 180කි.
එන්නත් කඳවුරක්..
       එහෙත් ශාන්තා නැවතත් මේ අභියෝගය ජයගත්තේය. ඒ තමන්ගේ මුල් අරමුණ අමතක කිරීමට ඔහු සූදානම් නොවූ නිසාය. මෙම එන්නතට වෛද්‍යවරුන්ගේ නිර්දේශය (prescription) අවැසි නොවූ අතර කැමති අයෙකුට මිලදී ගත හැකි එකක් බව වරප්‍රසාද්ට අවබෝධ විය. එනිසා මේ අතරමැදියන්  නැතහොත් වෛද්‍යවරුන් මෙම ක්‍රියාවලියෙන් අයින් කිරීමට ක්‍රමයක් සොයාගත යුතු විය.  ඔහු ඉන්දියානු වෛද්‍ය සභාව (Indian Medical Council- IMA) වෙත ගිය අතර අඩු මිලෙන් යුතු දේශීය එන්නත වෛද්‍යවරුන් අතර භාවිත නොවන බව පෙන්වා දුන්නේය.          
         ඔවුන් ඔහුට දේශනයක් පැවැත්වීමට ආරාධනා කල අතර එහිදි වරප්‍රසාද්ට අති විශාල සහයෝගයක් හිමිවිය. එහිදී ඔවුන් සොයාගත්තේ මිනිසුන් අතරට කෙලින්ම සම්බන්ධ වීම වඩා සාර්ථක ක්‍රමය බවයි. ඒ සඳහා විශාල එන්නත් කඳවුරු සංවිධානය කිරීමට තීරණය විය. මේ සඳහාද විරුද්ධවීම් අවහිර කිරීම් නොමැති වූවා නොවේ. මෙවර කරළියට පැමිණියේ ඖෂධ සංගම් හා වෘත්තීය සමිතිය. එහෙත් IMA හි සහයොගෙයෙන් පෙර නොවූ විරූ අකාරයෙන් කඳවුරු සංවිධානය කළ අතර 40,000කට ආසන්න මිනිසුන් පිරිසක් එන්නත් කර ගැනීම සඳහා පැමිණ සිටියහ. ඒ අතරම සමහරු පෝළිම් ගැසී එන්නත් වඩිය එන තෙක් බලා සිටියහ. නැවත වතාවක් ශාන්තා ජයගත්තාය.
        කිසිදිනෙක පරණ අච්චුවෙන් කිසිදිනෙක අළුත් අදහසක් එළියට ගත නොහැකි වන්නාසේ වරප්‍රසාද් තම නැවුම් නිශ්පාදනය පරණ ක්‍රමය තුලින් ජයගැනීමට බලාපොරාත්තු නොවීය. ඔහු අළුත් ක්‍රමයක් සොයාගත්තේය. ජයග්‍රහණයේ මාවත එයින්ම විවර විය. තම සිහිනය එකලෙස පවත්වා ගැනීම ශාන්තාහි සාර්ථකත්වයේ රහසයි. අපි ඒ ගැන ඊළග ලිපියෙන් කතා කරමු. 


පිනතූරු අනුග්‍රහය: http://www.naharnet.com/stories/en/29353
 http://www.sciencephoto.com/media/211911/enlarge